brand logo

සුපිරි රියේ පොල් විකිණේ

15 June 2020

ලංකාවේ එක් පුද්ගලයකු අලුත් ව්‍යාපාරයක් සොයා ගත්තොත් අනිත් හැම එකාම එම ව්‍යාපාරයට අත ගසා ව්‍යාපාරය මුලින්ම ඇරඹූ පුද්ගලයාත් බංකොලොත් කර තමනුත් බංකොලොත් වීම අපේ රටේ ලක්ෂණයක් වී තිබේ. කොමියුනිකේෂන් එකක් එක් පුද්ගලයකු පාරක දැම්මොත් හැමෝම ඒ පාරේ කොමියුනිකේෂන් දාන්නේ තරගයටය. මාතර බත් කඩයක් දැම්මොත් පංචිකාවත්තේ ගොයියාත් කඩේට නම දාන්නේ මාතර බත් කඩේ කියාය. පසුගිය මාස දෙකකට වඩා ඇඳිරි නීතිය මධ්‍යයේ කාටත් නොදැනී ‘ව්‍යාපාරික ට්‍රෙන්ඩ්’ එකක් ලංකාව පුරා හමා යන්නට විය. ඒ සුපිරි කාර්වල තබාගෙන භාණ්ඩ අලෙවි කිරීමයි. 120 හොරණ-කොළඹ බස් යන දුටුගැමුණු මාවතේ කොහුවල හන්දියට කිට්ටු වන්නට නවතා තිබුණේ සිල්වර් පාට අලුත්ම අලුත් කුඩා වැගන් ආර් රථයකි. කාර් එකේ මිල ලක්ෂ 40ට ආසන්නය. මේ සුපිරි හුරුබුහුටි කාර් එක ඩිකිය ඇර පිටුපස සීට් එක මුනිං අතට නවා තිබුණි. දැන් කාර් එකේ ඩිකිය කුඩා තට්ටුවක් වැනිය. ඒ මත එළා ඇත්තේ ඉර එළියෙන් ආරක්ෂා වීමට ත්‍රිරෝද රථවල වහලයට මෙන්ම, නිවෙස්වල වහලවලට රස්නය නොඑන්න ගහන ෆොයිලින් ෂීට් එකකි. කාර් එකේ ඩිකියේ විකුණන්නට ඇත්තේ අලුත්ම අලුත් පොල්.. පොල්... පොපොල්... පොල්ය. පොල් මිල ගණන් තුනක් යටතේ තිබේ. පුවක් ගෙඩියකට වඩා ටිකක් ලොකු පොල් ගෙඩි 3ම රු. 100කි. අතට අහුවෙන තරමේ පොල් ගෙඩියක් රු. 60කි. කට පුරා පොල් ගෙඩියක් යැයි ලජ්ජා නැතිව කිව හැකි පොල් ගෙඩියක මිල රු. 80කි. ‘‘මං ෆිනෑන්ස් කොම්පැනියක වැඩ කරන්නේ. මාර්තු මාසේ පඩිය හම්බ වුණා. අප්‍රේල් පඩිය හම්බ වුණේ රු. 17,000යි. මැයි මාසේ රු. 10,000ක් හම්බවුණා. මේ වාහනේ ෆිනෑන්ස් එක විතරක් 68,000ක් තියෙනවා. මුලින්ම මේ වගේ වාහනයක පොල් විකුණන කොට සමහරු පුදුමෙන් බැලුවා. මගේ පඩිය රු. 60,000යි. පඩිය අඩු වුණාට ගෙදර වියදම් අඩුවුණේ නැහැ. ඔය කොරෝනා නිසා ෆිනෑන්ස්වලට මාස තුනක සහනයක් කියන්නේ බොරු කතාවක්. ඕවා ගෙවන්න වෙන්නේ වැල් පොලිත් එක්ක. ලබන සතියේ වැඩට එන්න දිනයක් ඊමේල් කරලා තිබ්බා ෆිනෑන්ස් කොම්පැනියෙන්. ආයි වැඩට ගියත් මේ බිස්නස් එක අතාරින්නේ නැහැ. මේ මාස දෙකේම වාහනේ ෆිනෑන්ස් එකේ කොටසක්​ හොයාගත්තෙත් මේ පොල් විකුණලා.’’ පාර්ලිමේන්තු පාරේ දියත උයන ළඟ අලුත්ම ඉංග්‍රීසි අකුරු තුනේ ස්පෝට්ස් මොඩල් කළු කාරෙකේ ඩිකියේ තිබුනේ ගස්ලබුය. ගස්ලබු ගෙඩි කිහිපයක් හරි මැදින් සිග්සැග් හැඩයට කපා රඳවා තිබුණේ යෝගට් කෝප්පවලය. ‘‘අපේ ගස්ලබු අක්කරයක් විතර තියෙනවා අතුරුගිරියේ. කොරෝනා කාලේ කිලෝ එක රුපියල් දහයටවත් විකුණගන්න බැරි වුණා. ඇත්තටම මායි, පුතයි ගෙයින් ගෙට ගිහින් වික්කා. ලක්ෂ 50ට එහා වාහනයක් නිසා කවුරුත් ගණන් අඩු කරන්න අහන්නෙත් නැහැ. එකම එක දවසක් පී.එච්.අයි. කෙනෙක් ඇවිත් විස්තර අහල ගියා.’’ නුගේගොඩ, නාවල පාරේ නාවල සිට ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව තෙක් එනතුරු පාර අයිනේ ඇති වාහනවල තබාගෙන විකුණන අයිතම බොහෝය. ඉන් එක් වාහනයක තිබුණේ මුට්ටිවල දැමූ කැවුම්, කොකිස්, වැලිතලප, මුං කැවුම් වැනි රසකැවිලිය. ජීන්ස් එකක් ඇඳ සිටි අලෙවි කටයුතුවල නියුතු යුවතිය තොප්පියක් දමා කටකලියාවක් ගැටගසාගෙන තිබුණි. අව් කණ්ණාඩි පැලඳ සිටි නිසා ඇය කවුරුන්දැයි හඳුනා ගැනීමට ඉතා අපහසු විය. කොරෝනා උවදුර එන්නට පෙර ලංකාවේ කුඩා ලොරිවල තබාගෙන බඩු භාණ්ඩ විකුණන පිරිස් අපට දැකගත හැකි විය. ඒ සඳහා යොදාගත් ප්‍රධාන වාහනය ලෙස සැලකිය හැක්කේ ඩිමෝ බට්ටා ලොරියයි. ඒත් ඊට පසු ඩිමෝ ලොක්කා, මහේන්ද්‍ර මැක්සි, ෆොටෝන්, පියාජියෝ වැනි කුඩා ලොරිද මේ ජංගම බිස්නස්වලට යොමු විය. බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමැති යුගයේ මේ සඳහාම සකසන ලද ඩිමෝ බට්ටා ලොරි බෙදා දෙනු ලැබුවේ ගාලු මුවදොර සිය ගණනිනි. ඒත් මේ කොරෝනාවත් සමග වීදි අයිනේ විකුණන බඩු තබාගන්නා වාහනවල මහා පෙරළියක් ඇතිවිය. ඒ වෙනස වූයේ කර්කශ ලොරි නම් වූ වාහනවල තබාගෙන බඩු විකුණනවා වෙනුවට අධි සුඛෝපභෝගී වාහනවල බඩු තබාගෙන විකිණීමයි. මේ භාණ්ඩ විකුණන කාන්තා හෝ පුරුෂ පාර්ශ්වය දුටු සැණින් අවබෝධ වන්නේ ඔවුන් යම් සමාජ තරාතිරමක අය බවය. කටකලියාව නොහොත් මාස්ක් එක හා තොප්පියක් දමා සන්ග්ලාස් දෙකක් පැලඳගත් විට ඔවුන්ගේ අනන්‍යතාව කිසිවකුට තෝරා බේරා ගැනීමට නොහැකි වීම ඔවුනට වෙස්වළාගත් ව්‍යාපාරික ආශිර්වාදයක් වී තිබේ. කාර්වල තබාගෙන ෂෝට්ඊට්ස් විකුණන, නැන් නම් බොහෝවිට දැකගත හැකි වූයේ සවස් යාමයේය. එහෙත් උදෑසන දකින්නට ලැබූ කාර්වල විකුණන්නට තිබුණේ ඉඳිආප්ප, පාන් කාල දෙකට පලා සීනිසම්බල් දැමූ පාන්, පිට්ටු, නිවෙස්වල ටෝස්ටර්වල හැදූ සැන්ඩ්විච් සහ කිරිබත් ආදියයි. ‘‘මේ ඔක්කොම ගෙදර හදපුවා. උදේම නැගිටලා මහත්තයයි, මායි, දුවයි එකතුවෙලා හදනවා. වැඩිය අයිටම් නෑ. ඉඳිආප්ප නම් ළඟ ගේකින් ගන්නවා. උදේ හත වෙනකොට ඔක්කොම බඩු ඉවරයි. සමහරු ෆෝන් නම්බර් එක ඉල්ලන් ගිහින් මොනවා හරි වැඩිපුර ඕන නම් කෝල් කරලා කියනවා. තව සමහරු ඕන බඩු ටික කෝල් කරලා තිබ්බාම අපි ෂොපින් උරවලට දාලා දෙනවා. ගාණ රු. 180 නම් රුපියල් 200 දීලා ඉතුරු ගන්නෙත් නැහැ.’’ තලවතුගොඩ ප්‍රදේශයේ අප සැරිසරන විට දුටු දර්ශනය අදහාගත නොහැකි විය. පාර අයිනේ රෝහලක් අසල නවතා ඇත්තේ රුපියල් ලක්ෂ 100කට අධික පැජරෝ රථයකි. රථයේ පිටුපස සීට් එක ගලවා තිබූ අතර එම රථය පිරෙන්නට තිබුණේ රු. 160 පාන් ගෙඩිය. ගාලු පාරේ වැල්ලවත්ත පසු කරනවාත් සමග තිබුණු සුපිරි කාර් එකක තිබුණේ නම් වාහනයේ වටිනාකමට ගැළපෙන පන්නයේ බිස්නස් එකකි. එහි ඩිකියේ දොර හැර තිබුණු අතර අලෙවියට තිබුණේ අව් කණ්ණාඩි නොහොත් සන්ග්ලාස්ය. ඒ අසලම ස්ටෑන්ඩ් එකක තවත් කණ්ණාඩියක් එල්ලා තිබුණි. ඒ සන්ග්ලාස් එක මිලදීගත් පසු හැඩවැඩ බැලීමට විය යුතුය. මෙසේ අප පිළියන්දල ප්‍රදේශය කරා ඇදෙන විට දැක පුරුදු මුද්‍රණාල හිමියකු තම වටිනා කාර් එකේ තබාගෙන විකුණමින් සිටියේ කුඩා යෝගට් කෝප්පවල දැමූ ජෑම් කප්ය. ‘‘මොකද ප්‍රින්ටින්වලින් ජෑම් බිස්නස්වලට බැහැලා?’’ ‘‘නෑ... නෑ. ඒක දිග කතාවක්. අපේ ප්‍රෙස් එකේ වැඩිම ලේබල් ගැහුවේ ජෑම් කොම්පැනියක. කොම්පැනියේ අයිති මගේ යාළුවගේ පොඩි දරුවට කැන්සර් එකක් හැදිලා සබ්බ සේසතම වියදම් කරලා. ඇත්තටම මේ ජෑම් තොගේ මට දුන්නා විකුණගන්න. මේ කන්ටේනර එක පොඩි නිසා ගාණත් අඩුයි. ඒ නිසා ජෑම් ගන්න අය අඹ, ඇඹරැල්ලා, මික්ස් ෆෘට්, චෙරි වගේ වර්ග හතරකින්ම ගන්නවා. මං මේ මාසයට විකුණපු ජෑම් තොගෙන් ගත්ත ලාභේ ප්‍රෙස් එක මාස හයක් දිව්වත් ගන්න බෑ.’’ මේ කොළඹ කාර්වල බිස්නස් නිරීක්ෂණය කළ විට පැහැදිලිව පෙනී ගියේ ‘මාස්ක්’ විකුණන කාර් ප්‍රමාණයෙන් වැඩි බවය. මාස්ක් සමග සැනිටයිසර් දියර මෙන්ම සබන්, වොෂින් පවුඩර් වැනි දේ විකුණන පිරිස්ද දැකිය හැකි අතර ඔවුන් අපට කීවේ කෑම බිස්නස්වලට වඩා මේ බිස්නස් එක සරු බවය. ‘‘කෑම බිස්නස් එකක් කළොත් හවසට ඉතුරු වුණොත් පාඩුව අපිටමයි. ඒත් මේ බඩු කුණු වෙන්නේ නැහැ. මාස දෙක තුනක් ගියත් කුණු වෙන්නැති නිසා අලාභයක් නෑ. ඊට වැඩිය කෑම ටිකක් හදාගත්තොත් අනිවාර්යයෙන්ම පැය 4-5 ඇතුළත විකුණන්න එන්නම වෙනවා. වැස්සට බිස්නස් අඩුයි.’’ පිළියන්දල බයිපාස් පාරේ යන විට ප්‍රවීණ පුවත්පත් ඡායාරූප ශිල්පියකුද රොටී බිස්නස් එකකට බැස සිටියේ තම සුපිරි බෙන්ස් රථයෙනි. බිස්නස් එකේ නම Food IT ය. මේ ඡායාරූප ශිල්පියා ඉන්ද්‍රනාථ තේනුවරය. ‘‘මේ​කේ තියෙන පෝෂන් එක පොල් රොටියි, පෝක් හොදියි’’ මුලින්ම පෝෂන් 30ක් දැම්මා. දැන් නම් හිතාගන්නත් බැරි කස්ටමර්ලා සෙට් එකක් ඉන්නවා. යන්ත්‍රසූත්‍ර නැති නිසා මීට වඩා ප්‍රඩක්ෂන් එකක් කරන්න අමාරුයි.’’ ‘‘අලුත් බිස්නස් එක ගැන පත්තරේ දැම්මට කමක් නැද්ද?’’ ‘‘අයියෝ... මං මගේ බිස්නස් එක ෆේස්බුක් එකෙත් දැම්මා.’’ මේ බයිපාස් පාරේම තිබුණ තවත් සුපිරි රථයක බත් පාර්සල් විකුණන පුද්ගලයකු කීවේ තමන් බිස්නස් එක පටන් ගත්තේ ගෙදර උයන බත් එකට හාල් හුණ්ඩු දෙක තුනක් වැඩිපුර තබා බවය. ඔහුගේ රථයේ තිබුණ බත් පාර්සල් තොගයෙන්ම ඔහුට ඇති වෙළෙඳාම අපට හිතාගත හැකි විය. මේ කාර්වල විකුණන අනික් දේ කීපයක් මෙසේය. කෙසෙල්, ගස්ලබු, බිත්තර, විදුලි බුබුළු, කජු, බයිට්, මීකිරි, කොමඩු ආදී තවත් බොහෝ දේය. මේ කාර් රථ හිමියන් කියන්නේ මේ බිස්නස් එකේ කඩ කුලී, වතුර බිල්, ලයිට් බිල් නැති නිසා හවසට ගෙදර ගොස් හොඳහැටි නින්ද යන බවය. අවසානයේ අපට ඒත්තු ගියේ මේ අලුත් බිස්නස් එක මෙරට ජනතාව අතර රැල්ලක් ලෙස පැතිර යාහැකි පවුල් කුටුම්භයේ අතමිට සරු කරන අලුත්ම අත්දැකීමක වනු නියත බවය. මිලියන ගණනක බෙන්ස් රථවල තබාගෙන විකුණන කෙසෙල් ගන්නට පුස් බයික්, මෝටර් සයිකල් හා ලක්ෂ 10ක්වත් නැති මරුටිවලින් පැමිණ පොරකන්නේ ඒ නිසා විය යුතුය. වජිර ලියනගේ ඡායාරූප- ඒෂාන් දසනායක
 

More News..