brand logo

සියලුම දිස්ත්‍රික් ලේකම්වරු කොළඹට කැඳවයි

03 March 2020

ඉදිරි මහ මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අනිද්දා (05 වැනිදා) සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් කොළඹට කැඳවා ඇත. මෙවර මහ මැතිවරණයට අලුතින් ලියාපදිංචි ඡන්ද දායකයන් දෙලක්ෂ හැත්තෑඑක්දහස් (271,000) එක්වී ඇති බැවින් ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා වාර්තා සඳහන් කරයි. මේ අතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් චන්න ද සිල්වා ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග මැතිවරණ කොමිෂන් සභාව විසින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බවයි. ඒ අනුව ආරම්භක පියවර ලෙස මහ මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර ගන්නා දිනය ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කෙරෙන අතර ඉන් අනතුරුව ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරෙනු ඇත. අනතුරුව දේශපාලන පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් විසින් ඇප මුදල් තැන්පත් කළ යුතු ආකාරය, තැපැල් ඡන්ද භාවිතය පිළිබඳ උපදෙස් හා තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය නිවේදන මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. නයන තරංග ගමගේ
 

More News..