brand logo

සුදුවැල්ලේ කොවිඩ් හනුමා ගම් රැසක් ගිනි තැබූ හැටි

08 April 2020

කොවිඩ්-19 වෛරසය ආසාදිත වූවන් ලොව පුරා දිනෙන් දින වාර්තා වූයේ සීමා මායිම්, වැටකොටු, උස් මිටිකම් යන සැම දෙයක්ම අබිබවා යමිනි. එය ලෝකයම ආපස්සට හැරවූයේ ජීවිතයේ වටිනාකම යළිත් පසක් කරමිනි. මහ මග ජීවිතය යදිමින් ගිලන් රථයක් පවා ගෙන්වාගත නොහැකිව අසරණ වූ බටහිර රටවල ප්‍රකෝටිපතියන් පවා මරණය කරා ඇදුණේ ශෝචනීය ලෙසය. මෙම වසංගතය පැතිරුණහොත් අප රට ඇද වැටෙන අවදානම ගැන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ පුන පුනා කීවත් ඇතැමුන්ට එය බීරි අලින්ට වීණා වැයීමක් බඳු විය. තම ජීවිතයේ වටිනාකම නොදත් මිනිසුන් අහිංසක ජීවිත අගාධයට දමන බවට සමාජය තුළ සාක්ෂි දැන් ඕනෑ තරම්ය. ඊට කදිම උදාහරණයක් දෙන්නේ මෙරටින් හමුවූ 177 වැනි කොවිඩ්-19 ආසාදිතයාය. මොහු හතර වටේ ගම්වලට වැද ජනතාවට ගිනි අවුළුවන්නට ගිය අමුතුම තාලේ හනුමන්තෙකි. විසි අට හැවිරිදි මේ හනුමන්තා පදිංචිව සිටියේ ජාඇල, සුදුවැල්ලේය. ත්‍රිරෝද රථ රියැදුරකු වන මොහු දැඩි ලෙස මත්කුඩුවලට ඇබ්බැහි වූවෙකි. පසුගිය දිනවල මත්කුඩු නොමැතිව උන්මන්තකයකු මෙන් කොළඹ සැරිසැරූ මොහු මරදාන, ඉමාමුල් අරූස් මාවතේ මහල් නිවාස සංකීර්ණය වෙතද ආගිය බවට තහවුරු වී ඇත. කොවිඩ්-19 වෛරසය ආසාදනය වී මියගිය මරදාන මහල් නිවාස සංකීර්ණයේ රන් ආභරණ තනන්නා හමුවීමටද මෙම පුද්ගලයා කිහිප වරක්ම ගොස් තිබේ. තමන් කොරෝනා ආසාදිතයකු බව නොදත් මොහු මත්කුඩු පානයට මුදල් නැති වූ තැන නිවෙස්වලට පැන සොරකම් කරන්නට පවා විය. එවැනි සොරකමකට සෙනසුරාදා (04දා) රාත්‍රියේ මොහු තෝරාගෙන තිබුණේ ජාඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට අයත් බෝපිටියේ නිවසකි. එම සැලසුම ක්‍රියාත්මක කිරීමට ගොස් බෝපිටිය ගම්වාසීන්ට කොටුවී ඔහු දරුණු ප්‍රහාරයකට ලක්විය. ගම්වාසීන් සැකකරු අල්ලා පොලිසියට භාරදෙන්නේ මෙම කුඩ්ඩා සමාජයට කරදරයක් නිසාය. පහර කෑමට ලක්ව සිටි සැකකරු පමුණුගම, බෝපිටිය පොලිසියට රැගෙනවිත් වහාම රාගම රෝහලට ගෙන යන්නේ ප්‍රතිකාර ලබාදීමටය. රාගම රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ මොහුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වන්නේ එහිදී කළ පරීක්ෂණවලදීය. එය හෙළිවීමත් සමග සියලු දෙනාගේ ඉහ මොළ රත්වන්නේ මොහු හනුමන්තකු මෙන් ගමක් ගමක් ගානේ ඇවිද ගොස් තිබූ නිසාය. නිරෝධායන කටයුතු අරඹා ඒ වනවිට මසකට ආසන්න කලක් ගෙවී ගොස් තිබුණද පොලිස් ස්ථානයක් පළමු වරට නිරෝධායනයට ලක්වන්නේ මෙම සැකකරු පොලිසියට රැගෙන ගිය බැවිනි. ඒ සමග පමුණුගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඇපලකොටුව ඇතුළු තිස් දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කරන්නට සිදුවිය. පොලිසියේ රාජකාරි සඳහා වැඩ බලන ස්ථානාධිපතිවරයකු ඇතුළු කණ්ඩායමක් යෙදවීමට නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් නියෝග ලැබිණි. පොලිසියද විෂබීජහරණයට ලක් කෙරුණේය. එපමණක් නොව, ඔහුට රෝහල් ප්‍රතිකාර දුන් කණ්ඩායම්ද නිරෝධායනයට යොමු කෙරිණි. සිද්ධිය එතැනින් නවතින්නේ නැත. බෝපිටිය ගම්වාසීන්ටද ස්වයං නිරෝධායනයට ලක්වන්නට සිදුවන්නේ සොරකමට ගිය මොහොතේ ඔහු අල්ලා ගැනීමට සම්බන්ධ වූ නිසාය. මෙම ආසාදිතයා සුදුවැල්ල පමණක් නොව, නිල්සිරිගම, ජාඇල, මරදාන වැනි ප්‍රදේශවල සැරිසැරූ අයකු බව දැන් හෙළිවී ඇත. සුදුවැල්ල, ජාඇල නගරයට මායිම් වූ හය දහසකට වඩා ජනතාවක් වෙසෙන ගම්මානයකි. යම් හෙයකින් සුදුවැල්ලේ ගම්වාසීන්ට වෛරසය පැතිරී ඇත්නම් එක් ලක්ෂ පනස් දහසක් පමණ ජනතාවක් වෙසෙන ජාඇලටද එය අවදානමක් වනු ඇත. අඩු ආදායම්ලාභී සුදුවැල්ල ගම්වාසීන් බොහෝ දෙනකු එදිනෙදා ජාඇල නගරයට එන්නේ කුලියක් මලියක් සොයා ගන්නටය. එයින් මත්කුඩුවලට ඇබ්බැහි වූ පිරිස්ද අධිකය. මෙම සැකකරුට සම්බන්ධකම් ජාලයක් ඇති බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහද පවසයි. මියගිය මරදානේ කොවිඩ් රෝගියා සමග මොහු සමීප සබඳකම් පවත්වා ඇතැයි මේ වනවිට තහවුරු වී ඇත. මෙම තත්ත්වය හමුවේ මත්කුඩු භාවිතය ඇතුළු දුසිරිත්වලින් පිරි සුදුවැල්ල ගම්මානය හුදෙකලා නිරෝධායනයට ලක්කර ජාඇල නගරයට වසංගතය පැතිර යාම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජාඇල නගරාධිපති ශම්මික විරංග ඩයස් පෙරේදා (06දා) අගමැති මහින්ද රාජපක්ෂට ලිඛිතව දන්වා යැව්වේය. මේ වනවිටත් බුද්ධි අංශ මෙම කොවිඩ්-19 රෝගියා ඇසුරු කළ පුද්ගලයන් සොයා බුද්ධි මෙහෙයුමක් අරඹා හමාරය. ඒ නිවාස ආශ්‍රිතව කුඩා පොකුරු වශයෙන් රෝගීන් හමුවීම, ගම් තුළින් රෝගීන් පොකුරු වශයෙන් හමුවීමේ අවදානමක් මතුව ඇති වටපිටාවකය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..