brand logo

සුදුසුකම්ලාභීන්ගෙන් බාගෙකටවත් ‘මාධ්‍ය අරුණ’ ණය දීලා නෑ

14 December 2019

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද එන්ටර්ප්‍රයිසස් ණය යෝජනා ක්‍රමයෙන් ‘මාධ්‍ය අරුණ’ ණය සුදුසුකම්ලාභීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයකට ණය මුදල අහිමි වී ඇත. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මහජන බැංකුව වෙතින් කරන ලද විමසීමේදී මේ බව තහවුරු වී තිබේ. මහජන බැංකුව විසින් සඳහන් කරන පරිදි මාධ්‍යවේදීන් සඳහා ක්‍රියාත්මක කරන ලද ‘මාධ්‍ය අරුණ’ ණය මුදල් ලබාගැනීම සඳහා සුදුසුකම් ලද මාධ්‍යවේදීන් සංඛ්‍යාව 1667ක් වන අතර 806 දෙනෙක් සඳහා ණය ඉල්ලුම්පත්‍ර නිකුත් කර ඇත. 2018 වසරේදී 248 දෙනකුට සහ 2019 වසරේදී 210 දෙනකුට වශයෙන් මාධ්‍යවේදීන් 658කට ණය මුදල් ප්‍රදානය කර තිබේ. ඒ අනුව සුදුසුකම්ලාභීන් 1667 දෙනකු අතරින් 1009 දෙනකුට ණය මුදල් අහිමි වී ඇත. වැඩිදුරටත් සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනයක් රාජ්‍ය බැංකු වෙත එවනු ලැබූ බවය. ණය ඉල්ලුම් පත්‍රය නිකුත් කිරීම සඳහා අදාළ බැංකුවෙන් නැවත නිර්දේශයක් ලබාගත යුතු වූ අතර ඒ අනුව බැංකු නිර්දේශය මත නිකුත් කර ඇති අයැදුම්පත්‍ර සංඛ්‍යාව 806ක් පමණි. එම ඉල්ලුම්පත්‍ර ලාභීන්ට ණය නිකුත් කිරීම සඳහා බැංකුව විසින් පනවන ලද කොන්දේසි සපුරාලීමට නොහැකි වූ තවත් පිරිසකට ණය මුදල ලබාදීම බැංකුව විසින් ප්‍රතික්ෂේප කර ඇත. නව රජය බලයට පත්වීමෙන් පසුව එන්ටර්ප්‍රයිසස් ණය යෝජනා ක්‍රමය තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇත. මාධ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා සහන පොලී මත මාධ්‍යවේදීන් වෙත ණය ලබාදීම පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට වාර්ෂිකව ක්‍රියාත්මක වූවකි. යහපාලන රජය බලයට පත්වීමෙන් මාධ්‍යවේදීන් සඳහා වූ ණය ලබාදීමද එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහනට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලදී. යහපාලන රජය විසින් ගන්නා ලද එම ක්‍රියාමාර්ගය හේතුවෙන් මාධ්‍යවේදී ණය යෝජනා ක්‍රමය නැවතීමේ අවදානමක් මතු වී ඇත. සනත් ප්‍රියන්ත
 

More News..