brand logo

සිරකරුවන් දෙස මානූෂීයව බලන්න

10 December 2020

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දී ඇත. බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සහ ගැටලු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු සඳහා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටිති. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි. බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිරගෙවල් ඉදිකිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත. විදෙස් රටවල සිර මැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය. රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප්‍රමාදයන් නිසා අතිවිශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරතව සිටින බවත් රේගුව, පොලීසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර පවතින ගැටලු නිරාකරණයට පියවර ගත යුතු යැයි ද ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.
 

More News..