brand logo

සිව්වසරක පාපයෙන් ගැලවීමට ශ්‍රීලනිපය පොහොට්ටුවට සහාය දිය යුතුයි

10 September 2019

පසුගිය සිව් වසරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව රට විනාශ කිරීමේ පාපයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපති වරණයේ දී පොහොට්ටුවේ අපේක්ෂකයා දිනවීමට කොන්දේසි විරහිතව සහය දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. නිදහස් පක්ෂය නැවත වරක් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු කිරීමට නිදහස් පක්ෂයේ ඇතැම් එක්සත් ජාතික පක්ෂ හිතවාදී මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වී ඇති බව පැවසූ රණතුංග මහතා මෙවර ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව හැර වෙනත් ලකුණකින් තරග කළ යුතු යැයි කියන්නේ එම පිරිස බවත් ප්‍රකාශ කළේය. ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ දිවුලපිටිය ප්‍රදේශයේ අද (10) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය. "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් සමඟ එකතු වෙලා රට විනාශ කරන්න දායක වුණා. පසුගිය වසර පහක කාලය තුළ රට තුළ යම් විනාශයක් සිදුවණා නම් ඒ විනාශයට නිදහස් පක්ෂයත් වගකිව යුතුයි. ඒ පාපයෙන් ගැලවෙන්න නම් නිදහස් පක්ෂය මේ වෙලාවේ කරන්න ඕනේ කොන්දේසි විරහිතව පොහොට්ටුවේ අපේක්ෂකයාට සහයෝගය දෙන එකයි. නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර පැවැතේවෙමින් තිබෙන සාකච්ඡා සාර්ථක කරගන්න නම් දෙපාර්ශවයම එකසමාන වූ අවධානයකින් කටයුතු කරන්න ඒනේ. නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ජයග්‍රහණය ගැන කල්පනා කරමින් සිටින නිසා සාකච්ඡාවලට එකඟ නොවී සිටින බවට ජනතාව අතර මතයක් ඇති වෙමින් තිබෙනවා. ඒ නිසා නොකෙරෙන කොන්දේසි දාලා සාකච්ඡා කඩාකප්පල් කරන්න එක්සත් ජාතික පක්ෂ හිතවාදී ඇතැම් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කටයුතු කරමින් සිටින බවක් අපට පෙනෙන්නට තිබෙනවා. මේ මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ යළිත් වතාවක් ශ්‍රී ලංකා නිදහස පක්ෂය එක්සත් ජාතික පක්ෂය වෙත ගෙන ගොස් නිදහස් පක්ෂය මේ භූමියෙන් අතුගාලා දාන්නයි. අද වන විට මේ රටේ ජනතාවගේ එකම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ පොහොට්ටුවයි. මිනිස්සු කැමැති පොහොට්ටුවට මිසක් වෙන වෙන ලකුණුවලට නෙමෙයි. පොහොට්ටුව මහින්දගේ ලකුණ විදියටයි මිනිස්සු අඳුනාගෙන තිබෙන්නේ. ඒ නිසා ඊළඟ ජනාධිපතිවරණයට පොහොට්ටුව හැර වෙනත් ලකුණකින් තරග කිරීම කිසිසේත් කළ නොහැකි කාරණයක්. "
 

More News..