brand logo

සිහින විස්සයි විස්ස පිලට ලංකාවෙන් මාලිංග

26 May 2020

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩෙවිය මගින් නම් කරන ලද මෙතෙක් බිහිවූ ලොව විශිෂ්ටතම විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළත්ව තිබේ. ‘සිහින විස්සයි විස්ස කණ්ඩායම’ ලෙසින් නම්කර තිබෙන මෙම කණ්ඩායමේ නායකත්වය ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණිට හිමිව තිබෙන අතර ඔහු පස්වැනි පිතිකරු වශයෙන්ද නම්කර ඇත. ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් නායකයෙක් වන දෝණි එක්දින ලෝක කුසලාන, විස්සයි විස්ස ලෝක කුසලාන, ශූරයන්ගේ කුසලාන සහ ආසියානු කුසලාන ආදී සියලුම ක්‍රිකට් ශූරතා ඉන්දියාවට දිනා දුන් නායකයාද වේ. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් සහ ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් කණ්ඩායමට ඇතුළත්ව සිටී. තුන්වැනි පිතිකරු වශයෙන් ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ශේන් වොට්සන්ව නම්කරන අතරවාරයේදී සිව්වැනි පිතිකරු වශයෙන් දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්ව නම් කර ඇත. අදාළ කණ්ඩායමට ක්‍රිස් ගේල් හැරුණු විට තවත් තුන් ඉරියව් කොදෙව් ක්‍රීඩකයන් තිදෙනෙක් ඇතුළත්ව සිටී. ඒ අනුව කණ්ඩායමේ හයවැනි පිතිකරු වශයෙන් ඇන්ඩ්‍ර රසල්, හත්වැනි පිතිකරු වශයෙන් කිරන් පොලාඩ් සහ අට වැනි පිතිකරු වශයෙන් සුනිල් නරීන් ඇතුළත්ව ඇත. ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් 9 වැනි පිතිකරු වශයෙන් නම්කොට තිබෙන අතර පිළිවෙළින් ලසිත් මාලිංග සහ ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා දහවැනි සහ එකොළොස්වැනි පිතිකරු වශයෙන් නම්කර ඇත. කෙසේ නමුත් මෙම කණ්ඩායම සඳහා එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය සහ බංග්ලාදේශය නියෝජනය කරමින් එක් ක්‍රීඩකයෙක් හෝ ඇතුළත්ව නොසිටීම සුවිශේෂී කාරණයක් විය. මීට පෙර ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය මගින් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමක්ද, සිදු කළේය. එහිදී විශිෂ්ටතම ක්‍රීඩකයා බවට ක්‍රිස් ගේල් පත් වූ අතර එම අනුශූරතාවය හිමි වූයේ ලසිත් මාලිංගටය.
 

More News..