brand logo

සිරකරගෙන සිටි පක්ෂීන් 300ක් කලාවැව ජාතික උද්‍යානයට

04 September 2018

පල්ලේකාගම ගුරුළුපෙත්තාගම පදිංචි ජාවාරම්කරුවෙකු විසින් උගුල් අටවා අල්ලා සිරකරගෙන සිටි විවිධ වර්ගයේ පක්ෂීන් (300ක්) කලාවැව ජාතික උද්‍යානයට මුදා හැරීමට කැකිරාව ගනේවල්පොල වනජීවී නිලධාරීහු අද කටයුතු කළහ. ඒ කැකිරාව දිසා මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතාගේ නියෝගයකට අනුවය. හිංසනයට ලක්වූ කුරුල්ලන් හත් දෙනෙකු කූඩු තුළම මියගොස් සිටි බවද අධිකරණයට දැන්වූ වනජීවී නිලධාරීන් පැවසුවේ සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ කුරුල්ලන් අල්ලා කොළඹ ප්‍රදේශයට අලෙවි කොට ඇති බවයි. සැකකරුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා වරද පිළිගත් සැකකරුට චෝදනා පත්‍ර ගොනු කරන ලෙසද වනජීවී නිලධාරීන්ට නියෝග කළේය. කැකිරාව ඉපලෝගම ඇතුළු ප්‍රදේශවල කුඹුරුවල වී කෑමට පැමිණෙන මාල ගිරවු බටු ගිරවු ගොයම් කුරුල්ලන් හා වී කුරුල්ලන් අල්ලා ගෙන කොළඹට ප්‍රවාහනය කරන රහසිගත ජාවාරමක් සිදුවන බවට ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව පසුගිය (01) දා රාත්‍රීයේ වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
 

More News..