brand logo

සුපිරි වෙළඳසැලෙන් ගොම්බෙට්ටක් අරන් ගෙදර ගියෙමි

13 October 2019

‘‘ගොම් බෙට්ටක් කීයද...?’’ ‘‘පනහයි මැඩම්...’’ ‘‘එහෙනම් හතරක් විතර දාන්න...’’ ලියුම්කාරියට මේ දෙබස ඇසුණේ ගමේ හරක් මඩුවකදී නොවේ. කොළඹ හතේ සුපිරි වෙළඳසලකදීය. එහෙයින් ‘එකී ගනුදෙනුව’ට කරපොවා නොසිටිය හැකි විය. ජැන්ඩියට ඇඳ පැලඳ සිටි පාරිභෝගික නෝනා හොඳින් වියලා පැකට් කරන ලද ‘ගොම් බෙටි හතරක්’ තමන්ගේ ට්‍රොලියට දාගන්නා ගමන් මෙසේ කීවාය. ‘‘ඇත්තට මං මෙතනට ආවෙම මේවා ගන්න... මගෙ යාළුවෙක් තමයි පණිවිඩේ කිව්වෙ... රෝසස්වලට හොඳයිලුනෙ...’’ එතැන් සිට අර ‘ගොම් බෙටි හතර’ නෝනාගේ ට්‍රොලියේ ය. හාල්, පොල්, පරිප්පු, ඇපල් ජූස්, චීස්, බටර්, ෂැම්පු, සබන්, සීනි, තේකොළ අතරය. තවත් ටික වේලාවකින් නෝනාත්, ට්‍රොලියත්, කැෂියර් කූඩුව ළඟය. ඒ අනුව ගොම් බෙට්ට පිළිබඳ දෙවැනි වරට දෙබස් හුවමාරුවක් සිදුවූයේ ’කැෂියර් කූඩුවේ’ සිටි මෙනවියන් දෙපළක් අතරය. එකියක් එක ගොම් බෙට්ටක් ‘මිල කියවන’ ලේසර් උපකරණයට ‘දක්වමින්’ මෙසේ ඇසුවා ය. ‘‘නිලූ... ගොම් බෙටිවල කෝඩ් එක කියනව ද...?’’ එවිට ‘නිලූ’ නමැති කැෂියර් මෙනවිය සිනාසෙමින්ම, ‘එක්තරා අංකයක්’ ලබා දුන් අතර අවසානයේ ගොම් බෙට්ට නෝනා විසින් මිලදී ගැනුණු අනෙකුත් බඩු සමඟ සුඛෝපභෝගී කාරයේ තැන්පත් විය. මෙකී ‘ජවනිකාව’ දැකීමෙන් අනතුරුව ගොම් බෙට්ටේ සිට ඇඳ පුටු මේස අල්මාරි දක්වා නිවසට අවශ්‍ය සෑම දේම විකිණෙන සහ විකුණන ‘සුපර් මාකට්’වල අහුමුළු සොයා යන කුහුලක් උපන්නේ ය. සුපර් මාකට්වල වැඩ කරන මෙනවියන්, කළමනාකරුවන් මෙන්ම ගැනුම්කරුවන් ද සමග කතාබහ කරමින්, ‘අපි නොදන්න සුපර් මාකට්’ ගැන මේ කතා ටික එක්කාසු කරගත හැකි විය. කොළඹ ‘ප්‍රධාන හන්දියක්’ ආසන්නයේ පිහිටි එක්තරා සුපිරි වෙළෙඳසලක ඉරිදා දින කටයුතු ආරම්භ වන්නේ, එහි එන පාරිභෝගිකයන්ට කිරිබත් වේලකින් සංග්‍රහ කරමිනි. ඊට අමතරව එහි පැමිණෙන පාරිභෝගිකයන්ට නොමිලේ සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් ද පිරිනැමෙන බැවින්, මෙය ඉරිදා දවසේ කාර්ය බහුලතම සුපිරි වෙළෙඳසලක් බවට පත් වී තිබේ. කිලෝමීටර් පහක් දුර ගෙවාගෙන සුපිරි වෙළෙඳසල් හතක් පසුකරගෙන මෙහි පැමිණෙන එක්තරා පාරිභෝගිකයෙකු අප සමග මෙසේ පැවසුවේය. ‘‘ඉරිදා උදේම මමයි වයිෆුයි දුවයි නොවැරදීම මෙහේ එනවා... උදේ කෑමට කිරිබත් ලැබෙන හින්දා උයන්න ඕනත් නෑනෙ... බඩුත් අරගෙන ගෙදර ගිහින් දවල්ටම උයනවා... රුපියල් සීයක් හමාරක් වෙන පත්තරෙත් නොමිලෙම ලැබෙන එකත් ලොකු දෙයක්නෙ...’’ මේ කියන පාරිභෝගිකයා ‘කලින් ම’ විශ්‍රාම ගැන්වුණු රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු වන අතර විශ්‍රාම ගැන්වුණායින් පසුව ‘මුදල් පොලියට දීම’ට ද නැඹුරු වූවෙකු වේ. එහෙයින් ඔහු ‘නැති බැරි’ අයෙකු ද නොවන නමුත් පවුල පිටින්ම උදේ ආහාර වේල ෂේප් කරගැනීමත්, නොමිලේ පත්තරය ගැනීමත් වෙනුවෙන් ‘සුපර් මාකට්’ යාම ලජ්ජාවට කාරණයක් කොටගත්තෙකු නොවන බව ද පෙනේ. ‘‘අපි මොකටද ලජ්ජ වෙන්නෙ...? මේක කොළඹ හතේ දන්සලක්නෙ... ඔක්කොම එන්නෙ තියන කියන අය...’’ කොළඹට තදාසන්නයේ තවත් එවැනිම සුපර් මාකට් එකක් ඉරිදා උදේ එහි පැමිණෙන සියලුම පාරිභෝගිකයන්ට ඔසු කැඳ වීදුරුවක් සමග කිතුල් හකුරු කෑල්ලක් ලබාදෙන අතර එබැවින් එය ද පෙර කී සුපිරි වෙළෙඳසල තරමටම පාරිභෝගික ආකර්ෂණයක් දිනාගෙන ඇත. මේ අතර තදාසන්නයේ තවත් සුපිරි වෙළෙඳසලක් සති අන්තයේ දී ‘අඩු සීනි සහ සීනි රහිත කෑම බීම’වලට විශේෂ වෙළඳ වට්ටම් ලබා දෙන අතර පාරිභෝගිකයන්ට නොමිලේම දියවැඩියා රුධිර පරීක්ෂණය කර දෙනු ලබයි. එම රුධිර පරීක්ෂණයට අමතරව පාරිභෝගිකයන්ගේ බර, වයස, උස මත තීරණය කරන ‘බී.එම්.අයි. අගය’ ගණනය කර ‘කාඩ්පතක්’ පවා නිකුත් කරනු ලබයි. එමෙන්ම පෝෂණවේදියෙකු ලවා ඔවුනොවුන් ගත යුතු ආහාර වර්ග මෙන්ම ආහාර වේල් ගණන් පවා නිර්දේශ කරයි. මෙකී සුපිරි වෙළෙඳසලට පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් වැඩි දෙනෙක් වැඩි කාලයක් ගත කරන්නේ, බිල් දමන පෝලිමේ නොව, උස මනින සහ බර මනින පෝලිම්වලය. එසේත් නැත්නම් රුධිරයේ සීනි මට්ටම මනින පෝලිමේත්, පෝෂණවේදියාගේ උපදෙස් ලබන පෝලිමේත්ය. මෙකී සුපිරි වෙළෙඳසල ‘ජ්‍යෙෂ්ඨ පුරවැසි ජනතාව’ අතර අතිශයින් ම ජනප්‍රිය බව එහි කළමනාකරු අප සමග ප්‍රකාශ කළේය. ‘‘වැඩිපුර වැඩිහිටි ජනගහනයක් ඉන්න රටක් හැටියට මේ වගේ ප්‍රොමෝෂන් වැඩත් අපට හොඳටම ගැළපෙනවා. අපේ රටේ වයස අවුරුදු තිස්පහට වැඩි බොහෝ දෙනෙකුට ෂුගර් කොලෙස්ටරෝල් තියෙන හින්දත්, ඒ අයට නිතර නිතර රුධිර පරීක්ෂණ වගේම පෝෂණවේදීන්ගෙ උපදෙස් අවශ්‍ය වෙන හින්දත් අපි අපේ ප්‍රොමෝෂන් එකෙන් ඒ අයගෙ අවශ්‍යතා සපුරන්න තීරණය කළා. මේ ප්‍රොමෝෂන් එක පටන්ගත්තට පස්සෙ කට්ටිය හැම සති අන්තෙම ක්ලිනික් එනවා වගේ ඇවිත් බඩුත් අරං යනවා.’’ මේ කියන සුපිරි වෙළෙඳසලේ ‘අඩු සීනි ආහාර නිෂ්පාදන’වලට වැඩි ඉඩක් දෙයි. එවැනි ආහාර වර්ග අතර අඩු සීනි අයිස්ක්‍රීම්, අඩු සීනි පුඩිං වර්ග, අඩු සීනි බීම වර්ග, අඩු සීනි චොකලට් වර්ග මෙන්ම දියවැඩියා රෝගීන්ටම ගැළපෙන එළවළු සහ පලතුරුත් තිබේ. ඊට අමතරව මෙහි මඩතවාළු, පච්ච පෙරුමාල් වැනි දේශීය සහල් වර්ගත්, සීනි වෙනුවට තේවලට දමන ‘සීනි නොවන රසකාරකත්’ වැඩි වැඩියෙන් විකිණේ. කොළඹ නගරයේ තවත් එක් සුපිරි වෙළෙඳසලක්, සති අන්තයේ ‘බලු කෑම’ අඩු මිලට විකිණීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. එහිදී බලු කෑම කිලෝ පහක පමණ පැකට්ටුවක් රුපියල් තුන්දහසකට පමණ මිලදී ගත හැකි වන බැවින් බලු සුරතලුන් ඇති කරන අය නොවරදවාම එහි ගොස් සතියකට දෙකකට සෑහෙන පරිදි අඩු මිලට බලු කෑම ගනී. හාල් කිලෝ තිහක් පමණ මිලට ගත හැකි ගණනකට බලු කෑම කිලෝ පහක් ගැනීමට හැකි වීම ද ලාභයක් කොට තකන පාරිභෝගිකයෙකු අප සමග පැවසුවේ, එම වර්ගයේ බලු කෑම කිලෝ පහක සාමාන්‍ය මිල රුපියල් පන් දහසක් පමණ වන බවත්, එම වර්ගය මෙම ස්ථානයෙන් රුපියල් තුන්දහසකට ගැනීමට හැකි වීම ලාභදායී වන බවය. මීට අමතරව බලු කෑම දමන භාජන, දම්වැල්, කරපටි, බල්ලන්ට දමන පවුඩර් වර්ග, බල්ලන් නෑවීමේදී ගාන සබන් වර්ග ද මෙහිදී අඩු මිලට ලබාගත හැකි බව දැනගන්නට ලැබුණි. මේ ආකාරයට සුපිරි වෙළෙඳසැල් සියල්ලම පාහේ ඉරිදා මෙන්ම සෙනසුරාදාත් ‘කුමක් හෝ විශේෂත්වයක්’ දක්වමින් පාරිභෝගිකයින් වැඩි වැඩියෙන් කැඳවා ගන්නා බව පෙනේ. මේ අතර සිකුරාදා සවස් වන විට ම සති අන්තය වෙනුවෙන් මිල අඩු කළ භාණ්ඩ ලැයිස්තුත්, විශේෂ වෙළෙඳ වට්ටම් ආදියත් ‘එස්.එම්.එස්. පණිවුඩ’ වශයෙන් ලබා දෙන සුපිරි වෙළෙඳසැල් තිබේ. මෙහිදී සති අන්තයට නොවරදවාම පැමිණෙන ‘ෂුවර් කස්ටමස්ලා’ වෙනුවෙන් හොඳම බඩු වෙන් කර තබන සේවකයින් ද එම වෙළෙඳසැල් වල සේවය කරයි. ‘‘මම හැම සතියෙම බඩු ගන්නෙ මෙතැනින්... මෙතැන වැඩ කරන අය හොඳම මාළු කිලෝ දෙකක්, හොඳම පලතුරු ටිකක් තෝරලා මං වෙනුවෙන්ම අරං තියනවා... ඉතිං නොවරදවාම සෙනසුරාදා උදේ ඇවිත් මම ඒවා ගන්නවා...’’ එක්තරා පාරිභෝගික කාන්තාවක් පැවසුවා ය. පාරිභෝගිකයින් වෙනුවෙන් මෙවැනි ‘විශේෂ සැලකිලි’ කිරීම ඒ ඒ ආයතනවල ප්‍රතිපත්ති වලට එකඟ නොවෙතත්, කලක් ගනුදෙනු කරන පාරිභෝගිකයින් සහ කලක් එකම තැන වැඩ කරන සේවකයින් නිසා ‘ආයතනික ප්‍රතිපත්ති’ ඉක්මවා යන සම්බන්ධතා ද නොවැළැක්විය හැකි වන බව පෙනේ. එහෙයින් ඇතැම් සුපිරි වෙළෙඳසැල් නිතර නිතර එහි සේවකයින් සිය වෙළෙඳසල් ජාලයේ ම විවිධ ශාඛාවලට මාරු කර හරී. ‘‘මම නං සුපර් මාකට් එන්නෙ සීනි සීයක් වුණත් කිරලා ගන්න පුළුවන් හින්දා... මම තනියම උයාගෙන කන්නෙ... ඉතිං එකපාර වැඩිපුර බඩු ගන්න අවශ්‍ය නෑ... සාමාන්‍ය කඩේකින් සීනි සීයක් ඉල්ලුවොත් හැම කෙනෙක් ම හැරිලත් බලයි... ඒත් මෙතන එහෙම නෑ...’’ යනුවෙන් පැවසූ කාන්තාවක් සුපිරි වෙළෙඳසැල් සිල්ලර කඩේටත් වඩා සූක්ෂ්ම ආකාරයට සිල්ලර වෙළෙඳාම කරන අයුරු පැහැදිලි කළා ය. ‘‘අනික මැල්ලුං, කොහිල එහෙම කපලම තියන හින්දා පහසුයි... උදේට කහ මිරිස් තුනපහ එක්ක පොල්කිරි පැකට් එකෙන් ටිකකුත් දාලා රත්කරගන්න විතරයි තියෙන්නේ... ඉතිං ඒක හරිම පහසුයි... විනාඩි දෙකෙන් තුනෙන් හදල ගන්න පුළුවන් රොටී කොත්තු වගේ දේවලුත් තියෙන්නෙ මේ වගේ තැන්වල විතරයි...’’ යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවේ, සුපිරි වෙළෙඳසැල් යාමෙන් අත්වන ‘විශේෂ පහසුකම්’ අගය කරමිනි. ‘‘අපි වගේ අයට ඉඳල හිටල බියර් එකක් ගන්න හිතුනත් ඉතිං මෙතනින් තමයි ගන්න වෙන්නෙ... මොකද ගෑනු අපි බාර්වලට ගිහින් බියර් එකක් ඉල්ලුවත් මිනිස්සු අපි දිහා බලන්නෙ මිනී මැරුවා වගේ නෙ...’’ යැයි ඇය පැවසුවේ ආපසු හැරී යන ගමන් ය. මේ අතර තවත් අය එහි එන්නේ, එය නාගරික කාර්යබහුල ජීවිතයට හොඳින් ම ගැළපෙන නිසා ය. ‘‘තොග කඩේකට ගියොත් පාකිංවල ඉඳන් ම එක එක ප්‍රශ්න... අනික කොස්සෙ ඉදලෙ ඉඳන් ලුණු කැටේ දක්වා හැම දෙයක්ම එකම තැනකින් අරං යන්න පුළුවන්නෙ... එතකොට කඩවල් ගාණකට යන්න ගත වෙන කාලෙත් ඉතුරුයි... ෆෝන් බිල් ලයිට් බිල් හෙමත් මෙතනින් ම ගෙවාගන්න පුළුවන් වෙන එකත් විශේෂ වාසියක්... ඒ.ටී.එම්. කාඩ් එකෙන්, ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවල බඩු ගන්න පුළුවන් එකත් ලොකු වාසියක්... ඒ කියන්නෙ අතේ සල්ලි නැතත් බඩු ගන්න පුළුවන් කියන එකනෙ... හැබැයි ඉස්සර කාලෙ වගේ පොළේ ගිහින් බඩු ගන්නව තරං ලාභයක් නං නෑ...’’ යැයි දශක තුන හතරකට කලින් ඉරිදා පොළ සංස්කෘතිය ද අත්විඳ පළපුරුදු වැඩිහිටි පාරිභෝගිකයෙකු පැවසුවේය. ඔහු ද පවසන පරිද්දෙන් මේ වන විට කොළඹ සහ තදාසන්නයේ ‘පොළ සංස්කෘතිය’ මුළුමනින් ම පාහේ බිඳවැටී ඇති අතර ඒ වන විට ඉහත සඳහන් කළ පරිද්දෙන් ‘සුපිරි වෙළෙඳසැල් සංස්කෘතියක්’ ගොඩනැගී ඇති බව පෙනේ. ඇතැම් සුපිරි වෙළෙඳසැල් දියුණු රටවල දැකගත හැකි ‘ෂොපිං මෝල්’ තත්වයට දියුණු වී ඇති අතර අවන්හල්, ක්‍රීඩාගාර මෙන් ම සිනමාහල්වලින් ද සමන්විත වේ. ඒ පවුලකට සති අන්ත දවසක් විනෝදයෙන් ගත කර රාත්‍රී කාලයේ බඩු බාහිරාදිය ද රැගෙන නිවසට පැමිණිය හැකි පරිසරයක් නිර්මාණය කරමිනි. එහෙත් ඒ සුපිරි වෙළෙඳසැල් සංස්කෘතිය තුළ ‘අප්‍රිය’ දේ ද නැතුවා ම නොවේ. ඇතැම් සුපිරි වෙළෙඳසැල්වල රාත්‍රී කාලයට ශීතාගාර ක්‍රියාවිරහිත කරනු ලබන බවත්, එහෙයින් පසුවදා උදෑසන ඒවා විවෘත කරන විට ‘කුණු ගඳක්’ වහනය වන බව÷ත් එවැනි එක්තරා වෙළෙඳසැලක වැඩකරන සේවිකාවක් පැවසුවා ය. ‘‘හෝල්සේල් සොසේජස් එහෙම හරි ගඳයි... සෙවල ගතියයි... ඉතිං අපි ඒවා ආපහු හෝදලා ෂෝ රූම්වල අහුරනවා... පරණවෙන මාළු බැදලා ලූණු පෙත්තයි තක්කාලි පෙත්තයි තියලා කැෂියර් එකට යවනවා... පරණ වෙන පලතුරු එළවළුත් කපලා ප්ලාස්ටික් තැටි වල අහුරලා විකුණන්න දානවා... අපි ඉතිං දන්න කියන අයට නං කියනවා බැදලා විකුණන මාළුයි කපලා විකුණන පළතුරුයි ගන්න එපා කියලා...’’ යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවා ය. මේවයේ වැඩ කරනවට ඔයාලට හොඳට ගෙවනවද...? ‘‘ඒක තමා දුක... අපි මුළු දවසම හිටගෙන තුන්සිය හැටපස් දාම වැඩ කරනවා... රෑ වෙනකොට හරිම අමාරුයි... හොඳට බිස්නස් තිබුණත් අපට නම් ගෙවන්නෙ හරිම අඩුවෙන්... ’’ සුපිරි වෙළඳසැලකළ ‘පාට් ටයිම් ජොබ් එකක්’ කළත් හොඳ ආදායමක් ලබාගත හැකි බව සිහිපත් කළ ඇය මෙසේ ද පැවසුවා ය. ‘‘මම නං අකමැතිම අවුරුදු නත්තල් සීසන් වලට... අවුරුදු කාලෙට අපි රෙදි හැට්ට අඳින්න ඕන... නත්තල් කාලෙට නත්තල් තොප්පි දාන්න ඕන... හරියට විකට ඇඳුම් තරඟයකට යනවා වගේ... ඒත් ඉතිං ඒක කරන්නම වෙනවා...’’ ඇපල් පෙට්ටියකින් ගත් රතු ඇපල්ගෙඩි පිළිවෙලට සීරුවට අසුරමින් සිටි ඇය අවසානයේදී මෙසේ පැවසුවේ, ‘අපි දන්න සුපිරි වෙළඳසැල්’ පිළිබඳ ඇයට ඇති අත්දැකීම් කිසිසේත් ම ‘සුපිරි නොවන’ බව පසක් කරමිනි. ‘‘හැමදාම උදේට මේකප් දාන එකත් සැරින් සැරේ මේකප් අලුත් කරන එකත් නීතියක්... අපි කොච්චර දුක්වින්දත් ඒ බව නොපෙනෙන්න හිනා වෙලා ඉන්න ඕන... පොඩි වරදක් හරි වුණොත් කස්ටමර්ස්ලා කම්ප්ලේන් කරනවා... ඒ වගේ කම්ප්ලේන්වලට පඩියෙන් පවා කපපු අවස්ථාත් තියෙනවා...’’ වැඩ කරන සේවකයින්ට ඉහළ වැටුප් නොගෙවුවත් මේ ආකාරයේ එක් සුපිරි වෙ​ෙළඳසල් ජාලයක පමණක් වෙළඳ ශාඛා තුන්සියයක් තුන්සිය පනහක් පමණ රටපුරා ම ක්‍රියාත්මක වේ. ඉන් එක් ජාලයක එක්තරා ශාඛාවක පමණක් සාමාන්‍ය දිනක දෛනික පිරිවැටුම රුපියල් ලක්ෂ 15 ඉක්මවන අතර සති අන්තයේදී නම් ලක්ෂ 20 ද ඉක්මවයි. සුරේඛා සමරසේන
 

More News..