brand logo

සුදූ තමයි මට වාසනාව ගෙනාවේ

01 March 2022

තාරුණ්‍යය අතර ජනප්‍රිය වීම නම් එතරම් පහසු නැත. එලෙසින් ජනප්‍රිය වුවද එම ජනප්‍රිය බව එකම ආකාරයෙන් පවත්වා ගැනීමද පහසු නැත. එහෙත් හැකියාව, දක්ෂතාව මෙන්ම වාසනාවද සමගින් ජනප්‍රිය වූ ගායන ශිල්පියකු ලෙස මිලින්ද සඳරුවන් හැඳින්විය හැකිය. ඔහු ගැයූ ආශිර්වාදය දෙන්නම්, සුදූ, සිතින් ළංවෙලා, මගේ පණ, කියාදෙන්න ආදරේ තරම්, මතු සම්බන්ධයි මෙන්ම සිහිනයකි වැනි ගීත තාරුණ්‍යය අතර එකසේ ජනප්‍රිය විය. කොවිඩ් නිසා නැවතිලා තිබුණු ප්‍රසංග වේදිකාව ආයෙමත් ආරම්භ වෙලා තියෙනවා... ලොකු සතුටක් තියෙනවා. මොකද අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ලංකාවේ සංගීත ප්‍රසංග තිබුණේ නෑ. හැබැයි තාම කොවිඩ් ඉවරවෙලා නෑ. ඒක නිසා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගෙන පරිස්සමින් ප්‍රසංග බලන්න එන්න කියලා රසික රසිකාවියන්ට කියන්න කැමැතියි. ගායකයෙක් ලෙස ඔබේ අලුත් වැඩ කටයුතු එහෙම මොනවද? මගේ අලුත්ම ගීතය වෙන ‘සිහිනයකි’ ගීතයත් කලින් ගීත වගේම ජනප්‍රිය වුණා. ඒක ලොකු සතුටක්. මගේ ඊළඟ ගීතය මැයි මාසේ වෙනකොට වගේ එළියට දාන්න හිතාගෙන ඉන්නවා. ඔබ ගයන සියලුම ගීත මෙහෙම ජනප්‍රිය වෙන එකේ රහස මොකක්ද? මං ගායනා කරපු ‘සුදූ’ ගීතය තමයි මට වාසනාව ගෙනාපු ගීතය. ඒ ගීතයෙන් පස්සේ ගායනා කරපු හැම ගීතයක්ම වගේ ජනප්‍රිය වුණා. මං හිතන්නේ ‘සුදූ’ ජනප්‍රිය වීමත් එක්ක මගේ ඊළඟ ගීතය එනකල් මිනිස්සු බලාගෙන හිටියා. ඒ ගීතයත් ජනප්‍රිය වුණාට පස්සේ අනෙක් ගීතය එනකල් බලාගෙන හිටියා. අන්තිමේ හැම ගීතයක්ම ජනප්‍රිය වුණා. එතැන රහසක් නෑ. ඇත්තටම මිලින්ද සඳරුවන් ගායන ශිල්පියෙක් වීමේ මුල කොතැනද? මගේ අක්කා ගායිකා මංජුලා දිල්රුක්ෂි. ඇයට ප්‍රසංගයක් තිබුණා රාජාංගණයේ. ෆ්ලෑෂ්බෑක් ආවේ. මං ස්ටේජ් එකේ බිම ඉඳන් චාමර වීරසිංහගේ ගීතයක් කිව්වා. ඒක ඇහිලා රොෂාන් ප්‍රනාන්දු අයියා ඇවිත් කිව්වා ඔයා දිගටම සින්දු කියන්න හොඳ තැනකට එයි කියලා. එහෙම කියලා අක්කට පස්සේ මටත් ෆ්ලෑෂ්බෑක් එක්ක සින්දු දෙකක් කියන්න ඉඩ දුන්නා. ඒ දවස තාම මතකයි. මේ වෙනකොට ඔබ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්... මගේ හැම ගීතයක්ම වගේ ඉල්ලනවා. මේ දවස්වල නම් ‘කියාදෙන්න ආදරේ තරම්’ ගීතයට තමයි ගොඩාක් ප්‍රතිචාර තියෙන්නේ. ඒත් හැම ප්‍රසංගයකම ‘සුදූ’ ගීතය නම් මට වරදින්නේම නෑ. පසුගියදා අපි දැක්කා ඔබ සීදූව බ්‍රේව් වේදිකාවට ගොඩවෙනවා? මං සීදූව බ්‍රේව් සංගීත කණ්ඩායමත් එක්ක එකතු වුණා. හැබැයි ඒ අතරවාරයේ මට ආරාධනා ලැබෙන අනෙක් සංගීත ප්‍රසංගවලටත් යනවා. සංගීත කණ්ඩායමකට කොටුවුණාම ගායකයෙක් විදිහට ඔබට ලැබෙන පෞද්ගලික ප්‍රසංග ටිකක් සීමා කරන්න වෙනවා නේද? එහෙම දෙයක් නෑ. පෞද්ගලිකව යන සංගීත ප්‍රසංගවලට හානියක් නොවෙන්න මං සංගීත කණ්ඩායමත් එක්ක වැඩ කරගෙන යනවා. ලංකාවේ මෙච්චර සංගීත කණ්ඩායම් ගොඩාක් තියෙද්දි සීදූව බ්‍රේව් එක්ක එකතු වෙන්න හේතුවක් තියෙනවද? මට ලංකාවේ ගොඩාක් සංගීත කණ්ඩායම්වලින් ආරාධනා ආවා. ඒත් සීදූව බ්‍රේව් එක්ක කතා කරද්දි එයාලගෙයි මගෙයි අදහස් හොඳට ගැළපුණා. ඉතින් අපි දෙගොල්ලන්ටම හානියක් නොවෙන විදිහට කතා කරගෙන මං සීදූව බ්‍රේව් එක්ක එකතු වුණා. දැන් අපි සුන්දර ගමනක් යනවා. සමහරක් සංගීත ප්‍රසංග බැනර්වල මිලින්දත් ඉන්නවා. ඒත් ප්‍රසංගය දවසට ඔබ නෑ? සංවිධායකයෝ රසිකයන්ව අන්දන අවස්ථාත් ඇති. ඒත් එහෙම කරන්න එපා. එතකොට මං ගැන රසිකයන්ට වැරදි වැටහීමක් එන්න පුළුවන්. හැබැයි සමහර ප්‍රසංගවලට නම් කාලයේ ප්‍රශ්නත් එක්ක යන්න බැරිවෙන වෙලාවල් එනවා. නිවිතගලදි ඔබේ සහෝදර සංගීත කණ්ඩායමක් වෙත ප්‍රහාරයක් එල්ල වුණා? ගායන ශිල්පියෙක් විදිහට නිවිතිගල රසිකයෝ කරපු දේ මං අනුමත කරන්නේ නෑ. මොකද සංවිධායක මණ්ඩලයේ වැරදිවලට සංගීත කණ්ඩායම් හෝ කලාකරුවෝ පළි නෑනේ. මං හිතන්නේ රසිකයෝ මීට වඩා ටිකක් බුද්ධිමත් වුණා නම් හොඳයි. ගායන ශිල්පියෙක් විදිහට ඔබ හිටියත් ඔබ තුළ දක්ෂ රංගන ශිල්පියකුත් ඉන්නවා නේද? මං ගායන ශිල්පියෙක්. ඒත් පසුගියදා ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ හේමාල් කියන චරිතය කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා වෙන්නෙත් මං තමයි. රුවන් එස්. සෙනවිරත්න https://www.youtube.com/watch?v=NotNcnk1Jys https://www.youtube.com/watch?v=FLu5mM0h2z4  
 

More News..