brand logo

සුගතියක් නැති සුගතදාසය

13 October 2019

ජාත්‍යන්තරය දිනූ සෑම මලල ක්‍රීඩකයෙකු ක්‍රීඩිකාවකම පාහේ මේ පොළොවට පය ගැසුවෝය. පිහිනුම්, දියපිමි ඉසව් නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවෝද එසේමය. වොලිබෝල්, දැල්පන්දු, වූෂු, කරාතේ, බැඩ්මින්ටන් ආදී එකී මෙකී නොකී සියලුම ක්‍රීඩාවන්ගෙන් ජාත්‍යන්තරයට ගිය සහ යාමට සූදානම්වන බහුතරයක් දෙනාද නිතර මේ බිමෙහි සැරිසැරුවෝය. මේ වෙන කොහෙවත් ගැන නොවෙයි. මෙරට ක්‍රීඩාව පෝෂණය කරන ක්‍රීඩාංගණ මහ ගෙදර ගැනය. එසේත් නැතිනම් සුගතදාස ක්‍රීඩා සංකීර්ණය ගැනය. ක්‍රීඩාවට අදාළ ලොකු පුටු මාරුවන වාරයක් ගානේ සුගතදාසයේ ලොකු පුටුවලටද, විවිධ පුද්ගලයින් ආවෝ ගියෝය. එසේ පුටු මාරුවෙන වාරයක් ගානේ එන යන අයගෙන් සුගතදාසයට දැනෙන්න දෙයක් වූවානම් එහෙමත් වෙලාවකය. මේ වනවිට සුගතදාසයේ සින්තටික් ධාවන පථයේ ගැටලුවක් නැත. ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සහ පිහිනුම් තටාකාංගණයේද තරගාවලියක් පැවැත්විය නොහැකි අයුරේ ගැටලු සහගත තත්ත්වයන් උද්ගත වී නැත. නමුත් අහන්න දකින්න ලැබෙන පරිදි සුගතදාස සේවකයින්ගේ පැත්තෙන් නම් යම් ගැටලුවක් නොව ගැටලු කිහිපයක්ම ඔඩුදුවා ඇති සැටියකි. එය කොතෙක් දුරට ඔඩුදුවා ඇත්දැයි කියතොත්, සුගතදාසයේ සේවකයින් ඉකුත් සතියේ උද්ඝෝෂණයක් පවා සංවිධානය කොට තිබුණි. ඔවුන් මෙම තීරණයට එළැඹියේ සුගතදාසයේ සිදුවන අසාධාරණකම් ගැන බලධාරීන් දැනුවත්කර තිබියදී, ඒවාට නිසි විසඳුම් නොලැබුණු තැනය. ඒ අතර පඩි වැඩිවීම ඇතුළු ඉල්ලීම් හතක් විය. 2018 වසරේ අයවැයෙන් වැඩිකළ රුපියල් 2500ක මුදල තවමත් මේ සේවකයින්ට ලැබී නැත. සේවක උසස්වීම් ක්‍රමවේදයේද පවතින ගැටලු හේතුවෙන් ඇතැම් සේවකයෝ වසර ගණනාවක් එකම තැන පල් වෙවී හිඳිති. මොවුන් පවසන පරිදි අතිකාල දීමනාද හරි හැටි ක්‍රමවේදයකට ක්‍රියාත්මක වන්නේ නැත. නමුත් උසස් නිලධාරීන්ට හිතවත්නම් වැඩ කළා නොකළා කියා වෙනසක් නැතිව කුට්ටි පිටින් එම දීමනා ලැබෙන බවට චෝදනා වේ. සේවකයින් මෙහිදී ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇත්තේ පෞද්ගලික ජීවිතය සරිකරවන ඉල්ලීම් පමණක් නොවෙයි. සුගතදාසයේ ඉදිරිකිරීම්වලදී කර තිබෙන මුදල් නාස්තිය සහ පිල්ලි ගැසූ සල්ලි පිළිබඳවද සොයා බලන ලෙස ඔවුන් කලක පටන් ඉල්ලා සිටියේය. එවැනි ඉල්ලීම්වලට ඉහළ නිලධාරීන් මුනිවත රැකීමේ පිළිවෙත අනුගමනය කරන තැන මොවුන් මෙම ක්‍රියාමාර්ගයට එළැඹීමට හේතු සැපයීය. ක්‍රීඩා ඇමැතිවරුන්ගේ මාරුවීම් සිදුවන අවස්ථාවන්හිදී ඇතැම් දේශපාලන මතවාද පදනම් කර ගනිමින් සුගතදාසයේ ඇතැම් සේවකයින්ගෙන් කලක පටන් සිදුකරන පළිගැනීම් ආදියද, මේ සඳහා බලපෑ ප්‍රධාන කාරණාවකි. සුගතදාස සේවකයින් ඔවුන්ගේ අරගලයේ මේ පත්තු කළේ පළවෙනි වෙඩි මුරයයි. එයින් ප්‍රතිඵලයක් නොවුවහොත්, ඔවුන් මීළඟට උපවාසයකට වුවත් යාමට සූදානමින් සිටියි. ඒ නිකම්ම නොවේ. එවර ඔවුන් සූදානම් වන්නේ සුගතදාසයට අනුයුක්ත ක්‍රීඩාංගණයන්හි සේවකයන්වද, එක්කාසු කරගෙන වැ‌ඩේට බැසීමටය. දැනට සුගතදාසයේ පැවැත්වෙන ක්‍රීඩා තරගාවලි වර්ජනයක් කිරීමට යොමු වී නැතත්, මෙම ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් නොලැබුණහොත් ඔවුන් එයද නොපැකිළව කිරීමට සූදානමින් සිටියි. නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ඇත්තේ තවත් මාස දෙකකටත් වඩා අඩු කාලයකි. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණ තත්ත්වයේ පවතින බැවින් එතෙක් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සිදු කිරීමට ඇති එකම පහසුකම්ලත් ක්‍රීඩාංගණය සුගතදාසයයි. ක්‍රීඩාංගණය අත්‍යාවශ්‍ය මෙවන් සමයක සුගතදාස සේවකයින්, ක්‍රීඩාංගණයේ යම් කිසි වර්ජනයක නියැළුණහොත්, එහි වගකීම භාර ගන්නේ කවුරුන්ද? ගයාශාන් විතානආරච්චි
 

More News..