brand logo

සී.අයි.ඩී යේ 19ක් දොට්ට

12 November 2020

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන් නව දෙනකු ඇතුළු දහ නවදෙනකු ඊයේ (11 වැනිදා) සිට සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් මෙම ස්ථාන මාරුවීම් කර ඇති බවත් නව නිලධාරීන් විමර්ශන සඳහා පත්කරන බවත් මේ පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය. අවශ්‍යතාව අනුව පොලිස් අධිකාරිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් ගැනීමට නියමිතව ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය. කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන්ට හා නිලධාරිනියන්ට එල්ල වී තිබු චෝදනා සැලකිල්ලට ගෙන වැඩබලන පොලිස්පතිවරයා මෙම මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම නිලධාරීන්ගේ සේවය තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනවශ්‍ය බව දන්වා ස්ථාන මාරුව ලබාදී තිබේ. ස්ථාන මාරුවීම් ලද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් අතර කාන්තා නිලධාරිනියෝ සිව්දෙනෙක් ද වෙති. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය, රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරුගේ විමර්ශන සිදුකළ නිලධාරීහු ද මාරුවීම් ලද නිලධාරීන් අතර වෙති. මෙම නිලධාරීන් අතරේ ව්‍යාජ සාක්ෂි සකස් කර විමර්ශන කළ චෝදනාවට ලක් වූ නිලධාරීන්ද සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. කොළඹ, කැලණිය, ගම්පහ, කැගල්ල, කුරුණෑගල, මාතර කොට්ඨාසවලට මෙලෙස මාරුවීම් ලබා දී ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා/ හේමන්ත ලියනපතිරණ
 

More News..