brand logo

සීසර්ලාට මරණයඋරුමය

22 June 2020

ලංකාවේ විවිධ උණ වර්ග තිබේ. දැන් වඩාත් බියකරු කොරෝනා උණය. එහෙත් විවෘත ආර්ථික 1977දී බිහිවීමත් සමග ලංකාවේ කොරෝනාවටත් වඩා භයානක උණක් පැවත එන බව අද බොහෝ දෙනාට අමතකය. ඒ ‘වාහන උණ’ය. ඒත් නැත්නම් ‘රථ ගාය’ වන්නේය. මේ උණට කදිම ප්‍රතිකර්මයක් පසුගියදා ගරු ජනාධිපතිතුමාගේ නිවසට හූවක දුරින් සිදු කෙරිණි. ඒ වාහනයක හිඟ වාරික ගෙවන්නට නොහැකිව තිබියදී එය බලහත්කාරයෙන් රැගෙන ආ සීසර් චණ්ඩින් පිරිසක් ඒ ගැන කතාවට ආ ත්‍රිරෝද රථ සංගම් සභාපති ඔසවා ගේට්ටුවේ ගසා මරා දැමීමෙනි. මිනිසාගේ මූලික අවශ්‍යතා ආහාර, ඇඳුම් හා නිවාස යැයි කිව්වත් ලංකාවේ නම් මූලික අවශ්‍යතාව ඔය මොන හත් ඉලක්වක්වත් නොව වාහනයකි. මෛත්‍රිපාල උන්නැහැගේ ජනාධිපතිවරණ පොරොන්දු රොත්තේ සෑම නිවසකට කුඩා කාර් එකක් දෙන්නට හත් පොලේ දිවුරා පොරොන්දු පත්‍රයේද මුද්‍රණය කළේ මේ නිසාය. අපේ ජනතාවගේ මේ වාහන උණ එක්තරා සමාජ පැතිකඩක් විවර කරන්නකි. අද බොහෝ දෙනා සුපිරි රථ ගන්නේ තම අවශ්‍යතාවට හෝ හැකියාවක් ඇති නිසා නොවේ. අල්ලපු ගෙදර වාහනයක් ගැනීම නිසා කුපිතව ඊට වඩා ඔප්ෂන් ඇති වාහනයක් ගැනීමේ කෝන්තරය, ව්‍යාපාර ක්ෂේත්‍රයේදී තම තරගකාරී ආයතනයේ ප්‍රධානියාට වඩා මිල අධික වාහනයක් ගැනීම, ට්‍රයි කරන කෙල්ලට පේන්න සිරා වාහනයක යාම ආදී ළාමක බලාපොරොත්තු මෙරට වාහනයක් ගැනීමට හේතු භූත වන කාරණාය. එසේ නැතුව ගමන් යාමේ අවශ්‍යතාව මත දැන් වාහනයක් ගන්නේ අතළොසීසකි. වාහන සිස් කිරීම නමැති කර්තව්‍යය මෙරටට ආගමනය වන්නේ 1977 විවෘත ආර්ථිකයත් සමගය. 1977ට පෙර ගමේ ගෙදරක වාහනයක් තිබුණා නම් බොහෝ දෙනා ඒ නිවස හැඳින්වූයේ ‘කාර් එක තියෙන ගෙදර’ ලෙසය. එකල තිබූ මෝටර් සයිකල්, කාර්, වෑන්, ලොරි, අත් ට්‍රැක්ටර් වැනි කිසිවක් ණයට ගත් ඒවා නොවීය. ඒ ගනුදෙනු කෙරුණේ මුදලටය. එදා ටවුමේ ව්‍යාපාරිකයාත් තම වාහනය ගත්තේ අත්පිට මුදලටය. ඉන්පසු ක්‍රමයෙන් ලංකාවේ ෆිනෑන්ස්, ලීසිං සමාගම් බිහි වන්නේ තරගයට මෙන්ය. මුල්ම පෙලේ මේ ලීසං කම්පැනි වාහනයකට ලීසිං එක දුන්නේ ගෙදර ඔප්පුවක් ඇපයට තබාගෙනය. ඊට අමතරව මාස 6ක බැංකු වාර්තා, ආදායම් බදු ලිපි ගොනු, ගැරන්ටර්ලා දෙන්නෙක් හා වාහනයේ වටිනාකමින් 50%ක් ඩවුන් පේමන්ට් එකක්ද අත්‍යවශ්‍ය විය. ඒ නිසා වාහනයකට ‘ලීසිං’ එකක් ගැනීම අති දුෂ්කර කටයුත්තක් විය. එකල ප්‍රධාන වශයෙන් ලීසිං ගත් පිරිස වූයේ ආදායම් බදුවලින් බේරීමට ආදායම් බදු ගෙවූ පිරිස්ය. ඒත් වසර 2000 පමණ විට ලංකාවේ වාහනවලට වඩා වැඩි ප්‍රමාණයක් ලීසිං කම්පැනි බිහි වන්නට විය. අන්තිමේදී වාහනයේ එක් වාරිකයක් ගෙවා, පූර්ණ රක්ෂණය, මුද්දර ගාස්තු, ලීසිං ගාස්තු යන අනිවාර්ය අංග හතරෙහි එකතුව හයෙන් බෙදා මාස 6කදී එයද වාරිකය සමග ගෙවීමට තරම් අපේ ලීසිං ක්‍රමය බංකොලොත් භාවයටත් වඩා හිඟමනට පත් විය. ලීසිං එක ගෙවන්නාට දරන්නට වූයේ එක් වාරිකයක් වාහනයේ පොත මෝටර් රථ ප්‍රවාහනය දෙපාර්තමේන්තුවේ එක් දින සේවය (One day service) මගින් ලීසිං සමාගමේ පරම අයිතියට පවරන ගාස්තුව පමණි. අපේ මේ ලීසිං කොම්පැනි ගිවිසුමක් නොහොත් Agreement එක්කද පහසුකම ලබා ගන්නා පුද්ගලයා තවම අත්සන් කරයි. එහි 16 පොළක අත්සන් ගනී. තවත් හිස් කොළ 5කට අත්සන් කරගන්නා අතර MT 6 නොහොත් වාහනය පවරන RMV පෝරමය දින රහිතව අත්සන් ගනී. ලීසිං ආයතන හැට හුටාමාරක් බිහිවීම නිසා ලීසිං ලබා දෙන්නේ තරගකාරී පොලියකටය. ඒ නිසා ගනුදෙනුකරු වෙලාවට වාරිකය ගෙවීමෙන් ලීසිං කම්පැනියට ලාභයක් ඇත. ලීසිං කොම්පැනියට හොද්ද බොර වන්නේ ගනුදෙනුකරු වෙලාවට ලීසිං එක නොගෙවන විටය. ගිවිසුමේ සඳහන් පරිදි වාරිකය ප්‍රමාද වන දිනකට ගහන දඩ මුදල මුළු ලීසිං මුදලින් 5%කි. බොහෝ ලීසිං ආයතන තම සේවාදායකයාට ලීසිං මුදල ගෙවන ලෙස දැනුම් දෙන දුරකථන ගාස්තු වූ ඒ සඳහා ගෙවන ලියාපදිංචි කළ ලිපි සඳහා වන ගාස්තුද අය කරන්නේ ගනුදෙනුකරුගෙනි. ලංකාවේ වාහන ලීසිං ගත් පුද්ගලයන් තරම් සමාජ අසාධාරණයට ලක් වූ පිරිසක් නැති තරම්ය. මේ හිඟන ලීසිං කොම්පැනි වාරික 36ක් ගෙවීමට ගිවිසගෙන ගත් වාහන වාරික 34ක් ගෙවා තිබියදී ‘සීසර්ලා’ ලවා උස්සා වෙන්දේසි කළ අවස්ථා ඇත. වාහනයක් ලීසිං කිරීමෙන් පසු ‘සීසර්’ ට එය මංකොල්ල කන්නට දෙන අවස්ථාද ලෝකයේ ඇත්තේ ලංකාවේ පමණක් විය හැකිය. පසුගියදා ඝාතනය වූ ත්‍රි​රෝද සභාපති ගැන පුවත මෙරට ප්‍රධාන පුවත්පත් සියල්ලෙන්ම මුල් ශීර්ෂ පාඨය විය. මෙහි දෛවෝපගත සිදුවීම වන්නේ මේ ලීසිං ආයතනවලට ‘සීසර්ලා’ හොයා දෙන්නේද මේ පුවත්පත් මගින් වීමය. ලීසිං කොම්පැනි ‘සීසර්ලා’ ඉල්ලා දැන්වීම් දමන්නේද මේ මංපහරන්නන්ට ගරු නාමයක්ද පුද කරමිනි. මේ දැන්වීම් පළවන්නේ ‘වාහන අත්පත් කරගන්නා නිලධාරීන් බඳවා ගැනීම’ නමැති ගරු ගාම්භීර ස්වරූපයෙනි. වාහනයේ ලීසිං ඇරියස් වූ විට සීසර්ට වාහනය අත්පත් කර ගන්න ලිඛිතව බොහෝ විට ලීසිං කොම්පැනිය කඩදාසියක් දෙයි වාහනය ඇති තැනට අදාළ පොලිස් ස්ථනායට යන ‘සීසර්’ සුළු පැමිණිලි අංශයට ගොස් එතැන ඉන්න රාලහාමිට ගතමන්ට් එකක් දී එම කොළය පොලිස් පැමිණිලි පොතේ අලවා පැමිණිල්ලක් දමයි. ඊට පසු සීසර් හිතන්නේ වාහනය පැහැරගෙන යාමට තමන්ට නීතියෙන් ‘ලයිසන්’ එකක් ලැබුණා කියාය. වාහනය නවතා ඇති නිවසේ ගේට්ටුව ඉබියතුරු දමා තිබේ නම් සීසර්ට ඉඩමට ඇතුළුවීමට අධිකරණ නියෝයක් අවශ්‍ය නැත. සීසර් ගේට්ටුවේ ඉබ්බා කඩා ලීසිං කොම්පැණිය තමන්ට දී ඇති වාහනයේ අතිරේක යතුරින් වාහනය රැගෙන යන්නේ ගෙහිමියන්ට මරණීය තර්ජන කිරීමෙන් පසුවය. ඇතැම් වාහන ගෙන යන්නේ වාහන හරස් කොට ඩ්‍රැයිවර් උන්නැගේ බෙල්ලෙන් ඇද එළියට ගෙන වාදයට ආවොත් නහයින් කටින් ලේ පෙරෙන්නට කානුවකට දැමීමෙන් පසුවය. සීසර්ලා මහ ලොකු චණ්ඩි වුණාට ඔවුන්ටද වැඩ දුන් වැඩ්ඩෝ අප අතර සිටී. මීට වසරකට පමණ පෙර මාලඹේදී වාහනයක් සීසර්ලා පැහැරගෙන යන ලදී. වාහනය පැහැරගත් සැණින් ලීසිං කොම්පැනියේ ණය අය කර ගැනීමේ නිලධාරියාට දැන්වීම සිරිතය. වාහන අංගණයේ සීසර් ගාස්තුව ලියුම් කවරයක දමා තැබීම සිදුකරන්නේ ඉන් පසුවය. ණය අය කිරීමේ නිලධාරියා වාහනයේ ෆයිල් එක ගෙන පරිගණක දත්ත එකතුවට Seaseed යනුවෙන් එක් කරන්නේ මහා වීරකමක් ලෙසය. මාලඹේ සීස් කළ වාහනයේ අයිතිකරු හොඳ කෙලිකාරයකු බව සීසර්ලා දැන සිටියේ නැත. සීසර්ලා වාහනය ගෙන යන කඩුවෙල යාඩ් එක ළඟ රැක සිටි වාහන අයිතිකරු සීසර් ඇතුළු පිරිසට කඩුවලින් කොටා එළියට ඇද දමා වාහනය නැවත ගෙන ගියේ සීසර්ලාගේ ඔළුවලින් ලේ පෙරෙන විටය. අන්තිමට සීසර් සහ ලීසිං කොම්පැණිය වැටුණේ ලොකු අමාරුවකය. සිස් කළ වාහනය නැවත ලබා ගැනීම අති දුෂ්කර කාර්යයකි. මුලින්ම හිඟ වාරික ගණන දඩ පොලියද සමග ගෙවිය යුතුය. සිසර් ගාස්තුව 25,000 සිට සමහර විට ලක්ෂ 2ට ඉක්මවා ගන්නෙ එහි දුෂ්කර භාවය අනුවය. කලක් ලීසිං ගන්න යන විට කඩුවෙල පැත්තේ වාහනවලට ලීසිං නොදීමට ලීසිං කොම්පැණි එකඟතාවක් ඇති කර ගෙන තිබුණි. ඊට ​හේතුව ලොරි ලීසිං ඇරියස් වූ විට අඩු මිලට ගල් වළකට විකුණා දැමීමය. ඉන්පසු ලොරිය දුවන්නේ ගල්වළේ පමණය. එය රැගෙන ඒමට නම් දොඹකරයක් ගෙන යා යුතුය. එවිට සීසර් ගාස්තුව ලක්ෂ 22 පනී. කලින් කී ගාණන්වලට අමතරව වාහනය අංගණයේ ගාල් කර තිබුණාට දවසකට රුපියල් දාහකට වැඩි මුදලක් අය කර එයට පොලියක්ද අය කරනු ලැබේ. ඊළඟ මාස 6 සඳහා මත දාතම ඇති චෙක්පත් 6ක්ද ගෙන ‘පොරොන්දු නෝට්ටුවකට’ Pronote එකකට අත්සන් ගැනීමෙන් පසු වාහන මුදා හැරේ. මේ හැම ඉලව්වම කර වාහන අංගණයට ගිය විට වාහනයේ තිබූ වටිනා සෙටප් එක නැත. දමා තිබූ අලුත් ටයර්වලට ගෙවුණ ටයර් දමා සීසර්ලා මේ දෙකටම වැඩදී හමාරය. ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ඝාතනය ගැන ෆිනෑන්ස් සමාගම් සංගමයද (The Finance Houses Association of Sri Lanka) ඝාතනය හෙළා දැක නිවේදනයක් නිකුත් කොට ඇත. ඔවුන් කියන්නේ මෙය මහබැංකුව නියාමනයට යටත් නැති හොර කොම්පැනියක් බවය. මේ ෆිනෑන්ස් සංගමයට තමන්ගේ සාමාජිකයන්ද වාහන අත්පත් කර ගන්නේ ‘සීසර්ලා’ හරහා බව අමතක වීම පුදුමයකි. කොටින්ම 100%ක් රජයට අයත් පීප්ල්ස් ලීසිං සමාගමද වාහන අත්පත් කර ගන්නේ ‘සීසර්’ චණ්ඩින් ලවාය. පාතාල මර්දනයට මුලින්ම කළ යුත්තේ ‘සීසර්’ ලා තහනම් කිරීමයි. පාතාලය පෝෂණය කරන්නේ මේ සීසර්ලාය. බැද්දගානේ සංජීව, නාවල නි හාල්, මොර් සුනිල්, කඩුවෙල වසන්ත ආදීන්ගේ කප්පම් ගැනීමට අමතරව ප්‍රධාන ව්‍යාපාරය වූයේ වාහන සීස් කිරීමය. මේ චණ්ඩි සීසර්ලා බොහෝ විට දේශපාලකයන්ගේ ආරක්ෂකයන් ලෙස ‘ස්කොඩ්’ එකේ සිටීම ඔවුනට වෙස් වලාගත් ආශිර්වාදයක් වී තිබේ. මහ බැංකුවේ නියාමනය යටතේ නැති ලීසිං කොම්පැනිවලට එරෙහිව පැමිණිලි භාර ගන්නේ පාරිභෝගික අධිකාරියයි. පැමිණිල්ල දැමූ විට පැමිණෙන ලෙස ලීසිං කොම්පැනියට අධිකාරිය දැන්වුවත් ඔවුන් හතර මායිමේ එන්නේ නැත. ඉන්පසු ඔබට ලිපියක් මගින් පාරිභෝගික අධිකාරිය දැනුම් දෙන්නේ ‘මේ සඳහා සිවිල් නඩුවක් පවරා ගන්නා ලෙසය. අන්තිමට ශ්‍රී ලංකා පොලිසියත්, මහ බැංකුවත්, පාරිභෝගික අධිකාරියත් ඔක්කෝම සීසර්ලාගේ පැත්තේය. ජනාධිපතිතුමා පමණක් අසරණ ජනතාව පැත්තේය. මහ බැංකුවට ‘වදින්නට’ එතුමා කිව්වේ ඒ නිසාය. වජිර ලියනගේ
 

More News..