brand logo

සියොන් දේවස්ථානයේ ළමා ගීතිකා කණ්ඩායම මොහොමඩ් නසාර් බිලිගත් කතාව

05 May 2019

කුරුසගත වූ ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය ලැබූ ‘පාස්කු දවසේ’ තමන්ගේ දරුවන් මරණය විසින් බිලිගනීවියැයි නොසිතූ මව්වරුන් පියවරුන් බොහෝ දෙනෙකු පසුගිය දෙසතිය ගෙවා දැමූ හැටි දන්නේ ‘දෙවියන් ම’ පමණි. එක් අම්මා කෙනෙකු එදා පාන්දර තමන්ගේ දරුවන් දෙදෙනා පාස්කු දේව මෙහෙයට පල්ලියට යවා තිබුණේ, බැණ තරවටු කරමිනි. අද දවසේ ඒ අම්මා වඩාත්ම පසුතැවෙන්නී, නින්දේ සිටි දරුවන් අවදිකර මරණයට යැව්වේ තමා බව නිතර දෙවේලේ සිහිපත් කරමිනි. වයස අවුරුදු තුනක් වූ තවත් දරුවෙකු එදා උදේ පාස්කු පූජාවට යැවීම සඳහා සූදානම් කර තිබුණේ එම දරුවාගේ මිත්තණිය විසිනි. ‘‘දරුවා අන්දවල පවුඩර් දාලා ලෑස්ති කරල ඉවර වෙලා ගෙදරින් එළියට බස්සන වෙලාවෙ කකුල් පටලැවිලා වැටුණා... දණහිසත් ටිකක් හීරුණු හින්දා කවදාවත් නැතුව ‘පල්ලි යන්න බෑ’ කියල ඇඬුවා... ඒ වෙලාවෙ එයාව නවත්තගත්තනං එයා තාමත් ඉන්නවා...’’ යි කියමින් ඒ මිත්තණිය ළයෙහි අත් ගසාගෙන වැලපෙන්නී ය. තවත් දින කිහිපයකින් 13 වැනි උපන්දිනය සමරන්නට සිටි ස්නේහා සාවින්දි නමැති තවත් දියණියක් පූජාවට සහභාගි වී තිබුණේ, කලින් දවසේ ගීතිකා පවා පුරුදු පුහුණුවීමෙන් අනතුරුවයි. මරාගෙන මැරෙන බෝම්බකරුවා ඇයට ඇගේ 13 වැනි උපන්දිනය සැමරීමට අවස්ථාවක් දුන්නේ නැත. එකවර ළමයින් දහතුන්දෙනෙකුට මරු කැඳවමින් දරුණුතම ව්‍යසනය සිදුවී තිබුණේ, මඩකලපුව සියොන් දේවස්ථානයේදී ය. එහිදී මියගිය සමස්ත සංඛ්‍යාව 29 ක් වන විට, ඉන් 13 දෙනෙකුම දරුවන් විය. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, බෝම්බය පුපුරා යන අවස්ථාවේ දී ගීතිකා කීම සඳහා එම දරුවන් අල්තාරය අසලට රැස්ව සිටි බවත්, ඒ නිසා ඔවුන් සියලු දෙනාම එක්වර බෝම්බයට ගොදුරුවූ බවත් ය. මේ දරුවන් සියලු දෙනා ම සියොන් දේවස්ථානයේ ඉරිදා දහම්පාසලේ දරුවන් වන අතර, බෝම්බය පුපුරායාමට මඳ වේලාවකට කලින්, ඔවුන් සියලු දෙනාම කවාකාරව රැස් වී ඉටිපන්දම් පත්තු කරමින් ගීතිකා ගයන ආකාරය දැක්වෙන වීඩියෝපටයක් එදින පල්ලියේ දසුන් රූගත කළ කැමරාවක සටහන්ව තිබේ. යළි යළිත් එකී දර්ශන පෙළ නරඹන ඔවුන්ගේ මව්පිය ඥාති හිතමිත්‍රාදීන්ට කුමක් හිතෙනවා ඇද්ද...? අවුරුදු 13 ක් වයස් වූ ජෝන් ගේ මව ඉස්තෝප්පුවට වී මිදුලේ සවි කර තිබෙන පැසි පන්දු දැල සුළඟට එහා මෙහා වන ආකාරය දෙස නිසොල්මනේ බලා හිඳී. ඇය පවසන්නේ ‘‘හැමදාම හවසට පුතාමෙතනට වෙලා බාස්කට් බෝල් ප්‍රැක්ටිස් කරනවා. එතකොට මමත්මෙ තනට වෙලා බලාගෙන ඉන්නවා...’’ යනුවෙනි. දෙදරු පියෙකු වන රමේෂ් මඩකලපුව දේවස්ථානයේ සිදුවූ ව්‍යසනය යම්තාක් දුරට හෝ මැඩපවත්වාගත් පුද්ගලයා ය. දේවස්ථානයට ඇතුළුවන බෝම්බකරු ගැනත්, ඔහුගේ පිටේ තිබුණු බෑගය ගැනත්සැ ක සිතූ රමේෂ් ඔහු දේවස්ථානය ඇතුළට ඒම වැළැක්වීමට උත්සහ කරමින් සිටියේ ය. බෝම්බකරු බෝම්බය පුපුරුවාගත්තේ එහිදී ය. රමේෂ්ගේ බිරිඳ ක්‍රිෂාන්ති පවසන්නේ, මෙම ප්‍රහාරය හමුවේ රමේෂ්මි යගියත්, ඔහු නිසා සිද්ධ වූ ජීවිත හානිය යම් පමණක් හෝ අඩුවන්නට ඇති බවයි. මඩකලපුවේ තවමත් ලෙල දෙමින් තිබෙන බැනර වල තිබෙන පොඩිත්තන්ගේ මුහුණු යළි කිසිදිනෙක සැබෑවට දකින්නට නොලැබෙනු ඇත. එකම පවුලේ සහෝදරයා සහෝදරිය මේ වන විට එකම වලක මිහිදන්ව සිටී. 13 හැවිරිදි ෂැරොන් ශාන්තකුමාර් සහ 12 හැවිරිදි සාරා ශාන්තකුමාර් ද එවන් අයියා - නංගී සහෝදර යුගලයකි. ඔවුන් දෙදෙනාගේ අම්මා ජීවතුන් අතර සිටින නමුත් මියගියා වැනි ය. ඒ අම්මාට මේ දෙසතියට ම නිවී සැනසිල්ලේ එක පැයක නින්දක්ලැ බී නැත. ‘‘හැමවෙලේම දරුවන් දෙන්නාගේ මූණු මැවි මැවී පේනවා... ඇස්දෙක පියාගත්තම හොඳටම පේනවා...’’ යැයි ඒ අම්මා පවසන්නීය. හදිසියේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් තමන්ගේ දරුවන් තුන්දෙනාම නැතිවූ බව අදහාගත නොහෙන මීගමුවේ මවක් අඬා වැලපෙන්නේ, ‘‘ඔයාල තුන්දෙනා එක එක විහිළු කර කර හැමදාම මාව රවට්ටනවා... හැංගි මුත්තං කර කර ඉන්නෙ නැතිව මා ළඟට දුවගෙන එන්නැ...’’ යි කියමිනි. එදා පාස්කු දේව මෙහෙය සඳහා කටුවපිටිය පල්ලියට ගිය එක්තරා තාත්තෙකුට දියණියන් දෙදෙනා සමග සිය බිරිඳ ද අහිමි වී තිබිණි. වැඩිමහල් දියණිය ප්‍රවීෂාගේ වයස අවුරුදු 13 කි. අනෙක් දියණිය හිමායා ගේ වයස අවුරුදු 10 කි. ප්‍රදීප් තුෂන්ත වන මේ තාත්තාට කිසිවක්ම කියාගත නොහැකි ය. ඔහුගේ කටට එකදු වචනයක්වත් නොඑන අතර දෑස් පුරා නොනවත්වා ගලන කඳුළින් කම්මුල් පෙඟී ඇත. කටුවපිටිය පල්ලියේ බෝම්බයෙන් 93 දෙනෙකු ඝාතනයට ලක් වූ අතර ඉන් 24 දෙනෙකු ම දරුවන් ය. ඒ අතර මාස 7 ක සහ මාස 11 ක සිඟිත්තන් දෙදෙනෙකු ද සිටී. මිය යන විට ඉඳුල් බිඳක්වත් කට ගා නොතිබුණු මේ බිලිඳු දරුවන් බඩගිනි වූ වෙලාවට මව් කිරි බිංදුවක් ඉල්ලා හඬාවැටීමට මිස වෙන කිසි දෙයක් කියන්නට කරන්නට දැන සිටියේ නැත. එහෙත් ඒ කුරිරු ත්‍රස්තවාදීන්ට මේ කුඩා සිඟිත්තන් ‘ඉලක්ක වූ හැටි’ පුදුම ය. එක් අතකින් ‘පුදුමයක්’ ද නොවේ. ඔවුන්ට අනුව මෙලොව සෑදී ඇත්තේ, ඔවුන්ගේ දෙවියන්ගේ අනුගාමිකයින් සහ ඔවුන්ගේ දෙවියන්ගේ අනුගාමිකයින් නොවන අයගෙනි. ඔවුන්ගේ ධර්මයට, දර්ශනයට වැඩිහිටියා ද, දරුවා ද, මහල්ලා ද, අබ්බගාතයා ද යනුවෙන් වෙනසක් නැති බැවිනි. නොබෝදා එල්ල වූ ඒ දරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවන්ගේ ප්‍රමාණය ද ඉහළ ය. එදින කොච්චිකඩේ පල්ලියේ සහ කොළඹ සංචාරක හෝටල් තුනේ සිටියදී තුවාල ලැබූ දරුවන් ඇතුළත් කරනු ලැබුවේ, බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ය. සති දෙකක් ඇවෑමෙන්, මූලික ප්‍රතිකාර ලබා අවසන් වූ දරුවන් වැඩි දෙනෙක් ගෙවල් දොරවල් බලා ගොස් තිබුණත්, තවත් කිහිප දෙනෙක් තවමත් එහි රැඳී සිටී. එකී බොහෝ දරුවන්ට වැඩිපුරම දරාගත නොහැකි වී තිබෙන්නේ, ශාරීරික තුවාල නොව, මානසික තුවාල ය. කොටින් ම ඔවුන්ගෙන් වැඩිදෙනෙක් එදා සිදුවූ දේ ගැන කිසිවක් ම නොදනී. ඔවුන් දන්නේ, මහා ශබ්දයක් සමග ගොඩනැගිලි, පුටු මේස කඩා වැටුණු බවත්, මිනිසුන් මැරී වැටුණු බවත් පමණි. ඔවුන්ගේ අත පයවල සහ ඇඟපතේ තැන් තැන්වල තිබෙන තුවාල කොහොම ඇතිවුණාදැ’යි කියන්නට ඔවුන් කිසිවෙකුත් නොදනී. ‘‘ මට තුවාල වෙලා තියෙන්නෙ මං වැටිල ද... අනේ ඇන්ටි මට කිසි දෙයක් මතක නෑනෙ... ඒ සද්දෙන් පස්සෙ මට මගේ කන් දෙක ඇහෙන්නෙ නැතුව ගියා...’’ එක් දරුවෙකු හෙදියකට කියා තිබුණේ එසේය. හෙදිය අප සමග පැවසුවේ, බෝම්බය පුපුරන වෙලාවේ ඇති වූ කම්පනය නිසා ඒ කුඩා පුතුගේ අභ්‍යන්තර කන්වලට හානි වී ඇති බවයි. ‘‘මේ දරුවගෙ අතපයේ තුවාල නං සනීප වෙයි... ඒත් සමහරවිට කන්දෙක නං ඇහෙන්නෙ නැති වෙයි...’’ ළමා රෝහලේ එක්තරා විශේෂ වාට්ටුවක තිබෙන කුඩා තොටිල්ලක් මත සිඟිති දියණියක් උඩුබැලිව සිටී. ඇගේ වයස මාස 4 කි. දෑත් සහ දෙපා පිච්චී ඇත. රෝහල් අධ්‍යක්ෂවරයා අප සමග පැවසූ ආකාරයට මේ සිඟිත්තිය ඔවුන් අතට පත් වී තිබුණේ, භාරකරුවෙකු පවා නැතිව ය. එදා උදේ සිඟිත්තිය ද රැගෙන කොච්චිකඩේ පල්ලියට ගිය අම්මාත්, තාත්තාත් දරුණු තුවාල ලැබ, එමෙන්ම සිහියක් පතක් නැතිව ජාතික රෝහලට යැවී තිබුණු කොට, මේ සිඟිත්තියට කුමන භාරකරුවෙක් ද...? ‘‘මේ දරුවා අපට ලැබුණු වෙලාවෙ ඉඳන් අපි විශේෂ සැලකිල්ලකින් ප්‍රතිකාර කළා... අත් පා පිච්චිලා තිබුණා වුණත්, හොඳ වෙලාවට අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි වෙලා තිබුණෙ නෑ... දැන්නම් එයා සුව අතට හැරෙමින් තියෙනවා... වාසනාවට එයාගෙ අම්මත්, තාත්තත් දෙන්නම ජීවතුන් අතර ඉන්නවා... ඒ දෙන්නම දැන් ඇවිත් මේ දරුවා බලල යනවා...’’ රෝහලේ වෛද්‍යවරෙයකු අප සමග පැවසුවේ ය. පාස්කු දවසේ උදේ කොළඹ හෝටල්වල සිදුවූ බෝම්බ පිපිරීම්වලින් ඝාතනය වූයේ එදින ‘පාස්කු පාතරාසය’ භුක්ති විඳිමින් සිටි අයයි. ඝාතනය වූ විදේශිකයින් අතර ද කුඩා දරුවන් බොහෝදෙනෙකු සිටියේ ය. බංගලාදේශයේ ‘සායන් චෞද්‍රි’ නමැති 8 හැවිරිදි දරුවා ද ඝාතනය වූ විදේශික දරුවන්ගෙන් කෙනෙකි. ‘සායන්’ ගේ සීයා බංග්ලාදේශයේ අවාමි ලීගය නම් පක්ෂයේ නායකයා වූ අතර, එරට අගමැතිනි ෂීක් හෂීනාගේ ද ඥාති මුනුබුරෙකු විය. ‘සායන්’ කෙටි නිවාඩුවක් සඳහා සිය දෙමාපියන් ද සමග ලංකාවට පැමිණ තිබුණේ, දින කිහිපයක සංචාරයකටයි. ඒ කෙටි සංචාරය අතරතුර ඉතා සතුටින් සහ කෙළිදෙළින් ගත කළ ‘සායන්’ සුපිරි හෝටලයක් තුළ දී සිය ජීවන සංචාරය ම නිමා කළේය. දෙවියන්ගේ නාමයෙන් සියල්ල විනාශ කරන්නට පිළිණ දී තිබෙන්නේ අනුන්ගේ ළමයින් පමණක් නොව, තමන්ගේ ළමයින් ද බිලිගනිමින් බව පෙනෙන්නේ, නොබෝදා සයින්දමරුදු ප්‍රදේශයේ සිදු වූ පුපුරවා ගැනීම්වලිනි. එහිදී ත්‍රස්තවාදීන් විසින් කරන ලද පිපිරවීම්වලදී ඔවුන්ගේ ම දරුවන් 6 දෙනෙකු ද මිය ගොස් තිබුණි. මේ කුඩා දරුවන් ද තමන් සිය ජීවිතය කැප කළේ කුමක් වෙනුවෙන් ද කියා නොදනී. මෙකී ත්‍රස්තවාදී ව්‍යාපාරයේ නායකයාගේ දියණිය යැයි කියන අවුරුදු හතරේ සිඟිත්තිය පිපිරවීම් සිදුවූ නිවසේ පැය ගණනාවක් හඬමින් සිට හමුදාව විසින් මුදාගැනුණු අයුරු පෙනිණි. ඒ පුංචි දියණිය ද තාමත් සිටින්නේ රෝහලේ ය. කටුවපිටිය පල්ලිය තුළ මරාගෙන මැරුණු ත්‍රස්තවාදියා , දේවස්ථානය දෙසට එන විට, ඉන් පිටව යන සිඟිති දියණියකගේ ඇඟේ වැදී නොවැදී යන අයුරු සී.සී.ටී.වී. දර්ශනවලින් පෙනේ. ඒ සිඟිති දියණිය එදින පල්ලිය තුළ ඉන්නම බැරි බව කියමින් හඬාවැටෙද්දී ඇගේ මව්පියන්ට ඇය සහ ඇගේ මල්ලීත් රැගෙන පල්ලියෙන් පිටතට පැමිණීමට සිදුවී තිබේ. ‘‘පල්ලිය ඇතුලෙ රස්නෙ නිසා බබා දිගටම අඬපු හින්දයි අපි පල්ලියෙන් එළියට ආවෙ... ඒ ටිකට තමයි පල්ලිය ඇතුළෙ බෝම්බෙ පිපිරුණේ...’’ යැයි ඒ සිඟිති දියණියගේ මව්පියන් පවසයි. කුමක් හෝ ආශ්චර්යයකින් ඒ සිඟිති දියණිය සිය පවුලම ඒ කුරිරු බෝම්බයෙන් ගලවාගෙන තිබුණු නමුත් එකී මහා ව්‍යසනය ඒ වන විටත් දරුවන් සහ වැඩිහිටියන් පවුල් පිටින් මරු තුරුලට යවා තිබුණි. බෝම්බවලට ගොදුරු වූවන් ගැනත්, මේ පිළිබඳ පුවත් රූපවාහිනියෙන්වත් අහන දකින අපේ රටේ හැම කුඩා දරුවෙකුම මේ මොහොත ගෙවන්නේ මහත් භීතියකින් ඇළලී ය. බොහෝ දරුවන් කළුවරට බය වී සිටී. කුඩා සද්දයකට පවා තිගැස්සෙමින් සිටී. තේවත්ත පල්ලියේ ගායක කණ්ඩායම නියෝජනය කරන කුඩා පුතෙක්, මේ පුවත් පිළිබඳ කම්පනය දරාගත නොහී, සති දෙකක් තිස්සේ හැම රෑකම සිහිනයෙන් බය වී කෑගසන බව ඔහුගේ අම්මා අප සමග පැවසුවා ය. ඇතැම් දරුවන් නැවත පාසල් යන්නට බය බව කියයි. පාස්කු දවසේ ත්‍රස්ත ප්‍රහාරය කුඩා දරුවන් බොහෝ දෙනෙකු මරණයට පත් කළා පමණක් නොව; බොහෝ දෙනෙකු තුවාලකරුවන් බවට ද සදාකාලික ආබාධිතයින් බවට ද පත් කළේ ය. මේ රටේ ජීවත්වන සෑම දරුවෙකුම පාහේ සැකෙන් බියෙන් අවිශ්වාසයෙන් පෙළුවේ ය. වඩාත්ම කනගාටුදායක වන්නේ, මේ කුඩා අහිංසකයින්ගෙන් වැඩිදෙනෙක් තිස් අවුරුදු යුද්ධයක් අවසන උදා වූ ‘සාමයේ දශකයේ’ දරුවන් වීම ය. අප නම් දෙවියන් දකින්නේ දරුවන්ගේ මුහුණිනි. අප හදවත් නිවන්නේ සනහන්නේ සතපවන්නේ දරුවන් ය. එපමණක් නොව, හින්දු කතෝලික ආදී ධර්මයන් පවසන ආකාරයට දෙවියන් බොහෝ විට දර්ශනය වන්නේ ද දරුවන් ලෙසිනි. එහෙව් දරුවන් මරා දමමින් දෙවියන් දැකිය හැක්කේ කාට ද...? සුරේඛා සමරසේන
 

More News..