brand logo

සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් වීඩියෝ කළ කොන්දොස්තරට වැඩ වැරදි

31 December 2018

තම ජංගම දුරකථනය මඟින් පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් ඉන් බසින අවස්ථාවේ සුක්ෂමව වීඩියෝ කළේ යැයි මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද බස් කොන්දොස්තරවරයා 2019 ජනවාරි මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කර ඇත. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ රණවිරු සෙවන, රැකව (බටහිර), නෙටොල්පිටිය, තංගල්ල ලිපිනයේ පදිංචි තුනප්පේරු ලියනගේ රුවන් චන්දිම (29) නැමැති අයයි. සැකකරුට එරෙහිව මීටියාගොඩ පොලීසිය අංක 18401 යටතේ බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. සැකකාර කොන්දොස්තරවරයා සමග ජංගම දුරකථන ස්මාට් වර්ගයේ ජංගම දුරකතන තුනක්ද ඒවාට යොදන විවිධ දුරකතන සමාගම් විසින් නිකුත් කරන ලද සිම්පත් 07 ක් මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු, කාන්තාවන් හා පාසල් දැරියන් බස් රථයෙන් බසින අවස්ථාවේදී බසයේ පහළ පඩිය වෙත ගොස් ඉතා සුක්ෂම අයුරින් සිය ජංගම දුරකථනයෙන් ඔවුන්ගේ නිරුවත වීඩියෝ කර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙ. මෙසේ වීඩියෝ කරන ලද දර්ශන රැසක්ම සැකකාර කොන්දොස්තරවරයා බාරයේ තිබූ ජංගම දුරකථනවල තිබී සොයා ගත් බවද මීටියාගොඩ පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ විදේශිකයින්ට පෙන්වීම සඳහා මෙම දර්ශන වීඩියෝ ගත කල බවයි. ඇතැම් පෞද්ගලික බස් රථවල මෙය ජාවාරමක් ලෙසින් ක්‍රියාත්මක කරන බවද සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. එම නිසා පෞද්ගලික බස්රථ වල ගමන් කරන සුරූපී කාන්තාවන් සහ පාසැල් ළමුන් ඉතා විමසිලිමත්ව බස්රථවල ගමන් කරන ලෙසද මිටියාගොඩ පොලිසිය ඉල්ලා සිටී. මීටියාගොඩ පොලීස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල තුෂාර, උප පොලිස් පරීක්ෂක නෙවිල් රෝහණ, පොලිස් කොස්තාපල් ජගත් චමින්ද (78147) යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය. ජයකාන්ත ලියනගේ - බළපිටිය
 

More News..