brand logo

සිරසට එරෙහි වාරණය නැවත දීර්ඝ කරයි

13 January 2021

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපතිවරයාට අපහාසාත්මක වන පුවත් විකාශය කිරීම වළක්වාලමින් MTV චැනල් පුද්ගලික සමාගම වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 18 වනදා දක්වා තවදුරටත්  දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ. එම නඩුව අද (13) කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා හමුවේ කැඳවනු ලැබීය. එහිදී අතිරේක දිසා විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශකළේ මෙම නඩුව තමන් විමසීම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වය විරෝධය පළ කරන හෙයින් තමා මෙම නඩුව විමසීමෙන් ඉවත්වන බවය. ඒ අනුව නඩු විමසීම සම්බන්ධයෙන් ඉදිරි පියවර තීරණය කිරීම සඳහා එය කොළඹ දිසා විනිසුරු ශාන්ත ගොඩවෙල මහතා හමුවට ඉදිරිපත් කෙරුණි. එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව තමා විසින්  විභාගයට ගන්නේ ද නැද්ද යන තීරණය මේ මස 18 වනදා ප්‍රකාශයට පත් කරන බවය. ඒ අනුව එදින දක්වා දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන බව ද විනිසුරුවරයා සඳහන් කළේය. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්  සමාගම සහ එහි සභාපති දිලිත් ජයවීර මහතා විසින් මෙම නඩුව ගොනුකර තිබේ. පැමිණිලිකරුවන් සඳහන් කර ඇත්තේ කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිත කරන "රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල" ආනයනය කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර MTV චැනල් පුද්ගලික සමාගම විසින් සිය ප්‍රවෘත්ති විකාශ ඔස්සේ අසත්‍ය සහ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බවය. ඉකුත් නොවැම්බර් මස 11, 13, 16 සහ 19 යන දිනවල ප්‍රවෘත්ති විකාශ ඔස්සේ මෙම "රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල" ආනයනය කිරීම සම්බන්ධයෙන් ද්වේෂ සහගත අරමුණකින්  වගඋත්තරකාර ආයතනය විසින් අසත්‍ය, ගොතන ලද සහ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බව පැමිණිලිකරුවෝ කියා සිටිති. ඒ තුළින් සිය කීර්තියට දැඩි හානියක් සිදුවූ බව ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව තම ආයතනයේ කීර්තියට හානි සිදුකළ හැකි අසත්‍ය සහ ගොතන ලද පුවත් විකාශය කිරීම වළක්වාලීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත්, සිය කීර්තියට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල කොළඹ දිසා අධිකරණය හමුවේ  ගොනුකළේය.
 

More News..