brand logo

සුදුවැල්ලේ යකඩ කම්මලට එරෙහිව ගම්වැසියෝ පරට

20 August 2018

මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ ගමනාගමනටත් බාධා ඉන්දීය සමාගමක් මාදම්පේ - සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ උණු කර නැවත යකඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට එරෙහිව පැවති විරෝධතාවයක් හේතුවෙන් මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට පැයකට වැඩි කාලයක් බාධා එල්ල විය. මාදම්පේ - සුදුවැල්ල පිහිටි එම කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී මාදම්පේ - කුලියාපිටිය මාර්ගය හරස් කරමින් මෙම විරෝධතාය සිදු විය. අධිකරණය විසින් මෙම කර්මාන්ත ශාලාවට එරෙහිව නියෝග 02 ක් ලබා දී තිබියදී එම නියෝග නොතකමින් ආයෝජන මණ්ඩලය විසින් කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යාමට අවසර ලබා දී ඇති බව විරෝධතාකරුවෝ කියා සිටියහ. ප්‍රදේශයට දැඩි පාරිසරික හානියක් සිදු කරන මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව මේ වන විට විවිධ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දී සිටින බවද ඔවුහු කියා සිටිති. මෙම කර්මාන්ත ශාලාවට වෙළද බලපත්‍ර නිකුත්කිරීමක් මේ වන තුරු සිදු කර නොමැති බව අප කළ විමසීමකදී හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සිල්වා මහතා පැවසීය.එමෙන්ම ඉදිරියේදී මෙම කර්මාන්ත ශාලාවට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීම සදහා හලාවත ප්‍රාදේශීය සභාවේ සියළු සභිකයින් පසුගිය 16 වැනිදා ඒකමතිකව තීරණය කළ බවද හෙතෙම කියා සිටියේය. මෙම කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අවසර ලබා දී ඇත්තේ ආයෝජන මණ්ඩලයෙන් වන බැවින් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට අවසර ඇත්තේ වයඹ පළාත් පරිසර අධිකාරියට බව මාදම්පේ ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා පැවසීය. මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන් මේ වන විට විශාල පාරිසරික ගැටළු රැසක්ම තුවී ඇති බවත්,ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී නිලධාරීන් සහ දේශපාලකයින් මුනිවත රකින බවත් සුරැකෙමු ලංකා ව්‍යාපාරයේ පුජ්‍ය පාහිංගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ. විරෝධතාවය පැවති ස්ථානය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබුණි. මාර්ගය හරස් කිරීම හේතුවෙන් විකල්ප මාර්ග ඔස්සේ වාහන හරවා යැවීමට පොලීසිය කටයුතු කරන ලදි හලාවත සහකාර පොලිස් අධිකාරී කීර්ති බණ්බාර මහතා සහ මාදම්පේ පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර යන මහත්වරුන්ද විරෝධතාවය පැවති ස්ථානයට පැමිණ සිටියහ.
 

More News..