brand logo

විෂ දුමක් ආඝ්‍රාණය වීමෙන් මියගිය සිසුවියන්ගේ දේහයන් මේ සතියේ ශ්‍රී ලංකාවට

13 January 2020

අසර්බයිජානයේ දී මිය ගිය සිසුවියන් තිදෙනාගේ දේහයන් මෙම සතිය ඇතුළත මෙරටට එවීමට හැකි වනු ඇති බවට ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඥාතීන්ට විශ්වාසය පළ කර ඇත. කෙසේ වුව ද විශ්වවිද්‍යාලය පිහිටි බාකු නගරයේ සිට කොළඹ දක්වා ඍජු ගුවන් ගමන් නොමැති වීම නිසා දේහයන් ගෙන ඒමේදී තරමක ප්‍රමාදයක් විය හැකි බවටත් ඥාතීන් දැනුවත් කරනු ලැබ තිබේ. උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති බන්දුල ගූණවර්ධන ඊයේ ( 12 වැනිදා) පිළියන්දල නිවසට ගොස් ප්‍රකාශ කර තිබුණේ දේහයන් අනිද්දා (15 වැනිදා) වන විට මෙරටට ගෙන ඒමට හැකි වන බවය. අසර්බයිජානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති හෙයින් දේහයන් ගෙන්වා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන්නේ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙනි. සිසුවියන්ගේ මරණ පරීක්ෂණ පැවැති අවස්ථාවට ද එම තානාපති කාරියාලයේ නිලධාරියෙක් සහභාගි වි ඇත. දේහයන් මෙරටට එවීමට අදාළ ලිපිලේඛන කටයුතු සියල්ල අද (13 වැනිදා) වන විට අවසන් කිරීමට හැකි වනු ඇතැයිද නිලධාරීන් ඥාතීන්ට දන්වා තිබේ. අසර්බයිජානයේ වෙස්ටර්න් කැස්පියන් නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයට මෙම තිදෙනා ගොස් ඇත්තේ පසුගිය වසරේ ජූලි මාසයේදීය. පිළියන්දල, බෝකුන්දර පදිංචි විසිතුන් හැවිරිදි මල්ෂා සන්දීපනී හා විසිඑක් හැවිරිදි තාරුකී අමායා යන එකම පවුලේ සොහොයුරියෝ ද කඩුවෙල, පහළ බෝමිරියේ පදිංචි විසිපස් හැවිරිදි අමෝද්‍යා මදුහන්සි යන සිසුවියන් තිදෙනා සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. තිදෙනා අනතුරට ලක්ව ඇත්තේ ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයේ දීය. ඉකුත් බ්‍රහස්පතින්දා (10 වැනිදා) එහි වූ ගින්නක් නිසා ඇති වූ විෂ දුමක් ආඝ්‍රාණය වීමෙන් ඔවුන් මරණයට පත්ව ඇතැයි ඥාතීන් වෙත දැනුම් දෙනු ලැබ ඇත. දියණියන් මිය ගොස් ඇති බව දැනගැනීමෙන් කම්පනයට පත් මෙම සොහොයුරියන්ගේ නැන්දණිය ද හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. පනස් හැවිරිදි සුජීවා ප්‍රියංකා නමැත්තිය මෙලෙස මියගොස් ඇත. සොහොයුරියන් දෙදෙනා කොළඹ ලුම්බිණි විදුහලේ ආදි සිසුවියන් වූ අතර එක් අයෙක් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ද අනෙක් සොහොයුරිය විලාසිතා නිර්මාණ පාඨමාලාවක් ද හදාරමින් සිට ඇත. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ හන්සි බෝමිරිය මධ්‍ය මහා විදුහලේ ආදි සිසුවියකි. මෙම තිදෙනා මෙම නවාතැනට ගොස් ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙරය. මෙම තිදෙනාට අමතරව තවත් ශ්‍රී ලාංකික සිසු සිසුවියෝ එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරති. නිලන්ත මදුරාවල
 

More News..