brand logo

සුපිරි ක්‍රිකට් තරු සමග 'ආමි කමාන්ඩර්ස් ලීග්' අද සිට

05 October 2020

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංවිධානයෙන් පළමු වරට පැවැත්වෙන ‘ආමි කමාන්ඩර්ස් ලීග්’ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (05 වැනිදා) දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය. තරගාවලියේ මූලික වටයේ තරග අද (05 වැනිදා) සිට ලබන 13 වැනිදා දක්වා දොඹගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. අදාළ තරගාවලියේ අවසන් මහා තරගය ලබන 17 වැනිදාට යෙදී තිබෙන අතර එය නව තණතීරු සහිතව ප්‍රතිසංස්කරණය කරන ලද සාලියපුර ගජබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ කණ්ඩායම් නායකයින් ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබෙන යුද්ධ හමුදා ක්‍රීඩකයින් නම්කොට තිබේ. ඊට ඇතුළත් ‘සුපර් ෆැෂන් නොදර්න් වොරියර්ස්’ කණ්ඩායමේ නායකයා ලෙස සීක්කුගේ ප්‍රසන්නත්, ‘ප්‍රීමා ස්ටෙලා ඊස්ටර්න් වොරියර්ස්’ කණ්ඩායමේ නායකයා වශයෙන් අසේල ගුණරත්නත්, ‘ඩිමෝ සදර්න් වොරියර්ස්’ කණ්ඩායමේ නායකයා වශයෙන් දිනේෂ් චන්දිමාලුත්, ‘මෙල්බන් වෙස්ටර්න් වොරියර්ස්’ කණ්ඩායමේ නායකයා වශයෙන් තිසර පෙරේරාවත් නම් කොට තිබේ. යුද හමුදාව නියෝජනය කරමින් පළමු පෙළ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සහ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය මෙන්ම යුද හමුදා අන්තර් රෙජිමේන්තු එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයන් 64 දෙනෙකුට මේ සඳහා අවස්ථාව හිමි විය. මීට අමතරව ඒ ඒ කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති ආරාධිත ක්‍රීඩකයින් තුන්දෙනා බැගින්ද, ඇතුළත්ව තිබීම සුවිශේෂී කාරණයකි. ඒ අනුව ‘සුපර් ෆැෂන් නොදර්න් වොරියර්ස්’ කණ්ඩායම සඳහා දසුන් ශානක, අකිල ධනංජය සහ භානුක රාජපක්ෂත්, ‘ප්‍රීමා ස්ටෙලා ඊස්ටර්න් වොරියර්ස්’ කණ්ඩායම සඳහා කුසල් මෙන්ඩිස්, සඳුන් වීරක්කොඩි සහ චතුරංගද සිල්වාත්, ‘ඩිමෝ සදර්න් වොරියර්ස්’ කණ්ඩායම සඳහා සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංගත්, ‘මෙල්බන් වෙස්ටර්න් වොරියර්ස්’ කණ්ඩායම සඳහා නුවන් ප්‍රදීප්, ධම්මික ප්‍රසාද් සහ අවිශ්ක ප්‍රනාන්දුත් සිය දායකත්වය ලබා දීමට සූදානමින් සිටී. එක් කණ්ඩායමකට වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයන් දෙදෙනෙකුත්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ආරාධිත ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් ඇතුළත් කිරීම අනිවාර්ය වේ. ඒ ඒ කණ්ඩායම සඳහා යුද හමුදාව නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන් දෙදෙනා බැගින් අතිරේක ක්‍රීඩිකාවන් ලෙස යෙදවීමද මෙහිදී සිදුවේ. උද්ගත වයිරස තත්ත්ව හමුවේ ඉකුත් මාර්තු මාසයෙන් පසුව ලංකාව තුළ පවත්නා දෙවැනි ප්‍රධාන පෙලේ ක්‍රිකට් තරගාවලිය මෙය වේ. ඒ සඳහා පානදුර සුපර් ෆැෂන්, සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස්, ඩිමෝ, මෙල්බන් වානේ සහ ඒ.පී.ටී.එස්. යන ආයතන අනුග්‍රාහකයන් ලෙස එක්ව ඇත. ගයාශාන් විතානආරච්චි
 

More News..