brand logo

‘සිරි රජසිරි’ සිරිමල් ගජ ඉලන්දාරියෙක්

16 February 2021

‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ මාලන්ට මේ දිනවල ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. කොණ්ඩය වවාගෙන බොරුකාරයෙක් වගේ රඟපාන මාලන් ළමා කාලයේ ඔබ බොහෝ සේ ආදරය කළ කෙනෙක්... ‘සිරි රජසිරි’ හි පුංචි සිරිමල් අද මාලන් වුණේ කොහොමද කියලා අහලා බැලුවොත් හැමෝම කැමති වෙයි කියලා සිතුණා... 'සිරි රජසිරි' කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. සෝමරත්න දිසානායක මාමා අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයේ 'සිරිමල්' චරිතය තමයි මගේ ජීවිතේ මේ වනතෙක් රංගනයෙන් දායක වුණ හොඳම චරිතය. අදටත් වෙනසක් නැතිව මට එදා වගේම චිත්‍රපටය විකාශයට හොඳම ප්‍රතිචාර ලැබෙන චරිතයක්. ඒ වගේම මේ චරිතෙට මට අන්තර්ජාතික සම්මානයක් ලැබුණා. විශේෂම දේ තමයි මට කලින් කලාකරුවන්ගෙන් මේ අන්තර්ජාතික සම්මානය අරන් තියෙන්නේ ජෝ අබේවික්‍රම සූරීන්. සරසවි සම්මාන ඇතුළු සම්මාන රාශියක් ලැබුණු චරිතයක් තමයි සිරිමල් කියන්නේ. අදටත් මගේ සමීපතමයන් කෝල් කරලා මට කියනවා 'පුතේ මම අදත් අඬන්නේ නැතුව මේක බලන්න ට්‍රයි කළා. ඒත් මට අදත් ඇඬුණා' කියලා. ඒ තරම් සිරිමල් කියන්නේ සංවේදී චරිතයක් වුණා ප්‍රේක්ෂකයන්ට. 'සිරි රජසිරි' චිත්‍රපටයෙන් පසුව කෝකිල කාලයක් නිහඬ වෙනවා... ඇත්තටම නිහඬව හිටියා කියන්නත් බෑ. එතැනින් පස්සේ මම චිත්‍රපට හතරකට පමණ සම්බන්ධ වුණා. නමුත් ඒ ඇතැම් චිත්‍රපට ප්‍රදර්ශනය වුණේ නැහැ. ඊට අමතරව ටෙලි නාට්‍ය දහයකට විතර සම්බන්ධ වුණා. ඒ අතරින් ආනන්ද අබේනායක මහතාගේ 'උණුසුම' ටෙලි නාට්‍යයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතයටත් හොඳම නළුවා සම්මානය ලැබුණා. කෝකිල, පවන්ගේ කොණ්ඩෙට අද විශේෂ තැනක් ලැබිලා තියෙනවා... කොණ්ඩේ යම්තාක් දුරකට වවාගෙන යනකොට තමයි මට දාංගලේ ටෙලි නාට්‍යය ලැබුණේ. එකේ මම නිරූපණය කළේ ත්‍රීවිල් රියැදුරෙකුගේ චරිතයක්. ඒකට මේ කොණ්ඩේ හොඳටම ගැළපුණා. ඊට පස්සේ දාම් නාට්‍යය හම්බුණා. ඒ වෙනකොට සිහින සමාගමේ රහස් පොලිස් චරිතය විකාශනය වෙමින් තිබුණේ. දාම් නාට්‍යයේ තමයි ජීවිතේ පළමු වතාවට මගේ කොණ්ඩේ වෙනම විලාසිතාවකට හැදුවේ. ඒකට මම ස්තුතිවන්ත වෙනවා Asia bridal International ආයතනයට සහ මගේ වේෂ නිරූපණ ශිල්පියාට. මගේ කොණ්ඩය එක්ක කවුරුත් විශ්වාස කළේ නෑ මේ ඉන්නේ සිරි රජසිරි එකේ සිරිමල් කියලා. මගේ අධ්‍යක්ෂවරු පවා මට කියන දෙයක් තමයි මේ කොණ්ඩය නිසා මගේ වේෂ නිරූපණය කරන්න ලේසියි කියන එක. මොකද කොච්චර දිග කොණ්ඩයක් වුණත් මොනම දෙයක් හෝ කරලා කොණ්ඩෙන් වැඩක් ගන්න පුළුවන්. කොට කොණ්ඩයක් තිබුණොත් තමයි එකම වගේ වෙන්නේ. ‘නාඩගම්කාරයෝ’ හි මාලන් ගැනත් කෝකිල කතා කළා... ඇත්තට මට මේ වනතෙක් ලැබුණු හැම චරිතයකින්ම මම ලොකු තෘප්තියක් ලැබුවා. ඒ අතරින් ගොඩක් වෙනස් නාට්‍යයක් තමයි නාඩගම්කාරයෝ. මාලන්ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර නම් බොහොමයි. මට කොහොමත් ඕන වුණේ ප්‍රසිද්ධ නළුවෙක් වෙන්න නෙවෙයි. ජනප්‍රිය නළුවෙක් වෙන්න. පොළොවේ පයගහලා ජීවත් වෙන මිනිහෙක් වෙන්න. අමතක නොවන මතකයන්ගෙන් කෝකිලගේ ජීවිතය පිරිලා තියෙනවා.ඒ ගැනත් කතා නොකර කොහොමද.. ඔය චරිතේ කරද්දී මට හොඳ හොඳ වැඩ වෙලා තියෙනවා. මෑත කාලයේ සිදුවුණ සිදුවීමක් කිව්වොත් පසුගිය කොටසක මට තිබුණා නිර්වස්ත්‍රව හබරල කොළ දෙකකින් ඇඟ වහන් ඉන්න කොටසක් කරන්න. ඇත්තටම මට එදා ඒ කොටසට අවශ්‍ය යටට අඳින කලිසම ගේන්න අමතක වුණා. පස්සේ මම ප්‍රවාහන ආයතනයක් ගෙදරට යැව්වා ඒක ගේන්න. බිරිඳට කතා කරලා කිව්වා මෙහෙම එයි, යට ඇඳුමක් හොඳට ඔතලා බෑග් දෙක තුනකට දාලා මගේ කොස්ටියුම් එකක් කියලා දෙන්න කියලා. එයත් ඒක කිව්ව විදිහටම හොඳට ඔතලා එවලා. ඒ මනුස්සයා ඉතින් මගේ යට ඇඳුම 'මේ අර මහත්තයාගේ කොස්ටියුම් එක' කියලා අපේ කණ්ඩායමට දීලා ගිහින්. හැමෝටම හොඳටම හිනා. මං හිතන්නේ ඒ ආයතනයෙන් යට ඇඳුමක් ප්‍රවාහනය කරපු පළවෙනි වතාව ඒක වෙන්න ඇති. පුංචි සිරිමල් ලොකු ළමයෙක් වෙලා ඉක්මනින්ම විවාහ වුණේ ඇයිද කියන කාරණයෙන්ම අපි කතාව අහවර කළා... කොරෝනා තත්ත්වයත් එක්ක ඉදිරියට වෙන දේවල් කියන්න බැරි නිසා අපි දින එහා මෙහා කරගෙන සෞඛ්‍යාරක්ෂිතව පසුගිය දෙසැම්බර් 05 වැනිදා විවාහ වුණා. ඇය නිමාලි ප්‍රනාන්දු. ඇය මගේ පළමු පෙම නොවුණත් අවසන් පෙම වුණා. නිමාලිව මට මුණගැසුණේ දමයන්ති ෆොන්සේකා නැන්දාගෙ 'රන්ගිරි අම්මා' ටෙලි නාට්‍යයෙන්. ඇයත් එහි රඟපෑවා. එතැනදී වුණ දැන හැඳිනගැනීමෙන් පසුවත් ඇයගේත් මගේත් පණිවිඩ හුවමාරුව යාළුවන් ලෙස එලෙසම තිබුණා. ඔහොම අවුරුදු පහක් විතර හිටියා. පස්සේ දවසක් අපි දෙන්නා ගෝල්ෆේස් ගිහින් ඉස්සෝ වඩේ කෑවා. අපි එදා පැය තුනක් විතර එක එක දේවල් කතා කළා. අන්න ඒ ඉස්සෝ වඩේ කන ගමන් එදා වුණ කතාබහෙන් පස්සේ තව පිම්මක් පැනලා අපි දෙන්නගේ මිත්‍රත්වය ආදරයක් බවට හැරුණා. ඒක ඇත්තටම මම ඔයාට ආදරෙයි කිව්වට පස්සේ අනිත් පැත්තට මමත් ඔයාට ආදරෙයි කියනවා වගේ ප්‍රේම කතාවක් නෙවෙයි. ඊට වඩා හොඳ පැහැදිලි අවබෝධයක් අපි දෙන්නා අතරේ තියෙනවා. එරංදි කෞශල්‍යා
 

More News..