brand logo

සුදුවෑන් නඩුවේ විමර්ශන අවසන් අධියරට

27 February 2020

ඉකුත් ජනාධිපතිවරණය සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් මරා දැමීම හා කප්පම් ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු අනාවරණය කරමින් එවක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සුදුවැන් රියදුරන් වශයෙන් පෙනී සිටි පුද්ගලයින් දෙදෙනාගේ කටහඬ එම මාධ්‍ය සාකච්ඡාවට අදාළව විද්‍යුත් මාධ්‍ය ආයතන වලින් ලබාගත් වීඩියෝ දර්ශන වල අන්තර්ගත කටහඬ  සමග  සැසදෙන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් වාර්තාවක් එවා ඇති බවත් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු ඉදිරි සති තුනක කාලයක් තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකි වනු ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඊයේ(27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ඊයේ  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම දැනුම්දීම සිදු කෙරිණි.
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි තුන්වන සැකකරු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ හතරවන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ. එහෙත් නඩුවේ පළමුවන හා දෙවන සැකකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
මේ පිළිබඳව මහෙස්ත්‍රාත්වරිය විසින් විමසන ලැබූ අවස්ථාවේ දී පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ අදාළ සැකකරුවන් දෙදෙනා ඉකුත් දා සිදු වූ කොල්ලකෑම සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මේ වන විට මහර රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවට තොරතුරු ලැබී තිබෙන බවයි.
ඉන් අනතුරුව මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ වල ප්‍රගතිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් අධිකරණය හමුවේ වාර්තා කරන ලදී.
"ස්වාමීනි, මෙම නඩුවේ විමර්ශන කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් වී තිබෙනවා. අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව මෙම නඩුවේ පළමුවන හා දෙවන කරුවන් වශයෙන් නම් කර සිටින සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් දෙදෙනා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දී කටහඬ පරීක්ෂණයකට භාජනය කළා.
එම පරීක්ෂණය මගින් මෙම සැකකරුවන් දෙදෙනාගේ කටහඬ අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය ආයතන වලින් විකාශය වූ  වීඩියෝ දර්ශන වල ඇතුලත් කටහඬ සමග සැසඳෙන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් වාර්තා කර තිබෙනවා. මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබෙන්නේ සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මධ්‍ය සම්බන්ධීකාර නිලධාරීයෙකු වන මලිත් විජේනායක යන අය විසින්.
ඔහු මේ වන විට විදේශගත වී සිටින නිසා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඊට අමතරව මෙම මාධ්‍ය සාකච්ඡාවට සුදු වෑන් රියදුරන් වශයෙන් පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා වේශ නිරූපණයට ලක් කළ වේශ නිරූපණ ශිල්පියාගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. එම ප්‍රකාශයට අනුව මෙම කාර්යය ඉටු කිරීම සඳහා අදාල වේශ නිරූපණ ශිල්පියා රුපියල් 20000/- ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් 15,000/- කට එම කටයුත්ත ඉටුකර දී ඇති බවට අනාවරණය වී තිබෙනවා. අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී එම සුදු වෑන් රියදුරන් දෙදෙනා වේශ නිරූපනය කිරීම සඳහා යොදාගත් රැවුලක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා." යනුවෙන් ප්‍රකාශ කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් වී ඇති බවත්  ඉදිරි සති තුනක කාලය තුළ විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකියාව තිබෙන බවත් සදහන් කළේය. ඒ අනුව පරීක්ෂණවල ඉදිරි පියවර වාර්තා කිරීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙසද ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
මෙහිදී නඩුවේ හතරවන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට අප්‍රේල් මස 10 වනදා සිට 25 වනදා දක්වා කාලසීමාව තුළ විදේශයක පැවැත්වෙන තේ ප්‍රදර්ශනයට සහභාගි වීමේ අවශ්‍යතාවක් මතු වී තිබෙන හෙයින් අදාල කාල සීමාව සඳහා ඔහු වෙනුවෙන් අධිකරණය විසින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම ඉල්ලීම තහවුරු කිරීම සඳහා විත්තිය විසින් ඉදිරිපත් කරනු ලබන ලේඛන පරික්ෂා කිරීමෙන් අනතුරුව සිය නිගමනය අධිකරණය වෙත දැනුම් දීම සඳහා කාලය අවශ්‍ය බවයි.
ඒ අනුව සැකකාර මොහොමඩ් රූමිගේ විදෙස් ගමන් තහනම ලිහිල් කිරීමට අදාළ ඉල්ලීම පිළිබඳව කරුණු සලකා බැලීම මාර්තු 03 වන දා සිදු කරන බව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. එමෙන්ම මෙම සිද්ධියේ පරීක්ෂණ වල ඉදිරි පියවර පිළිබඳව විමසා බැලීම සඳහා නඩුව නැවත අප්‍රේල් මස 3 වනදා කැඳවන ලෙසද නියෝග කරන ලදී.
මෙහිදී පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පෙනී සිටියේය. සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ කේ. වී. තවරාසා මහතා පෙනී සිටි අතර සැකකාර රූමි මොහොමඩ් වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පෙනී සිටියේය.
 

More News..