brand logo

සිරුරට අහිතකර ලෙස උෂ්ණත්වය අද ​ඉහළට

28 February 2020

දිවයිනේ වයඹ, බස්නාහිර පළාත් මෙන්ම මන්නාරම, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලද උෂ්ණත්වය මිනිස් සිරුරට අහිතකර මට්ටමට අද (28 වැනිදා) ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (27 වැනිදා) නිවේදනය කළේය. ඒ අනුව අද (28 වැනිදා) දිනයේද දැඩි උණුසුමක් වාර්තාවනු ඇති අතර එය සෙල්සියස් අංශක 32 ත්, 41 ත් අතර අගයක් ගනු ඇත. මේ අතර දිවයිනට බලපා ඇති අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ආබාධවලින් වැළකීමට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් මාලාවක්ද ඉදිරිපත් කර තිබේ. මේ වන විට අධික උෂ්ණත්වය හේතුවෙන් විවිධ රෝගාබාධයන්ට ලක් වූ පුද්ගලයන් රෝහල්ගත වීමක්ද දක්නට ලැබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය පියංකර ජයවර්ධන මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසීය. මේ නිසා වෙනදාට වඩා ජලය පානය කළ යුතු බවත්, කුඩා දරුවන් සහ විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබන පුද්ගලයන් විශේෂයෙන් අව්වට නිරාවරණය වීමෙන් වැළකිය යුතු බවත් හෙතෙම අවදාරණය කරයි. දහවල් 11ත්, 3 ත් අතර කාලය ළමයින් මෙන්ම වැඩිහිටි පුද්ගලයන්ද හිරු එළියට නිරාවරණය නොවන්නේ නම් යහපත් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. ශිරන්තනි මානවඩු
 

More News..