brand logo

සුවඳත් නැති, බඹරුත් නැති පිටකොටුවේ මල් පාර

03 March 2019

ලංකාවේ කැකිල්ල - පිච්ච - අරලියත් චීනෙන් හදලා ගෙනල්ල චීනය ලංකාවේ මල්වල පේටන්ට් ගන්න පිරිසක් එවලා! හෙට අනිද්දාට චීනෙන් සුවඳ හමන කෘත්‍රිම මල් නමින් ධනපාල වුණාට ධනපාල ළඟ අතේ සතේ නැත. නමින් කුසල්හාමි වුණාට ඇය කරන කුසලයක් නැත්තා සේම පිටකොටුවේ මල්වත්ත පාරේ ඇති මලක් නැත. මල්වත්ත පාරේ ඇති කඩවල ඇත්තේ සී.ඩී, සපත්තු, බෑග් සහ රටකජුය. එහෙත් පිටකොටුවේ මලින් පිරි මාවතක් ඇත. එහෙත් පරහකට ඇත්තේ මේ මල්වල රොන් ගන්නට බඹරුන් නොඒමය. එමෙන්ම එම මල්වලින් සුවඳ හමන්නේද නැත. මේ පාරට දෙපසකින් පිවිසිය හැක. කොටුව විමලධර්ම ඔරලෝසු සාප්පුව ළඟ ඇති වරාය දොරටුව ඉදිරිපිට ඇති එදා සුප්‍රසිද්ධ බැන් බෑන් ගොඩනැගිල්ල අසලින් මෙම මාර්ගයට පිවිසිය හැකි අතර පරණ මාළු මාකට් එක අසලින්ද මෙම මාර්ගයට පිවිසිය හැකිය. මාළු මාර්කට් එක අසල ඇති චයිනා ස්ට්‍රීට් එකෙන්ද මේ මල් කඩ වෙත පිය නැගිය හැකිය. මේ පාරේ නම බැන්ෂෝල් වීදිය (Banhshall) කලකින් මේ ප්‍රදේශයට නොගිය පුද්ගලයකුට නම් මේ කරවල කඩ, රසායන ද්‍රව්‍ය කඩ ඇති පාරක මොන සුන්දර මල් කඩදැයි ප්‍රශ්නාර්ථයක් පැන නැගිය හැක්කේ නිරායාසයෙනි. මේ මල්කඩ පිහිටා ඇත්තේ රෙක්ලමේෂන් පාරේ වරාය පැත්තට වෙන්නටය. මේ මල් උයනකට යන්නාක් මෙන් අත්දැකීමක් මේ මල් සාප්පුවකට ගිය විට දැනේ. මල් උයනක් යැයි කිවාට මෙහි උයන්පල්ලන් නම් නැත. මේවා මුළුමනින්ම කෘත්‍රිමව නිපදවූ මල්ය. ඒ ඇතැම් මල් ගැන අප ඇසූ විට වෙළෙන්දන් අපෙන් ඇසුවේ බොසා ඉන්ටීරිය යූස් එකටද, එක්ස්ටීරියර් යූස් එකටද කියාය. (මේ අහන්නේ මල් ගොඩනැගිල්ලක් ඇතුළේ ගහන්නද, නැතිනම් හිරුඑළියට නිරාවරණය වන ලෙස එළිමහනේ ගැසීමටද යන ප්‍රශ්නයයි. ඔවුනගේ පරිභාෂික වචන මාලාවයි.) (Interior use / Exterior use) අව්වට නිරාවරණය වන මල් නම් ටිකක් මිල අධිකය. ඒ එම මල්වලට හිරුගේ පාරජම්බුල කිරණට ඔරොත්තු දෙන ලයිට් ෆාස් නමැති රසායන ද්‍රව්‍ය භාවිත කරන නිසාය. එම මල් සෑහෙන කලක් හිරු එළියේ දුර්වර්ණ නොවී තබාගත හැකිය. ලෝකයේ විවිධ රටවලින් ආනයනය කළ මල් වර්ග මෙහි ඇත. ඊටත් වඩා ලංකාවේ ඇති කැකිල්ල, අරලිය, නෙළුම්මල්, පිච්චමල් පවා ඇණවුම්කොට මෙහි අලෙවියට තබා ඇත. එම මල් අතට ගෙන බැලූ විට අපට ඇත්ත මලක් දැයි නොසිතා බැරිවිය. හීනියට වතුර ටිකක් ඉස්සා නම් ඒවා නියම මල් වගේමය. දියේ පිපෙන මල්, ගහේ පිපෙන මල්, වැලේ පිපෙන මල් කියන ඔය ඕනම මලක් මේ මල් පාරේ ඇත. මේ බැන්ක්ෂෝල් වීදියේ මල් ගොමු අතර සැරිසරන විට අපට චීන ජාතිකයකු හමුවිය. ඔහුට හොඳින් සිංහල භාෂාව කතා කළ හැකිය. ‘‘චීනය දැන් කෘත්‍රිම මල් හදන ලෝක වෙළෙඳපොළේ ඉන්න දැවැන්තම රට බවට පත්වෙලා. එම මල් හදන ආයතනවල ලොව විවිධ රටවලට ගිහිල්ලා ඒ රටවල මල්වල මෙෂිමන්ට් අරන් එන වෙනම ම ටීම් එකක් ඉන්නවා. දැන් බලන්න ඔය ලංකාවේ ගම්වල තියෙන කැකිල්ල පවා මේ ෂොප්වල තියෙන්නේ චීනෙන් ගෙනල්ලා. හැබැයි අරලිය මල් හදන්නේ චීනයෙයි, බැංකොක්වලයි. අරලියවලට ප්‍රධාන වෙළෙඳපොළ තියෙන්නේ ලංකාවේ විතරයි.’’ මේ මල් ගොමු අතර සැරිසරන විට බොහෝ දෙනකු අපට කිව්වේ ‘ආටි’ එකේ අබ්සාල් හමුවන ලෙසය. ඔවුන් කිව්වේ මේ මල් අලෙවිසල්වල සිටින ආදිතමයා ඔහු බවය. ‘‘මේ මල් වෙඩින්වලට වැඩිය ගන්නේ ඩෙකරේෂන්වලට. ලංකාවේ දැන් මොන බිස්නස් එකක් වත් කරන්න බැහැ. මං පටන් ගන්නකොට එක කඩයයි තිබ්බේ. දැන් කඩ 50 කට වැඩිය තියෙනවා. ආණ්ඩුව මල්වලට ඩියුටි වැඩි කළා. දැන් මල් කිලෝ එකකට රුපියල් 1400 ක් ඩියුටි ගහනවා. අපි දැන් හිතන් ඉන්නේ මේ මල් බිස්නස්වලින් අයින්වෙලා මෝල්ඩිව්ස් (මාලදිවයින්)වල බිස්නස් එක පටන් ගන්න!’’ මංගල්‍යයකදී, අවමංගල්‍යයකදී මල් නැතුවම බැරි අංගයක්. එවන් අවස්ථාවල මිල අධික මල් වෙනුවට ජනතාවට පිහිටට එන්නේ මේ මල් කඩය. මේ කඩවල හයික්ලාස් කට්ටිය අධි මිල මල් මෙන්ම සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්ගේ පර්ස් එකට ඔරොත්තු දෙන මල්ද ඇත්තේ විසිතුරු ලෙසය. රූපලාවණය ආයතන, මනාලියන් අන්දන ආයතන, මෙන්ම මල්වර්ග එක්කොට පෝච්චිවල සකසා අලෙවි කරන අයද මෙම මල් කඩවල ගැනුම්කරුවන්ය. දැන් මනාලියන්ගේ මල්කළඹ සරසන්නට එක් වී ඇති අලුත්ම අංගෝපාංගය වී කරල්ය. හැබැයි ඒ වී කරල් අපේ ගංගොඩේ කුඹුරුවලින් නෙළාගත් ඒවා නොවේ. ඒවා ලංකාවේ මෙෂමන්ට් අරන්ගොස් චීනයේ හදපුවාය. ඇති හැකි අය මේ විසිතුරු මල්වල පාට වෙනස් කරගන්නේ තවත් මුදල් වියදම් කරමිනි. අප බලා සිටියදීම රූපලාවණ්‍යය ශිල්පිනියක් විසිතුරු සාරියක් රැගෙනවිත් ඒකේ පාටට මැච් වන්නට නොහොත් ගැළපෙන්නට මල් කළඹේ මල්පෙති ස්ප්‍රේ කර ගත්තේය. ඊට වැයවන මුදල අති විශාලය. එක් වෙළෙන්දෙක් අප සමග කිව්වේ ජනවාරි හා පෙබරවාරිවල බිස්නස් නන්නපෝල් (නන්නත්තාර වී) ඇති බවය. ‘‘සමහරු ඇත්ත මල් අතර මේ මල් තියලා මෙයින් බොකේ හදනවා. කීයටවත් අඳුරන්න බෑ. අපි මල් කිනිති දාහක් විතර විකුණලා ගන්න සල්ලි ඒ මෑන් එක බොකේ එකෙන් හොයා ගන්නවා. මිනීවලට ගහන මල් නම් කවුරුත් නැචුරල්ද, ආටිපිෂල්ද කියලා අතගාලා බලන්නේ නැහැ.’’ මේ කෘත්‍රිම මල් ගැන ඉතිහාසය සොයා යත්දී මෙරටට මුලින්ම මේ මල් ආනයනය කොට ඇත්තේ 1976 නොබැඳි ජාතීන්ගේ සමුළුවට බව පරණ පත්තර ගොන්නක් අවුස්සද්දී අපට සොයාගත හැකි විය. සමුළුව ගැන තිබූ එක් ශීර්ෂ පාඨයක සඳහන් වූයේ ‘නොබැඳි සමුළුව පර නොවන මලින් සැරසේ’’ යනුවෙනි. මල් අපේ ජීවිතයට නැතිවම බැරි අංගයකි. දුරකථනයෙන් පෙම් කරනවාට ‘මල් කඩනවා’ යැයි කියන්නේ ඒ නිසා විය යුතුය. අවසානයේ සුවඳත් නැති, බඹරුන් නැති මල් යායකින් අප සමුගත්තේ හෙට අනිද්දාට සුවඳත් සමග මලුත් චීනෙන් එන බවට සතුටුදායක ආරංචියක්ද කන වැකීමෙන් පසුවය. වජිර ලියනගේ ඡායාරූප :  
 

More News..