brand logo

සිනමා ශාලා විවෘත කලාට සෙනඟ එනවාද?

27 July 2020

සිංහල සිනමාව දැඩි අර්බුදකාරී මට්ටමක පවතින අවස්ථාවේ පසුගියදා සිනමා ශාලා විවෘත කරන්න පාලන අධිකාරිය තීරණය කළා. සමහරු කිව්වේ සිනමාශාලා විවෘත වුවත් ප්‍රේක්ෂකයන්ගේ පැමිණීමේ යහපත් තත්ත්වයක් සිදුනොවන බවයි. තවත් කණ්ඩායමක් ප්‍රකාශ කළේ චිත්‍රපට ශාලා වසා තැබීමෙන්ද පළක් නොවන බවයි. කොහොම නමුත් අලුත් චිත්‍රපට දෙකක් වූ නිවුස් පේපර් සහ සූස්ති ප්‍රදර්ශනය කරමින් සිනමා ශාලා විවෘත විය. මේ දිනවල සිනමාශාලාවල තත්ත්වය විමසීම සඳහා ලංකාවේ විවිධ පළාත් කිහිපයක සිනමා ශාලා කීපයක් සම්බන්ධ කරගත්තා. මුලින්ම අප හා සම්බන්ධ වූයේ කුරුණෑගල සිනෙක්ෆෝ සිනමා ශාලාවේ කළමනාකාරවරයාය. සිනමා ශාලා විවෘත කරන මුල් දින තුන හතරේ ඉතා ඉහළ ප්‍රතිචාරක් දක්නට ලැබුණා. හොඳ ප්‍රේක්ෂක පිරිසක් නිවුස් පේපර් චිත්‍රපටය නරඹන්න පැමිණියා. විශේෂයෙන්ම සති අන්තයේ හොඳ මුදලක් උපයාගන්න හැකියාව ලැබුණා. නමුත් දෙවන කොරෝනා රැල්ල ගැන ඇතිවූ කතාවත් එක්ක එක්වරම ප්‍රේක්ෂක පිරිස අඩුවීමක් වුණා. නමුත් මේ සතියේ සිට නැවතත් යම් ප්‍රේක්ෂක පිරිසක් සිනමාශාලා වෙත පැමිණෙමින් තිබෙනවා. මම හිතන්නේ ඉදිරි දින කීපයේ මේ තත්ත්වය යහපත් අතට හැරෙයි කියලා. කුරුණෑගල සිනෙක්​ෆෝ සිනමා ශාලාවෙන් එවන් ප්‍රතිචාරයක් ලැබෙනකොට අපි මීළඟට විමසීම් කළේ දර්ශන කොස්වාඩිය සිනමාශාලාවේ කළමනාකාරතුමාගෙන්... ලොකු ප්‍රේක්ෂක ප්‍රමාණයක් නම් අපට ආවේ නැහැ. නමුත් දර්ශන කොස්වාඩිය සිනමා ශාලාවට පුරුදු වෙච්ච ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. අපේ සිනමා ශාලාවේ බොක්ස් නැති නිසා නිතරම පැමිණෙන්නේ තෝරාගත් ප්‍රේක්ෂක කණ්ඩායමක්.. මේ අයනම් ටිකෙන් ටික සිනමා ශාලා වෙත පැමිණීමේ ප්‍රවණතාවක් තිබෙනවා. දැනට අපි සතියේ දිනවල රාත්‍රී දර්ශන වාරය අවලංගු කළා. සති අන්තයේ පමණයි රාත්‍රී දර්ශන වාර පැවැත්වෙන්නේ. සියලුම ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරමින් තමා සිනමාශාලාව විවෘත කරලා තිබෙන්නේ. නිවුස් පේපර් වගේ අලුත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම තුළ සිනමාශාලාවලට නැවතත් සෙනඟ ගෙන්වාගන්න පුළුවන් කියා විශ්වාසය අප සතුව තිබෙනවා. එවන් සුබවාදී පණිවුඩයක උත්තේජනය ලබමින් මීළඟට අපි යොමුවුණේ අනුරාධපුර විජේන්ද්‍ර සිනමාශාලාවේ කළමනාකාර විජේ කුමාර මහතා පැත්තට ....කොරෝනා ප්‍රශ්නයෙන් පසු සිනමා ශාලා විවෘත කිරීමත් සමග ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රමාණයක් නැවතත් සිනමාශාලා වෙත පැමිණුනා. මුල් දින කීපයේ ඉතා හොඳ ආදායමක් ලබන්නට හැකිවුණා. නමුත් අනුරාධපුරයේ නැවතත් කොරෝනා තත්ත්වයක් මතුවීමත් සමගම ආපු සෙනඟ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නතර වුණා. මම හිතන්නේ මිනිස්සු ටිකක් බය වුණා. මේ සති අන්තයේ ඉඳන් නැවතත් කීපදෙනා බැගින් සිනමා ශාලාව වෙත පැමිණෙනවා. නිවුස්පේපර් වැනි හොඳ චිත්‍රපට කීපයක් ප්‍රදර්ශනය කළොත් ප්‍රේක්ෂකයන් හොඳ ප්‍රමාණයක් ඉදිරියේදී සිනමා ශාලා වෙත ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. සෙනඟ අඩු වුණා කියලා සිනමාශාලාව වසා තබන්නේ නැහැ. පාඩුවට හරි පෙන්වනවා. නැවතත් පරණ තත්ත්වයට ගන්නනම් ඒ කැපකිරීම අපි කරන්න ඕන. කුමන අදහස් තිබුණත් සියලු සිනමා ශාලා හිමියන්ගේ අවසාන පරමාර්ථය සිනමා ශාලා දිගටම විවෘත කර තැබීමයි. ජා ඇල මැක්ස් සිටි සිනමා ශාලාවේ කළමනාකාරිත්වය කියා සිටින්නේද දහයක් දොළහක් පැමිණියත් චිත්‍රපට ශාලාව අපහසුවෙන් හෝ පවත්වාගෙන යා හැකි බවයි. කොළඹ සැවෝහි ප්‍රිමියර් සිනමා ශාලාව වෙතද සතියේ දිනවල යම් ප්‍රේක්ෂක ප්‍රමාණයක් පැමිණෙන බවත් එම තත්ත්වය සති අන්තයේ තවත් වැඩි වන බවය. ප්‍රේක්ෂකයන් වැඩි කරන්නනම් හොඳ සිනමා නිර්මාණ තිරගත කළ යුතු බව බොහෝ දෙනාගේ ඒකමතික තීරණය බව ඔවුන් සමග කතා බහ කිරීමේදී අවබෝධ විය. ලංකාවේ ප්‍රධාන චිත්‍රපට බෙදාහැරීමේ ආයතනයක් සහ චිත්‍රපට ශාලා කීපයකට අයිතිය දරන ස්කෝප් සිනමා සංකීර්ණයේ අධිපති කුෂාන් මීමනගේ තම අදහස් එක්කිරීමට සම්බන්ධ විය. සිනමාශාලා විවෘත කරන මුල් දින කීපයේ හොඳ ප්‍රේක්ෂක ජනතාවත් කලම්බු සිටි සෙන්ටර් වෙත පැමිණියා. නමුත් පසුගියදා ඇතිවූ දෙවන රැල්ලත් සමග පසුබෑමක් ඇතිවුණා. නමුත් මේ සති අන්තය වන විට නැවතත් තත්ත්වය හොඳ අතට හැරෙමින් පවතිනවා. ලබන සතියේ අලුත් බටහිර චිත්‍රපට කීපයක් අපි ලංකාවේ සිනමාශාලා වෙත මුදාහරිනවා. ඒ අතරට හොඳ සිංහල චිත්‍රපට කීපයකුත් එකතු වෙයි. මම හිතනවා හොඳ නිර්මාණ අලුත් නිර්මාණ සිනමාශාලා වෙත ආවොත් ප්‍රේක්ෂකයාට කොරෝනා අමතක වෙයි කියලා. රීගල් සිනමා ශාලාව කියන්නේ බොහෝ ප්‍රේක්ෂකයන් ආකර්ශනය කරගත් සිනමා ශාලාවක්. රීගල් සිනමා ශාලාවේ තත්ත්වය දැනගැනීමට සම්බන්ධ කර ගත්තේ කළමනාකරු හරිහරන් මහතාවය. සෙනඟ නම් ගොඩාක් අඩුයි. චිත්‍රපට ශාලා විවෘත කරන අවස්ථාවේ ඇවිලෙන සුළුයි පෙන්නුවා. ඊට පස්සේ නිවුස් පේපර්. දැන් සූස්ති තිරගත කළා. සූස්ති බලන්න සුළු ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනවා. නමුත් සාර්ථක නැහැ. මහරගම, හෝමාගම වගේ ප්‍රදේශවලනම් තත්ත්වය හොඳයි. කොළඹින් පිටත යම් ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනවා. කොළඹ තත්ත්වය තමා තාමත් නරක් වෙලා තියෙන්නේ. මේ දවස්වල වැඩි වශයෙන් තරුණ අය තමයි පැමිණෙන්නේ. කොළඹ පවුල් පිටින් එනවා ගොඩක් අඩුයි. නමුත් ඉදිරියේ තත්ත්නය යහපත් අතට හැරෙයි කියලා අපි විශ්වාස කරනවා. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..