brand logo

සිනමාවට පෙම්බැඳ පුංචි තිරයේ කඳුළු බින්දුව වූ..

19 November 2019

පුංචි තිරයේ සුසංවේදී හිතැත්තිය නිල්මිණි තෙන්නකෝන් මේ දිනවල දෙරණ රූපවාහිනී නාළිකාව ඔස්සේ අලුත් වැඩසටහනකට මුල පුරලා. ඇය මේ මොකක්ද කරන්න යන්නෙ. හැමෝම විමසුම් නෙතින් බලාගෙන සිටින මොහොතක අපි ඇයගෙන් මේ ගැන විමසා සිටියා. නිල්මිණී මොකක්ද මේ අලුතෙන් කරන්න හදන වැඩේ මම මීට පෙරත් දෙරණ රූපවාහිනියෙ සිද්ධි මංසල කියල වැඩසටහනක් කළා. ඒක රටේ ජනතාවගේ ප්‍රශ්නවලට මානසික මට්ටමේ විසඳුම් ලබාදුන් වැඩසටහනක්. මේක එහෙම දෙයක් නෙවෙයි. මේක වෙනස්ම දෙයක් වෙයි. දැනට අපි මේ ගැන විස්තර කුතුහලයක් විදිහට තියාගමු. ඔබ ප්‍රවීණ රංගන ශිල්පිනිය කියන භූමිකාවෙන් බැසගොස් විවිධ තැන් තුළ රැඳෙනු අප දකිනවා? මං හිතන්නෙ රංගනයට තමයි මම ඉපදිලා තියෙන්නෙ කියලා. හැබැයි සමාජයෙ ආදරය ලැබූ සමාජයේ පිළිගැනීමට ලක්වූ කලාකාරිනියක් විදිහට මට හැකි හැම පැත්තකින්ම ජනතාවට දෙයක් දෙන්න තමයි මම කැමැති. ඒ නිසයි මම විවිධ භූමිකාවන් ඔස්සේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම මට හැම මොහොතකම වැඩ කරන්න ඕන. මම මගේ රංගන කටයුතු රූපලාවණ්‍යාගාරයේ වැඩ. ගෙදර වැඩ, සමාජයේ වැඩ, ඔය වගේ ගොඩක් වැඩකරන චරිතයක්. ගොඩක් වැඩ කිරීමෙන්ම මගේ තියෙන යම් යම් දේවල් මට අමතක කරන්න පුළුවන් සහ කාර්ය බහුල වීමත් එක්ක මට ශක්තියක්. අද වනවිට නිල්මිණී දායක වන නිර්මාණ සංඛ්‍යාව සීමිත වෙලා නේද? මමත් නිළියක් වෙන්න ඕන කියලා හිතුවෙ පාසල් යන කාලේ. ඒ චිත්‍රපට බලල නෙවෙයි. චිත්‍රපටවල ප්‍රදර්ශන පුවරු දැකලා. පස්සෙ මට චිත්‍රපට බලන්න අවස්ථාව ලැබුණා. ඒ චිත්‍රපට බලද්දි මාලනි ෆොන්සේකා, ස්වර්ණා මල්වආරච්චි වැනි නිළියන්ගේ රංගනයන් දකිද්දි මට හිතුණා, මටත් මෙහෙම වෙන්න ඇත්නම් කියලා. මේක මම, මගේ කැපවීමෙන් මහන්සියෙන් බොහෝම අමාරුවෙන් ළඟාකර ගත්ත දෙයක්. මම එකපාරට මතුවුණ කෙනෙක් නෙවෙයි. මම දැන් ප්‍රවීණ නිළියක් බවට පත්වෙලා. ඒ තත්ත්වයත් එක්ක මට රැකගන්න ගෞරවයක් ඉටුකරන්න වගකීමක් තියෙනවා. මිනිස්සු විශ්වාස කරනව මම ඔවුන් වෙනුවෙන් යහපත් දේ කරයි කියලා. නමුත් අවාසනාවකට හොඳ නිර්මාණ ලැබෙන්නෙ හරිම අඩුවෙන්. රසිකයන්ගෙන් එදා ලැබූ ආදරය අදටත් එලෙසමද? ඇත්තටම දවසින් දවස ඒ ආදරය වැඩිවෙනවා. මං දන්නේ නැහැ මිනිස්සු මට මේ තරම් ආදරය කරන්නෙ ඇයි කියලා. මම අද මේ අවස්ථාවේත් කඳාන ප්‍රදේශයේ රූපගත කිරීමක ඉන්නෙ. මෙතැනට එන කාන්තාවන් බොහොමයකගේ ඇස්වල කඳුළු. ඒ මාව දැකලා. පුංචි තිරයේ කඳුළු බින්දුව වැනි හැඳින්වීම්වලින් ඔබ සෑහීමකට පත්වූවාද? සිනමාට තමයි මම කැමැති වුණේ. සිනමා නිළියක් වෙන්නයි මම හීන මැව්වෙත්. මට මුලදි අවස්ථා ලැබුණේ පුංචි තිරයෙන්. එහි වැඩ අධික වීමත් එක්ක මට සිනමාව වෙනුවෙන් කාලය අඩුවෙලා ගියා. නමුත් අදටත් මට හීනයක් තියෙනවා සිනමාවේ සම්භාවනීය මට්ටමේ රංගනයක යෙදෙන්න. නිළියක් විදිහට ඇති තරම් වැඩ ලැබෙද්දි ඔබ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අත ගහන්නෙ ඇයි? එතුළිනුත් මට කාන්තාවන්ට සේවයක් කරන්නත් ඉඩ සැලසිලා තියෙනවා. මෙය මට උරුම වෙන්නෙ අපේ පවුලෙ ආරෙන්. පුංචි කාලෙ ඉඳන්ම රූපලාවන්‍ය කටයුතු කියන දේ මම දැක්කා. පසුකාලයක කලාවට ආපු දා පටන් කිහිප අවස්ථාවකදී හැරෙන්න මගේ ඇඳුමේ සිට සියලුම හැඩගැන්වීම් කරගත්තෙ මමයි. මුලින්ම මම මනාලියන් හැඩගැන්වූවා. රූපලාවන්‍යාගාරය ආරම්භ කළාට පස්සේ මම හිතුවෙ හැම දෙයක් ගැනම හරියට ඉගෙනගෙන මගේ සේවාව ලබාගන්න එන කාන්තාවන්ට විශිෂ්ට සේවාවක් ලබාදිය යුතුයි කියලයි. හම සුදුකර ගැනීමේ උන්මාදයෙන් සිටින අපේ කාන්තාවට කියන්න දෙයක් තියෙනවද? අපේ අයට ඉවසීම හරි අඩුයි. අපේ සමේ තත්ත්වය හඳුනාගෙනයි ප්‍රතිකර්ම කරන්න අවශ්‍ය වෙන්නේ. මට මගේ රූපය නිසා යම්කිසි තැනක් ලැබිලා තියෙනවා නම් ඒක පාවිච්චි කරලා මිනිස්සුන්ට බොරු කියලා ඔවුන්ව මුලා කරන එක පව් පිරෙන දෙයක් විදිහටයි මම සලකන්නේ. මම හැම වෙලාවෙම කියන්නෙ සුදු වෙන්න ආස වෙන්න එපා. තමන්ගෙ සමේ තියෙන පැහැය වර්ධනය කරගන්න කියලයි. ඒකට වෛද්‍ය උපදේශයකින් තොරව අනවශ්‍ය විදිහට එන්නත් හෝ පෙති භාවිත කරන්න ගියොත් තමන් අමාරුවේ වැටෙනවා. සුදුවෙන්න පෙති විකුණන වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීම ඔබ ප්‍රතික්ෂේප කරනවද? පහුගිය කාලෙ මම වැඩසටහන් කිහිපයකට සහභාගි වුණා. ඒක අපේ දේශීයත්වයට ගැළපෙන දෙයක්. මම නිළියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් විතරයි. මම වෛද්‍යවරියක් නොවෙයි, ගිලින පෙති නිර්දේශ කරන්න. ඒක විකුණනව නම් මම ඒක පාවිච්චි කරලා මම සියයට සියයක්ම ඔය කියන ප්‍රතිඑල මම විඳල තියෙන්න ඕනෑ. ඔබගේ ප්‍රාණය සේ සිටින ඇය ගැන යමක් පවසන්න. පසුගිය ඔක්තෝම්බර් 4 වෙනිදා දුවට අවුරුදු 18 ලැබුවා. මගේ දුව මේ වෙත්දි උසස් පෙළ විභාගයට පෙනී ඉන්නවා. දුවට වයස අවුරුද්දේ ඉඳන් මගේ අම්මගෙන්වත් සත පහක්වත් නොගෙන මම මගේ දරුවා මෙතැනට අරන් ආවෙ. මගේ අමම්යි, නංගියි හැරෙන්න දරුවගේ ලේවලට වගකියන පුද්ගලයාවත් මේ දක්වා මගෙන් අහල නැහැ, දරුවට දෙන්න කිරිපිටි කොචච්ර ඕනද? දරුවට කන්න දෙන්න ගෙදර හාල් ඇටයක් තියෙනවද කියලා. දියණිය තුළින් ඔබ දකින හීන මොනවද ? මම දුවට කියන්නෙ දුවේ ඔයා මේ රටේ හොඳ පුරවැසියෙක් වෙන්න ගුණ දහම් පිරුණ මනුස්සයෙක් වෙන්න කියල විතරයි. මගේ බලාපොරොත්තු මගේ දියණිය තුළින් ඉටුකර ගන්න මම කැමැති නැහැ. දුව ඉතාම සතුටින් ඉන්නව දකින එක තමයි මගේ හීනය. දියණියත් ඔබලා සේම කලාව තෝර ගනියිද? මට ඉන්නෙ හරිම ලස්සන දුවක්. දුවව චිත්‍රපටවලට ඉල්ලූවාර අනන්තයි. නමුත් මම ඒවට දුවව ඇරියෙ නැහැ. මගේ එකම අරමුණ වුණේ ඇය ඉහළ අධ්‍යාපනය කරා ගෙනයන්නයි. ඇගේ අරමුණ වුණෙත් එයමයි. හැබැයි එයාට ගායනා කරන්න ආසාවක් තියෙනවා. දුව හොඳ රසවින්දනයක් තියෙන පොත පත කියවන දරුවෙක්. එයා අනාගතයේ කලාව පැත්තෙන් යමක් කරයි. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..