brand logo

සීවලී පිරිත - ජය පිරිත - ජ්වර පිරිත - බුද්ධාගමේ නෑ

01 February 2020

පාපී ග්‍රහයෙක් ලෙස හඳුන්වන සෙනසුරු ග්‍රහයා අවුරුදු 29කට පස්සේ මකර රාශියට ගියා. ඒ ජනවාරි 24 වැනිදා මෙම ග්‍රහ මාරුව ලග්න කිහිපයකටම අපල ගෙනෙන බවයි කියන්නේ. ඒ වගේම මේ ග්‍රහ මාරුව නිසා ජල ගැලීම්, දේශපාලන කැලඹිලි වැනි ස්වභාවයක් ඇතිවෙන්නත් ඉඩ තිබෙනවාලු. මේ තත්ත්වයන් සමනය කරගන්න නම් බෞද්ධයෝ හැටියට කළ යුතු ප්‍රතිකර්ම මොනවද? ​​හොඳම දේ තමයි මුකුත් නොකර ඉන්න එක. සෙනසුරු මාරු වුණා කියලා අපි අමාරුවේ වැටෙන්න හොඳ නැහැ. මේවා මනසට වධයක් කරගන්න එපා. ඒ කියන්නේ මේ ග්‍රහ මාරුවෙන් අපට​ ලොකු බලපෑමක් නැහැ? ඔය ග්‍රහයෝ කැරකෙන එක අපිට නවත්වන්න පුළුවන්ද? බැහැනේ. බුදු දහමට අනුව එක සූර්යයකුගෙන් ආලෝකය ලබන සීමාවට කියන්නේ චක්‍රාවාටයක් කියා. එවැනි චක්‍රාවාට දස දහස් ගණනක් තිබෙනවා. ඉතින් මේ හැම ග්‍රහයෙක් ගැනම හිත හිත වැඩ කරන්න ගියොත් අපි අමාරුවේ වැටෙන එක වළක්වන්න බැහැ. සෙනසුරු ග්‍රහය පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ කෝටි ගාණක් ඈතින්. ආලෝක වර්ෂයක් කියන්නේ තත්ත්පරයට හැතැප්ම එක්ලක්ෂ අසූදහසක් පමණ දුරක්. මෙච්චර ඈත ඉන්න ග්‍රහයෝ ගැන හිත හිත නැති ප්‍රශ්න ඔළුවට දාගන්නේ මොකටද? හාමුදුරුවෝ ​ඔහොම කිව්වට සූර්යයාගේ බලපෑම අපට තිබෙනවනේ. චන්ද්‍රයා නිසා වඩදිය - බාදිය ඇති වෙනවා. අනෙකුත් ග්‍රහවස්තුවල බලපෑමකුත් ඇති? සූර්යයා​ගේ බලපෑම ... ස​ඳේ බලපෑම... නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. ගහ කොළවලට වුණත් ඒක අදාළයි. සූර්යය රශ්මිය වැඩිනම් එදාට ගමනක් යනකොට කුඩයක් ඉහළගෙන යනවා ඇරෙන්න, ඉරට වැඳ වැඳ පුද සත්කාර කළාට පලක් වෙන්නේ නැහැනේ. ඉර, හඳ, තාරකා, ගස්, ගල්වලට වැඳුම් පිදුම් කරපු ප්‍රාථමික අවධිය පහුකරගෙන මිනිසා විශාල ඉදිරි ගමනක් පැමිණියා. ඉතින් ඇයි අපි නැවතත් මුලට යන්න හදන්නේ. මිථ්‍යා මතවල එල්ලෙන්න හදන්නේ. ග්‍රහවස්තුන්ගේ බලපෑම් තිබෙන බව ඔබ වහන්සේම කියනවා. එහෙම නම් ඒවායේ අහිතකර බලපෑම් දුරුකරන්න පූජා හෝ යාතුකර්මවලට යොමුවීමේ ඇති වැරැද්ද මොකක්ද? අපේ හදවත එළියට අරගෙන සැත්කම් කරන යුගයක් මේක. ඒත් තවමත් මනසින් ගල් යුගයේ ජීවත්වෙන මිනිසුන් ඉන්නවා. නවීන යාන වාහන, නවීන විද්‍යාව, අන්තර්ජාලය ස්පර්ශ කළාට මේ රටේ බොහෝ දෙනෙක් ඌන බුද්ධියෙන් පෙළෙන බවයි පේන්නේ. සෙනසුරු අපලෙට කියලා වැටකෙයියා මල් පූජා පවත්වනවා. එළඟිතෙල් පූජා පවත්වනවා. දහස් ගණන්, ලක්ෂ ගණන් මුදල් වියදම් කර විවිධ පූජා පවත්වනවා. මේවා එක එක්කෙනාගේ බඩ වඩාගන්න වැඩ. මිනිස්සුන් බය කරලා සල්ලි හම්බ කරනවා. අපේ රට වටේ ඉන්න ​දෛවඥයෝ ජ්‍යොතීර්වේදියො, භූතවේදියො, පලාපල කතකයො මේගොල්ල තමයි දැන් රට මෙහෙයවන්නේ. වැසි වසින හැටි, ජල ගැල්මවල් ඇතිවෙන හැටි, දේශගුණික, කාලගුණික විපර්යාසයන් පෙන්වා දෙන්නේ මේ අය. සුළිසුළං එනවලු. කුණාටු එනවලු. දැන් ඉතින් බලනකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේගොල්ලන්ටම කියලා ඒ තොරතුරු ගන්න පුළුවන්. දැන් තියෙන්නේ මේ කට්ටිය එකතු කරලා නාසා ආයතනයට උපදෙස් දෙන උපදේශක මණ්ඩලයක් හදන්න. මොකද නාසා එකටත් වැඩියෙන් මේගොල්ලෝ ග්‍රහ වස්තුන් ගැන දන්නවා. හැබැයි ඉතින්​ කොරෝනා එන එක කියන්න මේ පණ්ඩිතයන්ට බැරි වුණා. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපි මානසික වහල් භාවයක සිටීම. මේ පිස්සු විකාර වැඩ ප්‍රශ්න නොකිරීම. අපි මානසිකව වහල් වී සිටින්නේ කාටද? මිථ්‍යා මතවලට. එහෙම වෙන්න හේතුව? හේතුව තමයි විවිධ මාධ්‍ය ඔස්සේ වඩ වඩාත් මිථ්‍යා මත ප්‍රචාරය වීම. රටේ බහුතරයක් මාධ්‍ය කරන්නේ මේ මිථ්‍යා මත වපුරන එක. මේ අපි කතා කරන ඔය ග්‍රහයෝ ගැන මුලින්ම සඳහන් වෙන්නේ ‘සුශුත්‍ර’ සංහිතාවේ. සුශුත්‍ර සංහිතාව කියන්නේ ආයුර්වේද ග්‍රන්ථයක්. ඒ ග්‍රන්ථයේ සඳහන් වෙනවා ග්‍රහදෝෂ නවයක් ගැන. ස්කන්ධා පස්මාරා ග්‍රහ දෝෂ, සූතිකා ග්‍රහ දෝෂ, රේවතී ග්‍රහ දෝෂ වශයෙන්. මේ ග්‍රන්ථයේ ග්‍රහදෝෂ වශයෙන් හැඳින්වූයේ ලෙඩ රෝගවලට මීට වසර දෙතුන් දහකට ඈතදී තමයි ඔය පොත ලියැවුණේ. ඒ වකවානුවේ මිනිස්සුන්ට වැලඳුණු රෝග කොටස් නවයකට වර්ග කළා. ඒ වෛද්‍ය විශේෂඥයන්ට එවකට කීවේ සෘෂිවරු කියලා. පසුව එකල සමාජයේ අධිකාරිය දරපු බමුණෝ මේවට මැදිහත් වුණා. ඒ ගොල්ලෝ කිව්වා ප්‍රතිකාර කරන කොට ශ්ලෝක කියා 108 වරක් මතුරන්න කියලා. ඒක හරියට පැරසිටමෝල් දෙනකොට පිරිත් කියලා බොන්න දෙනවා වගේ වැඩක්. ඔන්න ඔය බමුණු ආකල්ප තමයි දැන් මේ ග්‍රහයන්ගෙන් වන ග්‍රහ දෝෂ කියලා අපේ මිනිස්සු දිගින් දිගට අරගෙන යන්නේ. පරණ හණමිටි තවත් කරතියන් යනවා. ඔය කියන විදිහට බැලුවොත් බෞද්ධ පිරිතෙන් ඇතිවන ශාන්තියකුත් නැහැ වගෙයි පේන්නේ. බුදුන්වහන්සේගේ කාලේ අංගුලිමාල පිරිත කිව්වා. දැනුත් කියනවා. ඒ වගේම විශාලා මහනුවර තුන්බිය නැති කරන්න පිරිත් කිව්වා. ඒත් මෙවා පලක් නැති වැඩද? මේවායින් ශාන්තියක් ලැබෙනවද? නැහැ. පිරිතෙන් ශාන්තියක් ලැබෙනවා. පූජාවෙන්, ශ්ලෝකවලින් නොලැබෙන ශක්තිය පිරිතෙන් ලැබෙන්නේ කොහොමද? පිරිතෙදි බුදුගුණ සිහි වෙනවා. මනස ප්‍රබෝධ වෙනවා. මමත්වය අමතක වෙනවා සිත පිරිසිදු වී මානසික සුවයක් ලැබෙනවා. මේ සම්බන්ධ බුද්ධ දේශනාව කෙබඳුද? බුදුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට රෝග වර්ග දෙකයි තියෙන්නේ. එකක් ‘කායික’ රෝග අනෙක චෛතසික’ රෝග. උන්වහන්සේ කියනවා කායික රෝගවලින් නොපෙළී ඉන්න පුළුවන් වුණත් මානසික රෝගවලින් පීඩා නොවිඳින කෙනෙක් නැහැ කියලා. එහෙම ඉන්නවා නම් ඒ මහරහතන් වහන්සේ නමක් පමණයි. හැම සතෙක්ම හැම මිනිසෙක්ම ඔය මානසික රෝගවලින් පීඩා විඳිනවා. හොරකම් කිරීම, වනචර ලෙස හැසිරීම, වෛරය, ක්‍රෝධය මේවා ඔක්කොම මානසික ලෙඩ. මිථ්‍යා මත ඇදහීමත් මානසික රෝගයක්. ඒ නිසා තමයි බුදුන් වහන්සේ ධර්මානුකූල ප්‍රතිපත්තියක් දේශනා කරලා තියෙන්නේ. කොහොම වුණත් ඔය මිථ්‍යා මත උඩ හෝ මේ කෙරෙන පූජා ශාන්තිකර්ම නිසා යම් මානසික සහනයක් ලබාගන්න පුළුවන් නේද? ඔව්. මානසික සුවයක් නම් එයි. ඒත් ​මේ දැන් සමාජයේ සිදුවෙන්නේ ඒ මත මුදල් ගසා කෑමක්. මුදල් විනාශයක්. මේ පූජා විධි බොහෝ විට ඇරඹී ව්‍යාප්ත වුණේ මේ ඊයේ පෙරේදා ඉඳලා. දැන් විභාග පාස්වෙන්න කියලා ගණ දෙවියන්ට පූජා තියනවා අපි දකිනවා. ඒකෙන් යම් මානසික සුවයක් ලැබෙනවා ඇති? මොකක්ද ඔය කියන සුවය. මානසික සුවය කියලා මිථ්‍යා මතවලට යනවද? ඔය විභාග පාස් කරන්න ගණ දෙවියන්ට පූජා තියලා වැඩක් නැහැ. ඊට වැඩිය හොඳයි ප්‍රතිඵල දෙන පරිගණකයට පූජාවක් තියන එක. අපේ ඇතැම් ස්වාමීන් වහන්සේලාම ඔවැනි පුදපූජා පවත්වනවා නේද? හාමුදුරුවෝ කළත් වැරද්ද වැරද්දම තමයි. බුදුන්වහන්සේගේ දහමේ කොහෙවත් ඔවැනිදේ අනුමත කරලා නැහැ. ත්‍රිපිටකයේ කොහේවත් ඔවැනි දේවල්වලට අනුබල දීලත් නැහැ. වරක් බුදුන්වහන්සේ රෝගී වූ අවස්ථාවක ජීවක වෛද්‍යවරයා ලවා ප්‍රතිකාර ගන්නවා. එහෙමනම් බුදුන්වහන්සේ ප්‍රතිකාර නොගෙන පූජා පවත්වන්න එපැයි. බොහෝ පන්සල්වල බෝගහ වටේට කොඩි ඇදලා තිබේනවා අපල දුරුවේවා කියලා. ඒ වගේම තරග විභාග අවස්ථාවලදී බෝගහට පැන් වත්කරලා බෝධි පූජා තියලා ජයග්‍රහණ ප්‍රාර්ථනා කරනවා? දැන් අපිත් විභාගවලට පෙනී හිටියා විභාග සමත් වුණා. ඒත් කවදාවත් බෝධි පූජා තිබ්බෙ නැහැ. අදාළ විෂයයන්ට අනුව පරණ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියලා පසුව විභාග සමත් වුණා. ඔය කියන විදියට අධ්‍යාපන අමාත්‍යාංශයක් ඕනම නැහැනේ. ගණදෙවියන්ගේ දේවාලයක් හදලා පූජාව තිබ්බහම ඇති විභාග සමත් වෙයි. මේ විදියට අපි යන්නේ ප්‍රාග් බෞද්ධ යුගයට. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පහල වෙන්න කලින් තිබුණු යුගයට යනවා. බෞද්ධයෝ හැටියට අපි කරන්න ඕන ඒකද? පසුගිය අවුරුදු 20ක වැනි කාල පරාසයක් තුළ තමයි මේ දැවැන්ත පූජා සංස්කෘතියක් ලංකාවේ බිහිවෙන්නේ. අපේ රට බෞද්ධනම් භික්ෂූන්වහන්සේලා ඉන්නවා නම් ව්‍යාප්ත වෙන්න ඕන බුදුදහමනේ. ඇයි මිථ්‍යාව ව්‍යාප්ත වෙන්නේ? ඔය විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍යවලින් උදේ පාන්දර එළිවෙන කොටම මොනවද ඇහෙන්නේ. ජය පිරිත කියයි, ජ්වර පිරිත කියයි. සීවලී පිරිත කියයි. උදේ ඉඳන් ජප කරනවා. ඇයි ජය පිරිත, සීවලී පිරිත, බෞද්ධයට අයිති නැද්ද? බුද්ධ දේශනාවේ කොහෙද ඔවැනි පිරිත් තියෙන්නේ? සීවලී පිරිත බුදුදහමට අයිති වෙන්නේ නැද්ද? තනිකර මිථ්‍යාවක්. සීවලී මහ රහතන් වහන්සේ ගැන අංගුත්තර නිකායේ මෙන්ම ථෙර ගාථාවලත් සඳහන් වෙනවා ඒක හරි. ඒත් සීවලී පිරිතක් කොහෙද තියෙන්නේ. ඔය පිරිතේ සංස්කෘත වචනත් තියෙනවා. මේ සීවලී පිරිත නුවර යුගයේදී අටවගත්ත එකක්. සීවලී පිරිත කියලා කියන්නේ සංස්කෘත ස්තෝත්‍ර බුදුන් දේශනා කළේ පාලි භාෂාව. ඒකේ සංස්කෘත නැහැ. ඉතින් හාමුදුරුවරුමනේ මේව කියන්නේ? හාමුදුරුවරු කිව්වට මේව බොරු. නුවර, දඹදෙණි වගේ පිරිහිච්ච යුගවල ඇතිවුණ දේවල් තමයි මේ. ඒව කර තියාගෙන යනවා. මේ දැන් අපට පෙනෙන්න තියෙන බොහෝ දේ බුදුදහම නොවේ. බුදුදහම වගේ දෙයක් මේක තනිකරම මිථ්‍යාව. බණ අසද්දී සම අසුන්වල ඉඳගත යුතුයි කියා භික්ෂුවක් කළ දේශනාවකට අනුව 1823දී පමණ ‘‘බංකුවාදය’ කියලා එකක් ශ්‍රී ලංකාවේ ඇති වුණා. එම භික්ෂුවගේ එකී දේශනාව වැරදි සහගත බව එවකට සිටි භික්ෂු සංඝයා පෙන්වා දෙන්නට කටයුතු කළා. ඒ අනුව ‘බංකු වාදය’ නිමා වුණා. එදා හිටපු බෞද්ධයෝ ප්‍රශ්න කරපු නිසා ඒ වාදය එතැනින් නිමා වුණා අද මේ මිථ්‍යාව ගැන ප්‍රශ්න කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා මිථ්‍යාව වැපිරෙනවා. බුදුන් වහන්සේ උපන්නේ ලංකාවෙයි කියලා කිව්වත් අද ඒක ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ තරමට අවිචාරවත් යුගයක් බිහි වෙලා. කිසිදු සාක්ෂියක් නැති තොරතුරු ජනගත වෙනවා. බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපන් බව ඔප්පු කරන්න පුරාවිද්‍යාත්මක සාක්ෂි නැහැ කියලද ඔබ වහන්සේ කියන්නේ? හොඳයි මම අහන්නේ ශ්‍රී ලංකාවේ උපන්නයි කියලා කියන්න තිබෙන සාක්ෂිය මොනවද? කිසිම සාක්ෂියක් නැහැ. ඕව ප්‍රශ්න කරන්න තරම් කාරණා නෙවෙයි. ඔය වගේම තව එකක් තියෙනවා රාවණා කියලා. රාවණා කියලා රජ කෙනෙක් හිටියයි කියලත් කියනවා. ඇයි මේ බොරුව වපුරන්නේ. රාවණා ගැන නම් නොයෙක් සාක්ෂි තිබෙනවා. රාවණා ඇල්ල, සීතා එළිය ඇති වුණේ කොහොමද? ඉතිහාසයේ කොහෙද ඕව තියෙන්නේ. ඔය නම් සියල්ල මෑත කාලීනව ගොඩ නැගුණ ඒවා. අනුරාධපුර, පොළොන්නරු යුගවල මේ නම් තිබුණේ නැහැ. සුද්දගේ කාලේ තමයි මේවා ඇති වුණේ. අනිත් එක නම්වලට අනුව බැලුවොත් ලංකාවේ බැලූ බැලූ අත තිබෙන්නේ ඉංග්‍රීසි නම්. ඉතින් එහෙම තිබුණයි කියල මේක එංගලන්තයේ කොටසක් නෙමෙයිනේ. ඒ විතරක් නොවේ රාවණා රජුගේ දඬු මොනරය පවා පරිගණක ආශ්‍රයෙන් දැන් නිර්මාණය කර තිබෙනවා. එය ක්‍රියාත්මක වූයේ ‘රසදියෙන්’ බවත් එහි සඳහන්? ඔය තරම්ම දන්නවනම් දඬුමොනරය දැන් හදල පෙන්නන්න කියන්නකෝ. බොරුවට රැවටෙන්න එපා. ඉන්දියාවේ වාල්මිකිගේ රාමායණය තනිකරම ප්‍රබන්ධයක්. 4 වැනි සියවසට එපිට කිසිම සාක්ෂියක් නැහැ රාවණා කෙනෙක් ගැන. අටුවාවකවත් නැහැ. මම ඉතාම වගකීමෙන් කියනවා මේ රාවණා ප්‍රශ්නය මතවාදීව ඛණ්ඩනය නොකළොත් මේව විසඳන්න රජය මැදිහත් නොවුණොත් ඉතා මෑතකදී හින්දු බෞද්ධ ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ සඳහා තමයි මේ වට පිටාව සකස් වෙන්නේ. රාවණා හින්දු භක්තිකයෙක් විදිහටයි දෙමළ දේශපාලකයන් හඳුන්වන්නේ. රාවණා හින්දු භක්තිකයෙක් හැටියට හඳුන්වන බව ඔබ වහන්සේ කිව්වට සිව්හෙළයේ මහා රණවිරුවා විදිහටයි රාවණා හඳුන්වන්නේ. හෙළයන්ගේ මහා විරුවා. අරිසෙන් අහුබුදුවන් පවා මේ ගැන කියනවා. ? කොක්කෙන් උස්සන නිසා ‘කොකිස්’ කියන නම හැදෙනවා කියලා කිව්වේ ඔය අරිසෙන් අහුබුදුනේ. ඕන තරම් දේවල් කියන්න පුළුවන් ඒත් ඒවා ශාස්ත්‍රියව ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. ඔය හෙළ බස කියන්නෙත් ඒ වගේ ශාස්ත්‍රිය නොවන ප්‍රකාශයක්. හෙළ බසක් තිබුණේ නැද්ද? නැහැ. සිංහල භාෂාව තිබුණා. මේ අය සිව්හෙළේ කියලා කෘත්‍රිම භාෂාවක් හදා ගත්තා. ගෝත්‍ර හදාගෙන අමනුෂ්‍යයෝ හදාගෙන භූතයෝ හදාගෙ මිථ්‍යාව ගෙන යනවා. ඔබවහන්සේ අමනුෂ්‍යයන් ඉන්න බව පිළිගන්නෙ නැද්ද? අමනුෂ්‍යයන් ඉන්නවා. අමනුෂ්‍යයන් නැති තැනක් නැහැ. මේ පන්සලෙත් ඉන්නවා. හොඳයි කාටද අමනුෂ්‍යයන් කියන්නේ. ඇහැට නොපෙනෙන සත්ත්ව විශේෂයක්? ඇහැට පේන අමනුෂ්‍යයෝ තමයි වැඩිපුරම ඉන්නේ. ඒ කියන්නේ දුර්ජනයන්ද?. නැහැ. නැහැ ‘අමනුෂ්‍ය’ කියලා කියන්නේ පාලි භාෂාවේ සමාස පදයක්. න - මනුස්ස = අමනුස්ස. ඒ කියන්නේ මිනිස්සු නොවන හැම කෙනෙක්ම අමනුස්සයෝ. කරණීය මෙත්ත සූත්‍රයේදී මේ අමනුස්සයෝ වර්ග කරලා තිබෙනවා. දිග සත්තු, කොට සත්තු, ඇහැට පේන - නොපෙනෙන වශයෙන්. ඔය ගෙවල්වල ඕන තරම් අමනුෂ්‍යයෝ හදන්නේ. ඇමීබලා, බැක්ටීරියා මේව ඇහැට නොපෙනෙන අමනුස්සයෝ. පේත වත්තුවේ අමනුෂ්‍යයෝ ගැන සඳහන් වෙනවා නේද? මේවා සංඛේත විදිහටයි සැලකිය යුත්තේ. අපි දැන් බුදු දහම ලෙස පිළිපදින්නේ තක්කඩි කට්ටඩියෝ කියන දේවල්. සැබෑ දහම නොවේ. ඉන්දියාවේ ‘දුෂේරා’ කියා උත්සවයක් පවත්වනවා. එහිදී රාවණාට කටුගහලා ස්තෝත්‍ර කියලා පරුෂ වචනයෙන් බැණලා අන්තිමට රාවණා රූපෙට ගිනි තියනවා. දැන් ඔන්න ‘ගිනි සිසිල’ කියලා ලංකාවෙත් එකක් පටන් අරන් තියෙනවා. කොලොන්නාව පැත්තේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් තමයි මේක කරන්නේ. එයා රාමට ගිනි තියනවා. මට පේන හැටියට මේක අවසාන වෙන්නේ හින්දු බෞද්ධ ගැටුමකින් වෙන්න පුළුවන්. මේ ගැටලු මෙහෙම කතා කරලා බැහැ. එකින් එක වෙන වෙනම කතා කරන්න ඕන. සියලු මිථ්‍යා මත ඛණ්ඩනය කරන්න ඕන නැත්නම් අපේ තේරීය සම්ප්‍රදාය විනාශ වෙනවා. ඔය අබතෙල් පූජා, අසූහාරදහසේ පහන් පූජා, තෙසැත්තෑ ඥාන පූජා බුදුදහමට ​කොයිතරම් ගැළපෙනවද? අබතෙල් වෙනුවට ඔලිව්තෙල් පූජා කරන්න කියන්නකෝ. අසූහාරදහසේ ධර්මස්කන්ධ සංකල්පයක් නම් තිබෙනවා. ඒවට පූජා තියල වැඩක් වෙන්නේ නැහැ. දැන් හැමදේටම පූජාවක් ඇවිත්. මීට අවුරුදු 30-40කට කලින් මේවගේ පූජා තිබුණේ නැහැ. නුවර යුගයේ තත්ත්වයත් මේකමයි. ඒ කාලේ දහම හොඳටම පිරිහිලා තිබුණා. අදත් එවැනි තත්ත්වයක් ඇතිවෙලා. ඒ වගේම පිරිත් සජ්ඣායනයේදී යක්කෝවා, යක්කිනීවා කියලා යක්කුන්ට යන්න රතිඤ්ඤා දානවා? යක්කු පන්නන්න රතිඤ්ඤා දාන්න කියලා කොහෙද තියෙන්නේ. ආටානාටියේ එහෙම තියෙනවද? බොරු මනස්ගාතනේ. හොඳයි මට කියන්න බලන්න අපිට වඩා යක්කු ටිකක් ඉන්නවද කියලා මේ රටේ. එක අමනුස්සයෙක් කරපු වැරැද්දක් කියන්න පුළුවන්නම් නඩු දාන්න. ජීවත් වෙලා ඉන්න මහත්තුරු - නෝනලා මිසක් එක යකෙක් කරපු වැරදි වැඩක් පුළුවන්නම් පෙන්නන්න. ඒ විතරක් නොවේ අපේ රටේ කලා නිර්මාණ පවා දැන් බිහි වෙන්නේ මේ මිථ්‍යා සංකල්ප මතයි. එවැනි කලා නිර්මාණ තමයි මිනිසුන්ට බලන්න වෙලා තියෙන්නේ. ‘‘අවසාන වශයෙන් මම කියන්නේ මෝඩයාට ශෝක වීමට හේතු දහස් ගණනක් ද බියවීමට හේතු දහස් ගණනක්ද දවසින් දවස ගොඩ නැගේ’’ යන්නයි. තුෂාර උඩවත්ත
 

More News..