brand logo

සුපිරි වෙළඳසලෙන් ගත් හාල් ගෝණියේ මී කුණක්

10 June 2020

ගම්පොළ නගරයේ සුපිරි වෙළෙඳසලකින් මිලට ගත්, පොලොන්නරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ නාමයක් සහිත හාල් මෝලක නිෂ්පාදිත බවට නම යොදා ඇති, සහල් ගෝනියක තිබී මියගිය මීයකු සහ මිය ගිය මැස්සන්ගේ ශරීර කොටස් විශාල ප්‍රමාණයක් හමු වී තිබේ. එම හාල් උරය විවෘත කළ පසු එයින් දුගඳක් වහනය වීම නිසා ඒ ගැන සොයා බැලීමේදී මී කුණ හමු වූ බව පාරිභොගිකයෙක් පවසයි. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ හෙම්මාතගම අක්කර සියය අම්බලව ප්‍රදේශයේ පදිංචි එම්.ජී. ප්‍රසන්න කුමාර මහතාය. දෙදරු පියෙකු වන ඒ මහතා සිද්ධිය වූ දිනයේදීම ඒ බව ගම්පොළ පිහිටි වෙළෙඳසලට දුරකථනයෙන් දැනුම් දුන් පසු සහල් උරයක් නැවත ලබාදෙන බව පැවැසූ වේ යැයි ඒ මහතා මාධ්‍ය වෙත පැවැසීය. කුලී වැඩ කර දරුවන් සහ බිරියත් සිය මවත් ජීවත් කරවන එම්.ජී. ප්‍රසන්න කුමාර මහතා එහි ගිය මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ තමන්ට වයස අවුරුදු දෙකහමාරක කුඩා දරුවෙක්ද සිටින බවය. මේ සියලු දෙනා මෙම සහල් ආහාරයට ගැනීමෙන් යම් රෝගාබාධයකට ලක්වූයේ නම් ඊට වගකියන්නේ කවුරුන්දැයි ඔහු ප්‍රශ්න කර තිබේ. මේ සම්බන්ධයෙන් සහල් මිලයට ගත් ගම්පොළ වෙළෙඳසලටත් පොලොන්නරුවේ සහල් මෝලටත් කතා කර ඇත. ඔවුන් පවසා ඇත්තේ ආර්ථික වශයෙන් බලාපොරොත්තු වන මුදලක් හෝ නැතිනම් සහල් නැවත ලබා ගැනීමට කැමැතිනම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසයි. නමුත් ඒ සියල්ලටම වඩා ප්‍රසන්න මහතා සාධාරණ ඉල්ලීමක් සියලු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී. ඔහු පවසන්නේ සමහර වෙළෙඳුන් නිසා ආහාර විස වී මිනිසුන් ලෙඩවීම වැළැක්වීම සඳහා වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරවන ලෙසයි. පසුව සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුරකථන මාර්ගයෙන් දැනුවත් කිරීමෙන් පසුව ඔහු පැමිණ මෙම සහල් උරය පරීක්ෂා කර අදාළ වෙළෙඳුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පවසා ඇත. ප්‍රසන්න මහතා පොලොන්නරුව සහල් මෝලට දුරකථන ඇමැතුමක් දුන් අවස්ථාවේ එහි සිටි අයකු පවසා ඇත්තේ ඔවුන්ගේ සහල් ගෙන ඒමෙන් අනතුරුව ගම්පොළ වෙළෙඳසලින් නැවත ඇසුරුම් කර ඇති බවට සැකයක් මතුවන බවයි. කෙසේ හෝ එලෙස ඇසුරුම් කර පොලොන්නරුවේ ප්‍රසිද්ධ සහල් මෝලෙහි නම සහිත බෑග්වල සහ එහි ස්ටිකර් යනාදිය අලවා අලෙවි කර ඇත්නම් එය වැරදි ක්‍රියාවක් වන අතර ඊට වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුය. හාල් මිලදී ගත් බිල් පතෙහි ප්‍රසිද්ධ හාල් මෝලේ නමත් ගම්පොළ වෙළෙඳ සලෙහි නමත් සඳහන්ව පවතින බවත් කියයි.
 

More News..