brand logo

සුමන්තිරන්ට හා සම්බන්ධන්ට එරෙහිව වවුනියාවේ විරෝධතාවයක්

10 February 2019

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ(09) වවුනියාවේ විරෝධතාවයක නිරතවිණ. අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් විසදුම් ඉල්ලා වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් දින 719 ක් ඊයේ(09) දිනට විරෝධතාවයේ නිරතවුවද අතුරුදහන්වුවන්ගේ ගැටළුව වෙනුවෙන් විසදුමක් ලබාදීම වෙනුවට සම්බන්ධන් හා සුමන්තිරන් ආණ්ඩුව රැකීමේ උත්සහයක නිරතව සිටින බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ. අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ තමන්ගේ ජන්දයෙන් බලයට පත්වු සම්බන්ධන් හා සුමන්තිරන් වැන්නවුන් දෙමළ ජනතාවගේ ගැටළු පසෙකලා වර්තමානයේ ආණ්ඩුවේ හෙංචයියන් බවට පත්ව සිටින බවයි. අතුරුදහන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් තමන් රජයෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කරමින් සාකච්ජා පැවැත්වුවද අදාළ සාකච්ජාවන් වෙනුවෙන් සුමන්තිරන් හා සම්බන්ධන් මැදිහත්වි රජය සාධාරණීකරණය කිරීම සිදුකරමින් සිටින බැවින් තමන්ගේ ගැටළුවට මෙතෙක් විසදුම් නොලැබි ඇති බවද විරෝධතාකරුවන් පැවසූහ. විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ තමන්ගේ ගැටළුව වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත විසදුමක් ලබාදිය යුතු බවට තමන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීම් කොට ඇති බවයි. දේශීය යාන්ත්‍රණයක් හා දේශීය ක්‍රමවේදයක් මගින් ලබාදෙන විසදුම් තමන් පිළිනොගන්නා බැවින් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත යුධ සමයේ මෙරට අතුරුදහන්වූවන්ට සිදුවුයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් කැදවිය යුතු බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඉල්ලීම් කරනු ලැබීය. ඇමරිකා එක්සත් ජනපදය හෝ යුරෝපා සංගමය මැදිහත්වි සිය ගැටළුවට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් විරෝධතාවය පැවැත්වූහ. අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවයට එක්ව සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය.
 

More News..