brand logo

සුරතල් පැටව් කියා අයාලේ යන බලු පැටව් විකුණලා

14 December 2020

බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු රුපියල් එක්ලක්ෂ පනස් හතර දහසකට සුරතල් බලු පැටවුන් හතර දෙනෙකු යැයි රවටා අයාලේ යන බලු පැටවුන් හතරදෙනකු විකුණා ඇති බවට බලන්ගොඩ පොලිස් ස්ථානයට ඊයේ (13 වැනිදා) පැමිණිල්ලක් ලැබී තිබේ. තමන් විසින් එම බලු පැටවුන් මිලදී ගෙන රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී එම බලු පැටවුන් නිවෙස්වල සුරතලේට ඇති කරන බලු පැටවුන් නොවන බව දැනගත් බවත්, මේ හේතුවෙන් බලු පැටවුන් විකුණු පුද්ගලයා තමන්ට වංචාවක් කළ බවත් පවසා මාතර කොටහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පැවසීය. ඉතාමත් උසස් තත්ත්වයේ shihtzu නමැති බලු පැටවුන් බව පවසා තමන්ට රුපියල් එක් ලක්ෂ පනස් හතර දහසකට එම බලු පැටවුන් බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් විකිණූ බවත් එම බලු පැටවුන් රැගෙන ගොස් මාතර ප්‍රදේශයේ පශු වෛද්‍යවරයකුට පෙන්වූ පසු එම බලුපැටවුන් එම වර්ගයේ නොවන බවත් එම පුද්ගලයා පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පැවැසීය. එන්.එස්. ප්‍රියනන්දන -බලන්ගොඩ
 

More News..