brand logo

සිහළ රාවය සංවිධානයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ලිපියක්

06 August 2019

ජාතික තව්හිත් ජමාත් සංවිධානය තහනම් කිරීම සහ එම සංවිධානයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ත්‍රස්ත මර්ධන කාර්යාංශය වෙතින් උපදෙස් විමසීම සඳහා ඉදිරිපත් කරන ලද පරීක්ෂණ ගොනුව වසර දෙකකට අධික කාලයක් යටපත් කර නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතීඥ මලික් අසීස් යන අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි දැයි නව සිහල රාවය සංවිධානය විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර තිබේ. මේ පිළිබඳව ඊයේ (06) පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලිපියක් භාර දීමෙන් පසුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ නව සිහල රාවය සංවිධානයේ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් මේ බව ප්‍රකාශ කර සිටියහ. " ජාතික තව්හිද් ජමාත් සංවිධානය තහනම් කිරීම සහ එම සංවිධානයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශය උපදෙස් විමසා 2017 වසරේ නීතිපතිවරයා වෙත පරීක්ෂණ ගොනුවක් ඉදිරිපත් කළ බව මා මුලින්ම සඳහන් කර තිබුණා. පසුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනවිය විසින් මා විසින් ඉදිරිපත් කළ එම කරුණු අසත්‍යක් බවට ප්‍රකාශ කර තිබුණා. එහෙත් ත්‍රස්ත මර්දන කාර්යාංශය විසින් එවැනි පරීක්ෂණ ගොනුවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බවටත් ඒ පිළිබඳව නීතිපතිවරයා පොලිසියට නිසි උපදෙස් ලබානොදුන් බවත් පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය වුණා. පොලිසිය විසින් ඉදිරිපත් කළ එම ලිපි ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ රජයේ නීතිඥ මලික් අසීස් විසින් වසර දෙකහමාරකට අධික කාලයක් යට ගසා තිබෙන බවට එහිදී සාක්ෂි අනාවරණය වුණා. එහෙත් එම නිලධාරීන් සම්බන්ධයෙන් නීතිපතිවරයා මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අඩුම ගනනේ ඔවුන්ගේ වැඩතහනම් කර පරීක්ෂණයක් වත් සිදු කර නැහැ." යැයි චෝදනා කළ මාගල්කන්දේ සූදන්ත හිමියන් පාස්කු ප්‍රහාරය වළක්වාලීමට කටයුතු නොකිරීම ගැන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබා දුන් ආකාරයෙන්ම අසාද් නවාවි සහ මලික් අසීස් යන නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා පියවර ගතයුතු බවටද ඉල්ලා සිටියා. ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදුන් මෙම ලිපිය මගින් ජාතික තව්හිත් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශය මගින් ඉදිරිපත් කළ පරීක්ෂණ ගොණුව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි ? එම ලිපිගොනුව සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් සමග සාකච්ඡා කළාද ? එම විමර්ශන ගොනුවේ තිබූ තොරතුරු පරීක්ෂණ සඳහා ප්‍රමාණවත් නොමැති බවට ත්‍රස්ත මර්දන කාර්යාංශයෙ නිලධාරීන් වෙත දැනුම් දුන්නාද ? යන ප්‍රශ්න මාලාව සදහා පිළිතුරු ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ මෙම ලිපිය තුළින් ඉල්ලීමක් සිදුකළ බවද නව සිහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් වැඩිදුරටත් කියා සිටියහ." අධිකරණ වාර්තාකරු
 

More News..