brand logo

සිසුන්ට අමුතු පාඩම් කියා දුන් නරුම ගුරාගේ කෙරුවාව

29 July 2020

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ විමර්ශන නිලධාරිනියක වන වරුණි බෝගවත්ත කැඳවන්නේ සුවිශේෂී මෙහෙයුමක් සඳහාය. ඇය එම විමර්ශනය සඳහා සම්බන්ධ කරන්නේ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න වෙතය. වීඩියෝ පට නවයක් හා ඡායාරූප දාහතක් මොවුන් අත තබා එහි සිටින පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝග කළේය. ඒ මෙම වීඩියෝ පට හා ඡායාරූප සමග වට්ස්ඇප් මාර්ගයෙන් විදෙස් රටක වෙසෙන ශ්‍රී ලාංකිකයකු කළ පැමිණිල්ලකට අනුවය. එම පැමිණිල්ල ලැබී තිබුණේ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ටය. වීඩියෝ හා ඡායාරූපවල වූයේ පිරිමි දරුවන් අපයෝජනය කරන පුද්ගලයෙකි. මෙම නිලධාරීන් දෙදෙනා ඉකුත් 23දා එම විමර්ශන කටයුතු අරඹන්නේ මේ අනුවය. විමර්ශන නිලධාරීන් ඡායාරූප හා වීඩියෝ හොඳින් අධ්‍යයනය කරද්දී හමු වූ ඡායාරූප දෙකක් වෙන් කරගන්නේ ඒ ඔස්සේ යම් හෝඩුවාවක් සොයා ගත හැකි බවට වූ විශ්වාසයෙනි. එක් ඡායාරූපයක වූ යතුරුපැදි අංකයක් ඔස්සේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණරත්න විමර්ශන ඇරැඹීය. පොලිස් නිලධාරිනිය අත වූයේ ප්‍රසිද්ධ දරුවකු සමග සැකකරු ගත් ඡායාරූපයකි. යතුරුපැදි අංකයේ හිමිකරු සොයා බැලීමේ දී ඔහු ඇමෙරිකාවේ සිටින බවට තහවුරු විය. එම හිමිකරු යතුරුපැදිය දී තිබුණේ පන්නිපිටියේ අයෙකුටය. එම ලිපිනය සොයා යන අතරේ අනෙක් ඡායාරූපයේ දරුවා හඳුනාගෙන එම නිවසට යන්නේය. පුංචි තිරයේ ජනප්‍රිය ළමා නළුවකු වන තම පුතුගේ ඡායාරූප ගැනීමට මෙම පුද්ගලයා පැමිණි බව දරුවාගේ මව හඳුනා ගත්තේය. සැකකරු එසේ හඳුනාගෙන තිබුණ ද ඔහු සිටින තැන දරුවාගේ පවුලේ අය දැන සිටියේ නැත. පසුව ලද තොරතුරුමත උපක්‍රමයක් යොදා සැකකරුගේ ලිපිනය ලබා ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි සමත් වූවාය. සැකකරු පොලිස් ගැටයට අසු වී ලිපිනය ලබා දුන්නේය. එය පන්නිපිටිය දෙපානම ලිපිනයකි. ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණරත්න යතුරුපැදිය භාවිත කරන පුද්ගලයා සොයා පන්නිපිටියට ගොස් සිටියේය. ඔහු වෙළෙඳසලක හිමිකරුවෙකි. ඡායාරූපය පෙන්වා යතුරුපැදිය ගැන විමසද්දී, ‘‘මේ මගේ දරුවාගේ ඉංග්‍රීසි මාස්ටර්නේ’’ කියා ඔහු පැවැසීය. අපි මෙයාව විමර්ශනයකට හොයනවා. ඉන්න තැන අපිට කියන්නය විමර්ශන නිලධාරීහූ ඔහුට පැවැසූහ. වෙළෙඳසල් හිමියා ලබා දුන්නේ ද පන්නිපිටියේ ඉහත ලිපිනයමය. ඉන් පසු පොලිස් කණ්ඩායම් දෙකම සැකකරු සොයා එම නිවසට ගියහ. එහි දී නිවසේ සිටි සැකකරු අත්අඩංගුවට ගැනිණි. නිවස පරික්ෂා කිරීමේ දී පහත මාලයේ තිබී දරුවන් සම්බන්ධ කරගෙන තැනූ වීඩියෝ පට 130ක් සොයා ගැනුණි. එහි පරිගණකයක් හා ඒවායේ දත්ත අඩංගු බැකප් තුනක් ද විය. දරුවන් සමග ගත් ඡායාරූප දෙසියයක පමණ ඇල්බමද නිලධාරීන්ගේ උකුසු ඇසට හසු විය. කුඩා දරුවන්ගේ යට ඇඳුම් පිරවූ අල්මාරියක් ද කාමරය තුළ විය. කැමරා, පෙන්ඩ්‍රයිව් මෙන්ම පාසල් නිල ඇඳුම් හා ප්‍රසිද්ධ පාසල්වල නිල ලාංඡනද එහි තිබී සොයා ගැනුණේය. පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) කැඳවා කළ සූක්ෂම විමර්ශනයක දී කාමරය තුළ තිබී කුඩා දරුවන්ගේ කෙස්ගස් 192ක් ද සොයා ගත්තේ ඉන් අනතුරුවය. අහිංසක කුඩා දරුවන් පොලඹවාගෙන ලිංගික අඩන්තේට්ටම් කරමින් ඉංග්‍රීසි ගුරා නැටූ නාටකය හෙළිවන්නේ මේ ඔස්සේ කළ විමර්ශනයේ දීය. සැකකරු කලින් විවාහ වී දික්කසාද වූවකු බවද විමර්ශනවල දී හෙළි වී තිබේ. වසර දහයක් පමණ පිළියන්දල කොමියුනිකේෂන් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය සැකකරු වීඩියෝ ගත කිරීමට හා සංස්කරණයට ද දක්ෂතා දැක්වූවෙකි. ඉන් පසුව පාසල් සිසුන්ට ඉංග්‍රීසි බස උගන්වන ගුරුවරයකු බව සඳහන් කරමින් අත් පත්‍රිකා බෙදාහැර නිවසේ දී හා නිවෙස්වලටම ගොස් උපකාරක පන්ති පවත්වා තිබේ. මල් වැනි අහිංසක දරුවන් වරදට පොලඹවාගෙන වීඩියෝ හා ඡායාරූප ගැනීමේ කාර්යය ඇරැඹෙන්නේ ඉන්පසුවය. කොලු ගැටයකුට වහවැටුණු උන්මත්තක ගුරුවරයා සිය නිවසේ දී ලිංගික අඩන්තේට්ටම් කිරීමට පෙලඹුණි. ඒ සඳහා ඔහු භාවිත කළේ අපූරු උපක්‍රමයකි. තම නිවසට පැමිණෙන සිසුන්ට පාසල් නිල ඇඳුම් ද සපයා ඒවා අන්දවා ඔවුන් තමා වෙත නම්මවා ගැනීමට ඔහු උත්සාහ කළේය. දරුවන් පාසල් නිල ඇඳුම් අඳින්නට යද් දී ඔවුන් තම පහත් ආශාවන්ට පොලඹවා ගෙන ජංගම දුරකතනයෙන් වීඩියෝ කිරීමට මෙම නරුමයා කටයුතු කර තිබිණි. මම අවුරුදු දොළහේ ඉඳන් දහඅට වයසේ පිරිමි ළමයින්ට ගොඩක් ආසයි. ඒක මගේ හොබී එකක් නරුම ගුරාගෙන් ප්‍රශ්න කරද්දී ඔහු පාපොච්චාරණය කළේ එලෙසිනි. මව්පියන්ගේ නොසැලකිල්ලත් මොහුගේ මෙම දඩයමට වාසියක් වූ බව විමර්ශනවල දී හෙළි විය. උතුම් වූ ගුරු වෘත්තිය කෙලෙසමින් මෙකී නරුමයා කර තිබුණේ මල් කැකුළු වන් දරුවන් තළා පෙළා වීඩියෝ කිරීමය. නරුම ගුරා තම වීඩියෝ පටවලට යොදාගත් ළමුන්ගෙන් බහුතරයක් අඩු ආදායම් ලාභී දෙමාපියන්ගේ දරුවන්ය. මව්පියන් තම දරුවන් ඔහුගේ නිවසට යැව්වේ ඔහු පිළිබඳ දැඩි විශ්වාසයකිනි. ඩ්‍රෝන කැමරා, සෙල්ලම්බඩු, අයිස් ක්‍රීම්, චොකලට් දී දරුවන් රවටා ගන්නට තරම් ඔහු උපක්‍රමශීලී අයකු විය. විමර්ශනවල දී හෙළිි වූයේ මෙම ගුරා මෙරට ප්‍රසිද්ධ ළමා චිත්‍රපටයකට තිර පිටපත ලියා ඇති බවයි. මොහු එහි තිරනාටකය ද ලියා පළ කොට තිබේ. එම චිත්‍රපටයේ රඟපෑ දරුවන් මෙන්ම චිත්‍රපටය නිෂ්පාදකගේ දරුවා ද මොහුගේ ඡායාරූප ඇකඩමියේ ඡායාරූප ගැනීමට ගෙනැවිත් තිබුණේය. මොහු දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා කොළඹ ප්‍රධාන පාසල්වල ලාංඡන ඒවායේ ගසා වීඩියෝ කර තිබුණේ ප්‍රධාන පාසල්වල දරුවන්ගේ වීඩියෝ පට ලෙස අලෙවි කිරීමටය. පාසල් දරුවන් සමග ගුරාද පාසල් නිල ඇඳුම්වලින් සැරැසී ගත් ඡායාරූප ද විමර්ශනවල දී හමු වී තිබේ. ශ්‍රී ලාංකික දරුවන් සමලිංගික සේවනයට යොදා ගත හැකි බව හඟවමින් විදේශිකයන්ට වීඩියෝ පට විකුණන ජාවාරමක් ද මේ නරුම ගුරා සිදු කළ බව හෙළිවන්නේ වැඩිදුර විමර්ශනවලදීය. ළමා රූපවාහිනී වැඩසටහන් පැවැත්වෙන ස්ථානවලට ගොස් ඔවුන්ගේ ඡායාරූපද ගෙන තිබුණේ ඡායාරූප ශිල්පියකු ලෙස පෙනී සිටිමිනි. එම ඡායාරූප නොමිලේ ලබා දී දරුවන් හා දෙමාපියන්ගේ සිත් දිනාගන්නට ද ඔහු පසුබට වූයේ නැත. දීර්ඝ කාලීන සැලැසුමක් මත මොහු කටයුතු කර තිබුණේ රටේ දරුවන් ලිංගික සූරා කෑමකට ලක් කර විදේශිකයන්ට විකුණා රටේ කීර්තිනාමයට කැළලක් ඇති කරන්නටය. පොලිසියේ දක්ෂතාවය මත මෙම නරුම ගුරා කොටු නොවූයේ නම් අහිංසක දරුවන්ගේ ජීවිතවලට සිදු වන විනාශය සිතා ගැනීමටවත් අපහසුය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..