brand logo

සුදෝ පොඩ්ඩක් අඬන්න ගීතය සිරිල් ලිව්වේ මටයි - අනුලා අබේනායක

24 June 2019

* ඔහු නැතුව ගෙවන කීවැනි අවුරුද්දද මේ ? අටවැනි අවුරුද්ද. එයා අපිව දාලා ගියේ 2010 දෙසැම්බර් 10 * ඔබට සිරිල් ඒ. සීලවිමලයන් හමුවෙන්නේ ? ඉස්කෝලේ යනකාලේ. එතකොට මං ඕලෙවල් පන්තියේ ඉගෙන ගන්නවා. * මේ පාසල් ප්‍රේම කතාවක්. ? නෑ. ඊට වඩා වෙනස් ටිකක්. මං ඉස්කෝලේ ගියේ කොටහේන යහපත් එඬේරාගෙ කන්‍යාරාමෙට. මට සිරිල්ව හමුවෙන්නෙ සාමාන්‍ය පෙළ සිංහල ටියුෂන් පන්තිය හින්දයි. * ඒ කොහොමද ? අපේ ගම කොළඹ කොටහේන. අපේ පවුලෙ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි නංගියි. අම්මා නම් රැකියාවල් කළේ නෑ. තාත්තා සතොසෙ ප්‍රධාන ලිපිකරුවෙක් විදිහට රැකියාව කළා. * ඉතින් ඔහොම වෙද්දි ? 1959 අවුරුද්ද වෙනකොට අපි තාවකාලිකව හිටියෙ ඔරුගොඩවත්තෙ කුලී නිවහනක. හැබැයි එහෙ පන්සලට අම්මා අපිව නිතර එක්ක ගියා. දවසක් පන්සලේ ලොකු හාමුදුරුවෝ කිව්වා, පන්සලේ සිංහල උගන්නන ටියුෂන් පන්තියක් තියෙනවා, මේ ළමයිනුත් ඒ පන්තියට එවන්න කියලා. * ඉතින් ඒ පන්තියට අම්මා ළමයින්ව දැම්මද ? ඒක තමයි මගේ ඉරණම තීන්දු කරපු ටියුෂන් පන්තිය. ඒ පන්තියේ සර් තමයි සිරිල් ඒ. සීලවිමල කියන්නේ. සිරිල් ඒ කාලෙ පත්තරවල සඟරාවල වැඩකරන ගමන් තමයි ටියුෂන් පන්ති කළෙත්. නමුත් එයාට ඒකට වෙලාව තිබ්බා. * සිරිල් ඒ. සීලවිමල කොහේ කෙනෙක්ද? මීරිගමයි, සඳලංකාවයි අම්මගෙ තාත්තගේ ගම් නිසා ඒ ගම් දෙකේම හැදිලා. ගෙඩි වෙදමහත්තයෙක් වුණ තාත්තයි, අම්මයි, නංගියි, මල්ලියි පවුලෙ ඉඳලා තියෙන්නේ. * ඉගෙනීම් කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ? කනංගමුව මහා විද්‍යාලයෙන් සහ සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනින්. තාත්තට නම් ඕන වෙලා තියෙන්නේ සිරිල්වත් ගෙඩි වෙද මහත්තයෙක් කරන්න. එ්ත් මෙයා තෝරාගෙන තියෙන්නේ වෙනස්ම පැත්තක්. * වෙනස්ම පැත්තක් කිව්වේ? ඉස්කෝලේ යන කාලේ ඉඳලා කවි ලියන්න, කවි කියන්න, ඇහෙන සින්දු කියන්න ලොකු දක්ෂකමක් තිබිලා. ඒ හින්දා දිගටම ලියලා තියෙනවා. * ඉතින් අධ්‍යාපනෙන් පස්සේ තෝරගෙන තියෙන්නේ? ටියුෂන් පන්ති කිරීමයි, පත්තරවලට සඟරාවලට සම්බන්ධ වීමයි. 1956 ගණන්වලදී වෙ. වි. අබේගුණවර්ධන මහත්තයා පටන් ගත්ත ‘‘පෙරමුණ’’ කියන පත්තරේට සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. අවුරුදු හතරකින් පහකින් පත්තරේ නැවතුණාම කලා සඟරාවට, චලන චිත්‍රවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ටියුෂනුත් දිගටම කළාලු. * ඔබ හමුවන්නේ, ඒ කාලේ? ඒ ළඟ ළඟ කාලේ තමයි. ඒ කාලේ වෙනකොට සිරිල් සිංදුත් ලියනවා. එයා ලියපු සිංදු ගුවන්විදුලියේ ඇහෙනවත් එක්ක. හැබැයි මම දන්නේ නෑ, ඒවා මෙයාගේ කියලා. * කොහොමද ඉතින් ඔය ගුරු ගෝල පෙම් පටලැවිල්ල ඇරඹුණේ? මේ සම්බන්ධෙ ඇතිවෙන්න පන්සලේ ලොකු හාමුදුරුවෝ, වලල්ලාවිට සද්ධානන්ද හාමුදුරුවොත් හේතුවක් වෙලා තිබුණා. * හාමුදුරුවෝ හේතුවක් වුණේ ? දවසක් මං ක්ලාස් එකට එනකොට ලොකු හාමුදුරුවෝ සිරිල්ට කියලා තියෙනවා ඔයා තාම බැඳලත් නැති එකේ ඔය එන ගෑනු ළමයා ගැන හිතුවොත් නරකද කියලා. සිරිල් මට මේ කතාව පස්සෙ දවසකයි කිව්වෙ. * ඉතින් ඊට පස්සෙ ? ඒක එයා හිතේ තියාගෙන තමයි මාත් එක්ක කතාබහ කරලා උගන්නලා තියෙන්නේ. එතකොට ඔහු විශේෂත්වයක් නොපෙන්වා අපේ ගෙදරත් දෙතුන් ගමනක් ආවා ගියා. ඒ කාලෙම වගේ අපි කුලියට හිටපු ඒ නිවාසයෙන් ආයෙ ආවා, ආමර්වීදියේ මහල් නිවාසෙකට. ඒ නිසා මට සිරිල් පන්සලේ කරපු පන්තියට යන්න බැරිවුණා. * එහෙම වුණාම ? කොහොම හරි ඒ අවුරුද්දෙ මං විභාගෙට ලියන්න හිටපු හින්දා අපේ අම්මා ඒ ටියුෂන් සර්ව අපේ ගෙදර ගෙන්නුවා. මට ටියුෂන් දෙන්න. ඉතින් එයත් ඇවිල්ලා මට ඉගැන්නුවා. * එහෙම උගන්නද්දි ? අපේ ගෙදර ආව දවසකම සිරිල් මට ආදරේ ප්‍රකාශ කළා . ඒ වෙනකොට මගේ හිතත් එයා පැත්තට නැඹුරුවෙලා තිබ්බ හින්ද මාත් අකැමැති වුණේ නෑ. * ඔබේ සම්බන්ධෙ ගෙදරට කොච්චරකල් රහසක් වුණාද ? අවුරුද්දක් වගේ. අම්මා දැනගත්ත ගමන් මේ සම්බන්ධෙට තදින් විරුද්ධ වුණා. එයා මට වඩා අවුරුදු 12 ක් වැඩිමල්. මට අවුරුදු 14 දි එයාට වයස අවුරුදු 26. * එතකොට මොකද කළේ? අම්මා කවදාහරි කැමැති වෙයි කියන විශ්වාසයෙන් හිටියා. කැමැති වුණේම නෑ. දවසක් මෙයා කිව්වා ‘එහෙනම් අපි මේ සම්බන්ධෙ නවත්වමු කියලා? * එතකොට ඔබ මොකද කළේ? මට ඇඬුණා. ඒ වෙලාවේ එයා කිව්වේ බොරුවටයි සම්බන්ධෙ නවත්වමු කිව්වේ කියලා. තේ එකක් හදාගෙන එන්න කිව්වා. මං තේ එකක් හදාගෙන එනකොට මොරිස් දහනායක කියන ‘‘සුදෝ පොඩ්ඩක් අඬන්න’’ කියන සින්දුව ඒ ටිකට ලියලා තිබුණා. * එහෙනම් තවත් ගීත ඇති ඔබට ලියූ? තියෙනවා. ඇත්තටම මතකත් නෑ, දැන්නම්, ‘‘ඔයා සිනාසෙන්න මිහිරේ’’, ‘‘ආදරියේ නටන්න’, ‘දැකුමෙන් බැලුමට මග පාදා‘ ඒ වගේ සිංදුත් සිරිල් මටයි ලිව්වේ. * ඔය විදිහට කාලය ගෙවෙද්දි ? සාමාන්‍ය පෙළ විභාගේ පාස් කර ගත්තා. උසස් පෙළ පන්තියේ ඉගෙනගත්තා. ඒත් මට උසස් පෙළ විභාගෙට ලියන්න බැරිවුණා. ඒ වෙනකොට සිරිල් වයසින් වැඩිමල් නිසා එයාට ඕනවුණේ ඉක්මනට බඳින්න. අම්මා මුලින් අකැමැත්තෙන් හිටියත් පස්සේ අපට කැමැත්ත දුන්නා. ඉතින් අපි බැන්දා. * විවාහ වෙනකොට ඔහු රැකියාවක් කළාද ? ඒ වෙනකොට සිරිල් වෘත්තියෙන් මාධ්‍යවේදියෙක්. 1961 වසරේදි පටන්ගත්ත දවස පත්තර කන්තෝරුවේ දවස සහ රිවිරැස පත්තරවලට එයා ලියනවා. මුලින්ම සිරිල් දවසට සම්බන්ධවෙලා තියෙන්නේ නිදහස් ප්‍රවෘත්ති ලේඛකයෙක් විදිහට. ඊට පස්සෙ එයාගෙ දක්ෂතාවයෙන් එයාගේ මාධ්‍යවේදී ගමන ගියා. * විවාහයෙන් පස්සෙ ? අපි කැලණියේ කුලී ගෙදරක පදිංචි වුණා. අවුරුදු පහක් එතැන හිටියා. ඊට පස්සේ වරින් වර ගෙවල් කීපෙකම හිටියා, ඒ වෙනකොට බබාලා හිටපු හින්දා. * ඒ කිව්වෙ දරුවන් කීදෙනෙක්ද ? හතරදෙනයි. ලොකු පුතා නාලක. දෙවැනියා උදිත. තුන්වැනියා අනූෂා. හතරවැනි දුව හර්ෂා. මේ අය තුන්දෙනෙක්ම උපන්නෙ කැලණියේ ගෙදර. හතරවැනි දුව විතරයි දෙමටගොඩ ගෙදර උපන්නේ. * සිරිල් ඒ. සීලවිමල ඉක්මනින් පත්තර රස්සාවෙ ස්ථාවර වුණ කෙනෙක් ? නිදහස් මාධ්‍යවේදියෙක් වුණ එයා ස්ථිර මාධ්‍යවේදියෙක් වෙනවා. කොහොම හරි ඒ ගිය ගමනෙදි එයා දවස රිවිරැස පත්තර දෙකේම වරින් වර ප්‍රධාන කර්තෘ පදවියත් දරනවා. * ඒ කිව්වේ ඔහුට හොඳ මගපෙන්වන්නෙක් ලැබෙන්න ඇති ? ඒ එකම මග පෙන්වන්නා තමයි පත්තර ලෝකයේ දැවැන්තම කෙනා, ඩී. බී. ධනපාල මහත්තයා. සිරිල්, ධනපාල මහත්තයාගේ අන්තිම ගෝලයා කියලා එතුමගෙ වචනවලින්ම කියලා තියෙන්නේ. සිරිල් ඒ. සීලවිමල කියන්නේ මම ගරාගත්තු මැණිකක් කියලයි. * කොහොමද ඉතින් ඒ කාලෙ ජීවිතේ ? වැඩට ගිහින් හැමදාම එද්දි නම් රෑ වුණා. සිරිල්ට රාජකාරියක් පැවරුණාම ඒක කීයට හරි ඉවර කරලයි ගෙදර ආවේ. ඒ වගේමයි කවදාවත් වැඩක් අතරමග දාලා ගෙදර ආවෙත් නෑ. ඇත්ත කිව්වොත් එයාට දේවකාරියටත් වඩා ලොකු වුණේ රාජකාරියයි. * ඔහුගෙ ජීවිතේ තවත් විශේෂතා තියෙන්න ඇති..? වැඩට ගිහාම රෑ එකොළහට දොළහට හරි ගෙදර ආවා. රිවිරැසේදි සිකුරාදා රෑට ගෙදර ආවෙ නෑ. සමස්තයක් විදිහට ලියන කියන අය කනවා, බොනවා කිව්වත් සිරිල් කවදාවත් මත්පැන් දුම්වැටි කටේ තිබ්බෙ නැති කෙනෙක්. ගෙදරදී ලියන්න පටන් ගත්තේ ළමයි නිදා ගත්තම. * ඔහු සිංදු ලියන්න පෙලඹුණේ? ඒ කාලේ ඉඳලම කවි- සින්දු ලියලා තියෙනවානේ. ඒ කාලේ කවියක් පත්තරයක පළ කර ගන්න සෑහෙන්න මහන්සි වෙන්න වුණාලු. එයාගේ කවියක් ඉස්සරවෙලාම සිළුමිණේ පළ වෙලා තියෙන්නේ 13 වතාවක් කවිය ලියලා, ලේක්හවුසියට දැම්මට පස්සෙලු. * සින්දුවලට එහෙම අකරතැබ්බයක් නොවෙන්න ඇති? සිංදු නම් හුඟක් ඒ කාලේ ලියැවිලා තියෙනවා. ඔය ළිඳෙන් වතුර බීලා, ගල්කිස්ස මූදු වෙරෙළේ, මෝහෙන් මුළාවෙලා, නටපන් නයි හාමි, අප රට සුරකින සුර රජිඳේ, ජන්ම භූමි වාසනා වගේ ගුවන්විදුලි සරල ගීත රැසක් ලිව්වා. * එතකොට චිත්‍රපට ගීත? සන්සුන් රුවන් හද මන්දිරයේ, දෝතින් දෝතයි, හොඳ සිරියාවයි ආකාසේ, දිලි දිලිහෙන එළියක්, හිස් ටින් එකක් වගේ අපේ මේ ජීවිතේ මල්ලි, වගේ චිත්‍රපට 50 කට විතර ගීත ලියලා තියෙනවා. ඔක්කෝම ගීත 400 ක් විතර සිරිල් අතින් ලියවී තියෙනවා. . * ඉතින් ඔහොම කාලෙ ගෙවෙද්දී? දවස පත්තර කන්තෝරුව කීප සැරේ වැහුණා, අැරුණා. රස්සා නැති වුණා. ඒ කාලවල ජීවිතේ අමාරු වුණා. 74 දවස වැහුවම තමයි ඒ. ටී. ආරියරත්න මහතා සිරිල්ට සර්වෝදය පත්තරේ කරන්න භාර දෙන්නේ. * ඊට පස්සේ? 90 වසරේ ‘දවස කන්තෝරුව වැහිලම ගියාම එක එක පත්තරවල වැඩ කළා. එඩිතර කියන පත්තරේ කර්තෘ පදවිය දරලා අතරමගින් දාලා ගියා, ප්‍රතිපත්තිවලට එකඟ නැති නිසා. ඊටත් පස්සේ පියසේන ඉහළගම මහත්තයා එක්ක ඉරිදා පෙරමුණ පත්තරේ කළා. * එහෙම වැඩකරගෙන ඉන්නකොට ඊට පස්සෙ තිලකරත්න කුරුවිටබණ්ඩාර මහත්තයා එක්ක ‘ඉරුදින’ පත්තරේ රසාංජලී කළා. අසනීප වෙන්න කලින් ඒක තමා අන්තිමට කළේ? * ඔහු අසනීප වෙන්නේ? 2004 ඔක්තෝබර් 22 ඔය පත්තර කන්තෝරුවේ වැඩ කරමින් ඉන්නකොට තමයි අසනීප වෙන්නේ. ඒ වෙලාවෙම හදිසි අනතුරු ඒකකයට යවලා තිබුණත් සිරිල්ව ගෙදර ගෙනාවේ අංශභාග රෝගියෙක් හැටියට. * ඊට පස්සේ? එයා එක්තැන්වෙලා අවුරුදු හයක් හිටියා. ඔය කාලේ එයයි මමයි දෙන්නම දුක් වින්දා. මට කියලා කෙටි දේවල් ලියවලා පත්තරවලට දැම්මා. ඒත් පස්සේ එහෙම කරන්නත් බෑ කිව්වා. * එහෙම ඉන්නකොට? ටික දවසක ඉඳලා අමාරුකම් තිබුණා. වෛද්‍යවරයාටත් පෙන්නුවා. 9 වැනිදා රෑ පපුවෙ ගොර සද්දයක් එක්ක කැස්සක් ආවා. උදේ පාන්දර තේ පෙව්වා. බත් ඕන කිව්වා. බත් කන වෙලාව ඒක නෙවෙයි කියලා ඉඳිආප්පත් කැව්වා. ඒත් 8.30 වෙනකොට එයා නැති වුණා. * ඔහුගෙන් හිස් වුණු ජීවිතේ ගෙව්වේ? ගෙවාගන්න හරි අමාරු වුණා. මම අදටත් ඉන්නේ හිතේ අමාරුවෙන්. දූ දරුවෝ විවාහවෙලා එයාලටත් දරුවෝ ඉන්නවා. මට වෙලාවකට හිතෙනවා කවුරු හිටියත් මොකටද, මට සිරිල් නැතුව කියලා. අද මං පුළුවන් විදිහට පුළුවන් තරම් එයාට පින් කරනවා. බියංකා නානායක්කාර
 

More News..