brand logo

සුරාබදු සාජන් කුඩු විකුණද්දි කොටු

08 July 2019

කාලාන්තරයක් තිස්සේ කුඩු ජාවාරම්කරුවන්ට හෙරොයින් බෙදාහැරිය බව කියන සුරාබදු දෙපාර්තමේන්තු සැරයන් මේජර්වරයකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් හෙරොයින් පාර්සලයක් සමග ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට ලද තොරතුරක් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායමක් මෙම සුරාබදු නිලධාරියාගෙන් කුඩු මිලදී ගන්නා ජාවාරම්කරුවකු සෙනසුරාදා (08) හෙයියන්තුඩුව ප්‍රදේශයේදී අල්ලා ගෙන ඇත. සැකකරු සන්තකයේ වූ කුඩු ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 680ක් ප්‍රමාණය සුරාබදු නිලධාරියකුගෙන් මිලදීගත් බවත්, තවත් කුඩු තොගයක් ඉරිදා දිනයේ රැගෙන එන බවත් හෙළිකර ඇත. මේ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායම කළ මෙහෙයුමකින් ජාවාරම්කරුට අලෙවි කිරීමට කුඩු රැගෙන ආ සුරාබදු නිලධාරියා හෙරොයින් ග්‍රෑම් 54කුත් මිලිග්‍රෑම් 600ක් සමග ඊයේ (08) අල්ලාගෙන ඇත. මෙම සුරාබදු සැරයන් මේජර් පසුගිය ජනවාරි මාසයේ විශ්‍රාම ගොස් ඇති බවත්, රාජකාරියේ නිරතව සිටියදී මෙම ජාවාරම්කරු කුඩුත් සමග අල්ලා අල්ලස් මුදලක් ලබා ගැනීමෙන් පසුව මුදාහැර ඇති බවත් හෙළිවී ඇත. එතැන් පටන් කාලාන්තරයක් තිස්සේ මොහු විසින් හෙරොයින් රැගෙන විත් දෙන ජාවාරම කරගෙන ගොස් ඇති බවත් හෙළි වී තිබේ. සැකකරුවන් දෙදෙනා සමග අල්ලාගත් කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහය ඉක්මවන අතර වැඩිදුර පරීක්ෂණ සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලබාදී ඇත. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..