brand logo

සියඹලා ඇත්තෙම නැද්ද?

09 March 2019

ඡන්දයක් දොරකඩ තබාගෙන ගෙනෙන අයවැයක් සෑම රජයකටම තිබිණ. එබඳු අයවැයක යෝජනාවලින් ජනතාවට ඵලක් තිබේද? එබඳු යෝජනාවලින් ජනතාව තෘප්තිමත් වේද? සෑහීමකට පත්වේද? අපේ රටේ ජනතාවට අවසාන වතාවට ජනාධිපතිවරණයකට ඡන්දය දීමට ලැබුණේ 2015 ජනවාරි අටවැනිදාය. ඊට මාස තුනකට පමණ පෙරාතුව 2014 ඔක්තෝබර් 24 දා ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනම මහින්ද රාජපක්ෂ අයවැයක් රට හමුවේ තැබුවේය. එම අයවැයේ ජනතාව සෑහීමකට පත් කළ හැකි ආකර්ෂණය කෙරෙන යෝජනා රාශියක් විය. ඒවා අතර ඇඟලුම් හා රට රැකියා කරන්නන්ට විශ්‍රාම වැටුපක් යෝජනා වී තිබිණි. එසේම මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 ක් දක්වා ඉහළ නැංවීමටත්, උසස් පෙළ සමතුන් 50,000 ක් ගුරු සහායකයන් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගැනීමටත් යෝජනා කර තිබිණි. ඒ අතර කොස්තාපල්වරුන්ට රුපියල් 50,000 කට මෝටර් සයිකලයක් ලබා දීමද විය. අයවැයෙන් පසු මෙම යෝජනා තවත් පුළුල් කරමින් සියලු රජයේ සේවකයන්ට රුපියල් 50,000 කට මෝටර් සයිකලය බැගින් ලබා දීමට තීන්දු කෙරිණි. මේ අතරින් රජයේ සේවකයන්ට යතුරුපැදි ලබාදීම වහ වහා ක්‍රියාවට නැගිණ. එහෙත් රජයේ සේවකයන් කළේ එම යතුරුපැදියෙන්ම ගොස් මහින්ද රාජපක්ෂට එරෙහිව ඡන්දය දීමය. ආණ්ඩුවක් කෙරෙහි ජනතා සිත් බිඳුන කල යළි පෑස්සීමට අයවැය යෝජනා, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ආදී පිළියම්වලින් නොහැකිය. බිඳුණු බඳුනේ අතුල්ලන මැලියම්ම ඒ බඳුන බර වැඩි කිරීමට හේතුවීම අතීතයෙන් උගත යුතු පාඩම්ය. අයවැය යෝජනා හතරක් ඉදිරිපත් කර ජනතාවට සහනයක් නොදුන් මේ ආණ්ඩුව මෙවර අයවැය යෝජනාවෙන් කර ඇත්තේ බිඳුන බඳුනට මැලියම් අතුල්ලා බර වැඩිකර ගැනීමේ කාර්යය ය. මෙවර අයවැයෙන් ජනතාවට දුන් සහන, මුදල් අමාත්‍යවරයෙක් දුන් සහන නොව කේමාගේ කොලුවා දුන් සහනය. තවත් විදියකින් කියන්නේ නම් මෙවර අයවැය කෘතහස්ත මුදල් අමාත්‍යවරයකුගේ වැඩකට වඩා ළං වන්නේ කේමාගේ කොලූගේ වැඩකටය. මේ අයවැයෙන් දුන් සහනවලින් බොහෝමයක් අතීතයේ සිටම මේ රටේ ක්‍රියාවට නැගෙමින් තිබුණ දේ බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. නිවාස සැදීමට වසර පහළොවකින් ගෙවෙන ණයක් බැංකු ලබාදෙයි. ඉහළින්ම උසස් පෙළ සමත් වෙන සිසුන්ට විදේශ විශ්ව විද්‍යාලවල ඉගෙනීමට යාමට, ශිෂ්‍යත්ව ලබා දීම සාමාන්‍ය දෙයකි. විදේශගත ශ්‍රමිකයන්ට නොයෙක් ආකාරයේ නිවාස ණය යෝජනා බැංකුවල වෙයි. අයවැයෙන් සිදුව ඇත්තේ මේ සියල්ලට නාමකරණය දී නාමපුවරු එල්ලීමය. මේ රටේ ජීවත් වන ගොවියාට, ධීවරයාට, කම්කරුවාට කුමක් කරන්නේද? ඔවුන්ගේ ජීවිතවලට අයවැයෙන් ලැබෙන එළිය කුමක්ද? ක්ෂුද්‍ර මූල්‍ය ණය අරගෙන හෙම්බත් වී සිටින ගැමි කාන්තාවන්ට දෙන සහනය කුමක්ද? බදු බරෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයන්ට ලැබෙන සහනය කවරේද? තෙල් මිල ඉහළ යාමට, රුපියලේ අගය පහළ යාමට මුහුණ දෙන්නේ කෙසේද? ආදී ප්‍රශ්නවලට ඇමතීමක් මේ අයවැයේ නැත. මෙබඳු අයවැයක් විපක්ෂ විසින් පතුරු ගසන විට ආණ්ඩුව අසන ප්‍රශ්නයක් වෙයි. ඒ ප්‍රශ්නය සෑදී ඇත්තේ සියඹලා ගෝනියක් විකිණීමට ගෙනා විට එහි පොතු සහ කෙඳිද, ගෝනියටද සියඹලාවල බර අඩු කළ විට ගැමියා මුදලාලිගෙන් ගැමියා ඇසූ ප්‍රශ්නයෙනි. මුදලාලි එතකොට මම සියඹලා ගෙනැල්ලම නැද්ද? සැබැවින්ම මේ අයවැයේ සියඹලා පොඩ්ඩක් තිබේ. ඒ පොඩ්ඩ නම් ප්‍රසිද්ධ ස්ථානවල වැසිකිළි සෑදීමට අයවැයෙන් මුදල් වෙන් කිරීමය.
 

More News..