brand logo

සිරිකොතේ භූමි දෝෂ

15 October 2022

එජාපය අලුත් තැනක් හොයයි

එක්සත් ජාතික පක්ෂයේ මහ ගෙදර වන සිරිකොත ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේය. අසූව දශකයේ මුල ඒ බිමට සිරිකොත එන්නට පෙර එය පිහිටා තිබුණේ කොල්ලුපිටියේය. පක්ෂ මූලස්ථානය ගොඩ නගන්නට මුදල් විය පැහැදම් කළ ශ්‍රීමත් ජෝන් කොතලාවල සිය නම ඇසුරෙන් එජාප මූලස්ථානයට නම් තැබුවේ ‘සිරිකොත’ යනුවෙනි. ජේ.ආර්. යුගයේ කෝට්ටේට ආ සිරිකොතට නරක දසාවක් ළඟා වූයේ 1994 න් පසුවය. කෝට්ටේ රාජධානි බිමට අයත් බව පැවසෙන ඉඩමක පක්ෂ මූලස්ථානය සේම ඊට යාබදව ජාතික සේවක සංගම් කාර්යාලය ස්ථාපිත කරන ලදී. මෙම භූමිය පුරාවිද්‍යා භූමියක් බව පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ වරක සඳහන් කළහ. ඒ කතා කෙසේ වෙතත් එජාපය දිගින් දිගටම පරදින්නේ පක්ෂ මූලස්ථානයේ ඇති භූමි දෝෂයක් නිසා බව එජාප ඉහළ ස්ථරවල මතයක් වී තිබේ. මේ හේතුවෙන් රාජගිරියේ පක්ෂ මූලස්ථානය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ රැස්වීමක දී තීරණය විය. රනිල් අකිලට බෑ කියයි එම යෝජනාව ඉදිරිපත් කළේ පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම්ය. ‘‘රාජගිරියේ පිහිටි ජාතික වතු කම්කරු සංගමය තියෙන භූමිය ආයෝජකයෙකුට බදු දෙමු. මහල් කිහිපයක ගොඩනැගිල්ලක් හදලා එහි මහල් කිහිපයක අපි පක්ෂ මූලස්ථානය ස්ථාපිත කරමු.’’ ඔහුගේ යෝජනාව වූයේය. ඊට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. පන්ති සගයන්ගේ අලි කතා හැත්තෑපස් වැනි ජාතික නිදහස් දින උත්සවයේ පෙර සූදානම පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඊට අගමැති දිනේෂ් ගුණවර්ධනද එක්ව සිටියේය. අවශ්‍ය උපදෙස් දෙන විට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සංස්කෘතිකාංග සහ සංදර්ශන වැඩි කළ යුතු බවයි. ‘‘පරණ කෝරලේ හා දිසාවේ කොඩිත් ප්‍රදර්ශනය කළොත් හොඳයි. මොකද එක්සත් ජාතික පක්ෂයේ කොඩියත් ජාතික නිදහස් දින උත්සවයේ ප්‍රදර්ශනය වෙනවනේ.’‘ ජනාධිපතිවරයා කීවේ සිනහසෙමිනි. ‘‘ඒ කොහොමද’’ අගමැතිවරයා විමසුවේය. ‘‘ඔබ තුමාගේ ගමේ සීතාවක කොරලේ කොඩි කොළපාට හා මැද අලියෙක් ඉන්නවා.’’ යනුවෙන් ජනාධිපතිවරයා තම පන්ති සගයා වන දිනේෂ්ට කීවේ ඇඟට පතට නොදැනෙන අයුරිනි. ජී.එල්ලා ලොව මුල්ම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම දිනය වෙනුවෙන් උත්සව දෙකක් ගිය සතියේ පැවැත්විණි. එක් උත්සවයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. ඒ පිරිත් පිංකමකි. දෙවැනි උත්සවය පැවැත්වුණේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදීය. පක්ෂ මූලස්ථානයේ පැවැති පිංකමට පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු මන්ත්‍රිවරුන් එක්ව සිටියහ. පක්ෂයේ තීරණයට පටහැනිව ගොස් ඇමැතිධුර ගත් මන්ත්‍රිවරු අට දෙනා මෙම පිරිත් පිංකමට එක්ව සිටියේ නැත. හිටපු ජනාධිපතිවරයා සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසු මහා සංඝරත්නය අනුසාශනාව ආරම්භ කළහ. මෙම අවස්ථාවේ කිසිවකු නොසිතූ අයුරින් ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රිවරු පිරිසක්ද ඊට සහභාගි වූහ. දයාසිරිට දොස් එම මන්ත්‍රිවරුන්ද පිරිත් ඇසීමට එක් වූ අතර අනුශාසනාවේදී හුණුපිටිය ගංගාරාමාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාවක් දැඩි ලෙස විවේචනය කළහ. කොළඹ විශ්වවිද්‍යාලයට අයත් මුත්තයියා නේවාසිකාගාරය පිහිටි භූමියේ පිහිටි ගොඩනැගිලි කඩා දැමීම හා එම භූමිය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලය විද්‍යාර්ථයකු වූ දයාසිරි මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ දී කතා කර තිබුණි. එම කතාව විවේචනය කරමින් උන්වහන්සේ කියා සිටියේ මුත්තයියා නේවාසිකාගාරය පිහිටි භූමිය ගංගාරාමයට අයත් බවයි. පසුව එම ඉඩම විශ්වවිද්‍යාලයට දුන් බවත් එය නොදැන මන්ත්‍රිවරයා කරුණු දැක් වූ බව උන්වහන්සේ අවධාරණය කර සිටියහ. අනුශාසනාව අවසන් වීමෙන් පසු දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා එකිනෙකා වෙන වෙනම හමු වී කරුණු පැහැදිලි කරන්නට වූයේය. ‘‘මට පාර්ලිමේන්තුවේදී ඉතිරි ටික කියන්න බැරි වුණානේ. කතානායකතුමා වේලාව දුන්නේ නැහැනේ.’’ මන්ත්‍රිවරයා සඳහන් කළේය. චන්ද්‍රිකා මැතිනි බලයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජීවතුන් අතර සිටින දරුවන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක හා සුනේත්‍රා බණ්ඩාරනායක වෙනම ගුණ සමරු උත්සවයක් පැවැත්වූයේ ජාතික චිත්‍රපට සංස්ථාවේදීය. සිය මෑණියන්​ පිළිබඳව අනෝමා රාජකරුණා අධ්‍යක්ෂණය කළ ‘සිරිමාවෝ’ වාර්තා චිත්‍රපටය නැරැඹීමට ඔවුන් පැමිණියේ ඥාති හිතමිතුරන්ද සමගිනි. අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, කුමාර වෙල්ගම යන මන්ත්‍රිවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. සාගල මෛත්‍රිට අකමැති ද ඇමැති මණ්ඩල රැස්වීමට පෙර සඳුදා දහවල් ජනාධිපතිවරයා කටුනායක බලා ගියේ යහපාලන රජය සමයේ ආරම්භ කළ ඖෂධ නිෂ්පාදන කම්හලක් විවෘත කිරීමටය. එම උත්සවයට හිටපු සෞඛ්‍ය ඇමැතිවරු සියලු දෙනාම පැමිණ සිටියහ. උත්සවයට එක් වූ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට අසුන් ගැනීමට සිදුවුූයේ නිමල් සිරිපාලද සිල්වා ඇමැතිවරයා සහ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අතරය. ‘‘මටත් හොඳ තැනක තමයි ඉඳගන්න වෙන් කරලා තියෙන්නේ.’’ සාගල රත්නායක කීවේය. ‘‘ඇයි අපිත් එක්ක ඉඳගන්න කැමැති නැද්ද?’’ හිටපු ජනාධිපතිවරයා ඇසුවේ සාගර රත්නායක දෙස බලමිනි. ‘‘නැහැ යූ.එන්.පී. කාරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පතාක යෝදයෝ දෙන්නෙක් අතර මැද වාඩි වෙන නිසයි මම එහෙම ඇසුවේ.’’ ඔහු කීවේය. නියමිත අසුනේ ඉඳගත් සාගල රත්නායක ඇමැති නිමල් සිරිපාල දෙස හැරෙමින් ප්‍රකාශ කළේ ‘‘මගේ එහා පැත්තේ ඉන්නේ ඔබතුමාගේ නායකයා බවයි.’’ ඔව් නිමල් ඇමැතිතුමා තවම අපේ පක්ෂයේ මම තමයි එතුමාගේ නායකයා’’ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ උසාවියේදී කිය යුතු කරුණකි. මන්ද හිටපු ජනාධිපතිවරයා විසින් පක්ෂයේ තනතුරුවලින් තමන් ඉවත් කිරීම බල රහිත කරන ලෙස ඉල්ලා නිමල් සිරිපාලද සිල්වා ඇමැතිවරයා නඩු පවරා ඇති නිසාය. මෙම උත්සවයෙන් පසු ජනාධිපතිවරයා පිටත් වීමට සූදානම් වන විට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න සිටියේ කතාබහකය. මෙම ඖෂධ කර්මාන්ත ශාලාව ඉදි කිරීමට ඔවුහු දෙදෙනාම පුරෝගාමී වූහ. එම ස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ‘‘යහපාලන ආණ්ඩුව කාළේ අපි කොච්චර වැඩ කළාද? නමුත් එළිපිට ගහගන්න වැඩේ තමයි ජනප්‍රිය වුණේ.’‘ යැයි කීවේය. කරු කැබිනෙට්ටුවට කටුනායක සංචාරයෙන් පසු ජනාධිපතිවරයා පැමිණියේ කැබිනට් මණ්ඩල රැස්වීමටය. ඊට අමුත්තෝ දෙදෙනකුද එක්ව සිටියහ. හිටපු කතානායක කරු ජයසූරිය හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් එම අමුත්තන් වූහ. ජන සභා පිහිටුවීමට ජනාධිපතිවරයා භාර දී ඇත්තේ ඔවුන් දෙදෙනාටය. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ කිරීමට පෙර ඔවුන් දෙදෙනා ජනසභා පිළිබඳව ඇමැති මණ්ඩලය දැනුවත් කළහ. සුරාවට නුරාවට ඩලස්ගෙන් කොන්දේසි ඩලස් අලහප්පෙරුම නායකත්වය දෙන නිදහස ජනතා සභාවේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ නාවල කොස්වත්තේය. මෙම කාර්යාලය ආරම්භ කරන විට නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා කොන්දේසි දෙකක් පනවන ලදී. ඒ සිය මන්ත්‍රිවරුන්ට සහ කාර්ය මණ්ඩලයටය. ‘‘සුරාව සහ නුරාව මෙම ස්ථානයේ බැහැ.’’ නායකයා පැනවූ කොන්දේසි දෙකය. නමුත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා මෙම සතියේදී මාධ්‍යවේදීන් පිරිසක් සමග කාර්යාලයේ සුහද කතාබහක නිරත වෙමින් සිටියහ. එම ස්ථානයට ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා හා උපුල් ගලප්පත්ති මන්ත්‍රිවරයා ඇතුළු තරුණයන් පිරිසක් පැමිණියේ නොසිතූ අයුරිනි. ‘‘ලොක්කා මම ඔයාගේ කොන්දේසියක් කැඩුවා. මම අඩියක් ගහලා ආවේ.’’ යැයි ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා කියා සිටියේ ඇඟට පතට නොදැනෙන අයුරිනි. ඊට කිසිවක් නොකියූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා ‘‘දැන් ගිය වැඩේ හරිද’’ ඇසුවේය. ‘‘ඔව් මමයි උපුලුයි ගියේ එක වාහනේ. මේකා පාර්ලිමේන්තුව මැදින් දාලා මාදිවෙල පාරට ගියානේ. මම අවුරුදු දහයක්වත් කළේ නැති වැඩක් මේකා අවුරුදු දෙකහමාරෙන් කළානේ.’’ ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා කීවේය. එම ප්‍රකාශයත් සමග ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාද පාර්ලිමේන්තු පාරේ අවේලාවේ ගොස් වූ සිදුවීමක් සිහිපත් කළේය. ‘‘මමයි ප්‍රදිපයි ජොගින් කරන්න යන්නෙත් ඔය පාරේ අර නුග ගහ ළඟ කළුවරේ ඇවිදින කොට නයෙකුගෙන් බේරුණේ අනූ නවයෙන්. ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම් එය ආසන්නම දැවී යාමක්.’’ මන්ත්‍රිවරයා කීවේය. පළාත් පාලන මැතිවරණයට පෙර මන්ත්‍රිවරු හරි අඩකින් අඩු කිරීමේ තීරණය ව්‍යර්ථ කිරීම සඳහා නිදහස ජනතා සභාව සාකච්ඡාවක් පැවැත්වීය. අවසාන තීන්දුව වූයේ මැතිවරණ කොමිසම හමු වීම සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ දැනුවත් කිරීමටය. ඒකත් කපුටගෙ වැඩක්ලු ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රිවරු මැතිවරණ කොමිසමට ගියේ ඉතිහාසයේ දුන් නඩු තීන්දු හයක්ද සමගිනි. එම නඩු තීන්දු මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රිවරයා සාකච්ඡාවේදී එකිනෙක ඉදිරිපත් කරන විට කොමිෂන් සභාවේ නිලධාරීහුද වික්ෂිප්ත වූහ. ‘‘මැතිවරණ ගැන ජනාධිපතිවරයා කොමිසම සමග කිසිවක් සාකච්ඡා කර නැහැ.’’ නිලධාරීහු කීහ. ‘‘කාගේ උවමනාවටද මේවා කරන්න යන්නේ.’’ ජී.එල්. පීරිස් මන්ත්‍රිවරයා විමසන විට ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා පැවසුවේ ‘‘අර උඩ කළු පාට කුරුල්ලෙක් ඉන්නේ. එයාගේ උවමනාවට තමයි කරන්නේ.’’ යනුවෙනි. ඉන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡාව කඩිනමින් ආරම්භ කිරීමට තීරණය විය. සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කළේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා විසිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට එක් නොවන බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩවලට වේලාව වෙන් කර තිබූ බැවිනි. ‘‘ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයාටද ආරාධනා කෙරිණි.’’ මේකට අපි කැමතියි. නමුත් කෙටි දැනුම් දීමක් නිසා පක්ෂයේ අනෙක් අයගෙන් කරුණු විමසන්න වේලාව මදි’’ ඔහුගේ පිළිතුර විය. පක්ෂ දැනුවත් කිරීම කෙරුණේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි හෝටලයකදීය. පක්ෂ නායකයින් පැමිණෙන තුරු පැමිණ සිටි පිරිස තේ පැන් සංග්‍රහයට සහභාගි වූහ. එම අවස්ථාවේ දී චම්පික රණවක හා කුමාර වෙල්ගම මන්ත්‍රිවරුද එක් වූයේ ‘‘හොඳම වේලාවට අපි ආවේ.’’ යනුවෙන් පවසමිනි. රැස්වීම ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී විදුලිය කැපුණි. විදුලි පද්ධතිය ජෙනරේටයට මාරු කිරීමට සුළු වේලාවක් ගත වන විට ‘‘දැන් ඔක්කොම කරුවලේ තමයි ඉන්න වෙන්නේ. මම විදුලිබල ඇමැති කාලේ ලයිට් කැපුවම ඩලාස් ගාලා ලයිට් ගියා කියලා කාඩ් එකකුත් වැදුණා.’’ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා අතීතයද සිහිපත් කළේය. මැතිවරණ කල් දැමීම ගැන පක්ෂ නායකයින් සාකච්ඡා කළ අතර වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයාගේ අදහස වූයේ ‘‘අපි සියලු දෙනාම ස්වයං විවේචනයක් කළ යුතු බවයි.’’ මැතිවරණ කල් දැමීමේ යේජනාවලට අපිත් අත ඉස්සුවා.’’ මන්ත්‍රිවරයා තර්ක කළේය. රැස්වීමේ දී එම අදහස අසංක නවරත්න සහ ජයන්ත සමරවීර යන මන්ත්‍රිවරුද අනුමත කිරීම විශේෂත්වයකි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු මෙම රැස්වීමට පැමිණියේ ප්‍රමාදවය. ඒ මාර්ගවල රථවාහන තදබදයට අසු වීම නිසාය. රැස්වීමට පැමිණියේ එම්. සුමන්තිරන් හා රාසමානික්කම් මන්ත්‍රිවරුය. ‘‘විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙහෙම එකතු වුණාට ආණ්ඩු විරෝධී වැඩවලට සියලු දෙනා එකතු නොවීම ගැන රාසමානික්කම් මන්ත්‍රිවරයා දැඩි විවේචනයක් එල්ල කළේය. හිතුවටත් වඩා රැස්වීම හොඳට සංවිධානය කර තිබූ බව සඳහන් කරමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා වැලඳ ගෙන සිය ප්‍රසාදය පල කළේය. ‘‘දැන් වැඩේ ඉවරයි. ඩිලාන් පාන්දර වෙනකම් මෙතැන ඉන්න ඕනි නැහැනේ.’’ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා කීවේ තමන් පැනවූ කොන්දේසි දෙකද සිහිපත් කරමිනි. අපේ පරණ නායකයා නම් ඔය දෙකට කොන්දේසි පැනවූයේ නැහැ. කීවේ ගමේ නැත්නම් පත්තරේ කොලම් එකේ හරි ඉන්න ඕනි කොන්දේසිය විතරයි. මොකද එයා කොලම් එක විතරයි බලන්නේ.’’ ඩිලාන් කීවේ අනෙක් මන්ත්‍රිවරුන්ටද නායකයින්ගේ වෙනස පහදා දෙමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම සතියේ ගත කළේ මහියංගණයේ සහ මහනුවරය. සිය බිරිඳ වන ජලනි ප්‍රේමදාස සංවිධානය කළ අටමහ කුසල් කඨින පිංකමටද ඔහු සහභාගි වූයේය. එය පැවැත්වුණේ මහියංගණය රජ මහා විහාරයේය. පිංකමේදී මහියංගණ පන්සලේ නායක හිමිපාණන් ප්‍රකාශ කළේ රටකට වැඩ කරන අවංක නායකයින් අවශ්‍ය බවයි. කඨින පිංකමට සමගාමීව පිරිත් පිංකමක්ද පැවැති අතර ඊට සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු රැසක් එක්ව සිටියහ. සුජීව සජිත් සමග එම අවස්ථාවට දේශපාලන වේදිකාවේ දක්නට නොලැබෙන චරිතයක් ද පැමිණියේය. ඒ හිටපු ඇමැති සුජීව සේනසිංහය. ‘‘දැන් ඉතින් නිහඬව සිටියා ඇති. වැඩ පටන් ගමු.’’ විපක්ෂ නායකවරයා යළි දේශපාලනයට පැමිණෙන ලෙසට ඔහුට ආරාධනා කළේය. එම ඉල්ලීම ඔහුද පිළිගත්තේ හිස වනමිනි. රාජිත එරාන් මැණික් වෙන්දේසියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රි රාජිත සේනාරත්නගේ මැතිවරණ කොට්ඨාසය වන්නේ බේරුවලය. රත්නපුරය මෙන් බේරුවලද මැණික්වලට ප්‍රසිද්ධය. බේරුවල මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් ද පිහිටා තිබේ. මෙම මධ්‍යස්ථානයට රාජිත සේනාරත්න හා එරාන් වික්‍රමරත්න යන මන්ත්‍රිවරු මෙම සතියේ ගොඩවන්නේ වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීමකටය. මැණික් කර්මාන්තය මුහුණ දී ඇති ගැටලු ගැන මෙහිදී කතා කළ අතර අපනයනය කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳවද ඔවුහු මන්ත්‍රිවරුන් දැනුවත් කළහ. ඇතිලිකරණයට අකමැති මහින්ද මේ අතර කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මෙම සතියේ දී හම්බන්තොට බලා ගියේ ගොවින් හමුවීමටය. වගාවන් වන සතුන්ගෙන් බේරා ගැනීම පිළිබඳව සාකච්ඡා කළ මෙම ගොවි හමුවේ දී ඇමැතිවරයා ප්‍රකාශ කළේ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසයි. එවිට ගොවීන් ප්‍රකාශ කර ඇත්තේ ‘‘එකම විසඳුම’’ ඇතිලිකරණය බවයි. මෙම විසඳුම ගැන නිරුත්තර වූ ඇමැතිවරයා ඇතිලිකරණය ගැන විමසුවේය. ඇතිලිකරණය යනුවෙන් ගොවින් ප්‍රකාශ කර ඇත්තේ වන සතුන් මරා මස් ඇතිලියේ පිසීමය. ‘‘මම ඕවාට කැමති නැහැ. හානිය අවම කර ගමු.’’ ඇමැතිවරයාගේ යෝජනාව වූයේය. බල්ලගෙන් ඇමැති බේරා ගන්න වෙඩි රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ යාපනය බලා පිටත්ව ගියේ තල් රා ප්‍රචලිත කිරීම සඳහාය. තල් රා ප්‍රචලිත කිරීම සඳහා මාධ්‍ය හමුවක්ද පැවැත් වූ ඔහු කියා සිටියේ ‘‘දකුණෙන් උතුරට යන අයට තල් රා බොන්න වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි. මාධ්‍ය හමුවෙන් පසු රාජ්‍ය ඇමැතිවරයා එල්.ටී.ටී.ඊ. නායකයා ලෙස සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගමට ගියේය. වැල්වැටිතුරේ ප්‍රදේශයේ නිවසකට ගිය ඇමැතිවරයාට වූයේ අකරතැබ්බයකි. බල්ලෙකු පිටුපසින් බුරමින් පැනීම නිසා ඇමැතිවරයා අපහසුතාවට පත් වූයේය. වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් බල්ලා පලවා හැරීම සඳහා වෙඩි තබා තිබේ. ඒ ඇමැතිවරයා ආරක්ෂා කර ගැනීම සඳහාය. උදයජීව
 

More News..