brand logo

සුපිරි පන්දුවාරයෙන් උදානගේ රෝයල් චැලෙන්ජර්ස්ට සුපිරි ජයක්

30 September 2020

අයි.පී.එල්. විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයේ ලකුණු සම වීම හේතුවෙන් පැවැති සුපිරි පන්දුවාරයෙන් මුම්බායි ඉන්දියන්ස් හමුවේ ජයග්‍රහණය වාර්තා කිරීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හැකි වූයේය. මෙවර තරගවාරයේ සුපිරි පන්දුවාරය මගින් ජයග්‍රහණය තීරණය වූ දෙවැනි තරගය මෙය විය. බැංගලෝර් කණ්ඩායම සහභාගි වූ තරග තුනෙන් ලද දෙවැනි ජයග්‍රහණය වශයෙන් සටහන් වූ මෙම තරගයට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම විශේෂත්වයක් විය. සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස්කළ ලකුණු 7ක ඉලක්කය හඹාගිය කෝලි සහ ඒ.බී. ඩිවිලියර්ස් යුගලය ලකුණු 11ක් වාර්තා කරමින් ජය සපුරා ගැණින. පන්දුවාර 20 අවසානයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 201ක් රැස්කළ අතර ජයග්‍රහණය කරා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු සම තත්ත්වයට රැගෙන ආවේය. එහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවසන් පන්දුවාරය සඳහා ලකුණු 19ක් අවශ්‍යව තිබුණි. අවසන් පන්දුවාරයේ ඉසුරු උදාන යැවූ මුල් පන්දු දෙකට මුම්බායි පිලට රැස්කරගත හැකි වූයේ ලකුණු 2ක් පමණි. ඉසුරු විසින් යැවූ අදාළ තුන්වැනි පන්දුවේදී ලෝන් ඕන් කලාපයේ හයේ සීමාව අසල සිටි ගුර්කීරත් සිං වෙත ඉෂාන් කිෂාන් ලබා දුන් උඩ පන්දුව ඔහුගේ අතෙහි වැදී හයේ සීමාවෙන් එපිටට යාමත් සමග අවසන් පන්දු 3ට ජයග්‍රහණය සඳහා මුම්බායි පිලට ලකුණු 11ක් අවශ්‍ය විය. සිව්වැනි පන්දුවටත් හයේ පහරක් වාර්තා කරමින් තරගයේ වාසිය මුම්බායි පිල වෙත ගෙනා ඉෂාන් කිෂාන් ඔහුගේ ලකුණු සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ නංවාගත්තේය. ශතකයට එක් ලකුණක් මෙපිටින් සිටියදී උදාන යැවූ පස්වැනි පන්දුවේදී උඩ පන්දුවක් ලබා දී කිෂාන් දැවී ගියේය. පන්දු 58කට මුහුණ දී සිටි කිෂාන්ගේ ලකුණු සංඛ්‍යාවට හයේ පහර 9ක් සහ හතරේ පහර 2ක් අන්තර්ගත විය. ඒ අනුව අවසන් පන්දුවේදී ජයග්‍රහණය සඳහා මුම්බායි පිලට ලකුණු 5ක් අවශ්‍ය වූ අතර කිරන් පොලාඩ්ට අවසන් පන්දුවට වාර්තාකරගත හැකි වූයේ ලකුණු 4ක් වීමෙන් තරගය සම තත්ත්වයේ අවසන් විය. ඒ වන විට පන්දු 24කට මුහුණ දී සිටි පොලාඩ් හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 60ක් වාර්තාකර ගත්තේය. සිය මංගල අයි.පී.එල්. තරගයට සහභාගි වූ උදාන මෙහිදී ලකුණු 45කට කඩුලු 2ක් බිඳහෙලුවේය. හයේ සහ හතරේ පහර හතර බැගින් එල්ල කරමින් පන්දු 24කදී නොදැවී ලකුණු 60ක් වාර්තා කළ ඒ.බී. ඩිවිලියර්ස් තරගරයේ වීරයා බවට පත්විය.  
 

More News..