brand logo

සිකා තනිවෙයිද? - දුමින්ද ශ්‍රී කාන්ත

05 May 2020

යූ ටියුබ් මාධ්‍යයෙන් ප්‍රේක්ෂකයන් මුවගට සිනහවක් එක්කළ ලකයි සිකයි කොරෝනා ඇඳිරි නීතිය අස්සේම අතුරුදන්වෙලා. ලකා උන්නත් සිකා නැහැ. ඇත්තටම සිකාට මොකද වුණේ සොයා බලන්න අපි දුමින්ද හර්ෂණ ශ්‍රීකාන්ත සම්බන්ධ කරගත්තා. දුමින්ද සිකාට මොකද වුණේ? මොකුත් වුණේ නැහැ. සිකා ඉන්නවා. සිකා සිකාමයි. වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඔබ උන්නේ ඔතැන නොවේ නේද? මම උන්න තැනට මොකද වුණේ කියල නම් මමත් දන්නේ නැහැ. ​අප්‍රේල් 14 වෙනිදා තමා මමත් දැනගත්තේ මම එතැන නැහැ කියලා. කොහොමටත් ලෝකෙ කිසිම දෙයක් ස්ථිර නැහැනේ. අද මම ඉන්න තැන හෙට නොසිටින්න පුළුවන්. ඒ කියන්නේ මේ කිසිම දෙයක් ගැන ඔබ දැනුවත් නැහැ? මම කිසිම දෙයක් දන්නේ නැහැ. අපි අප්‍රේල් 12 වැනිදාත් මුණ ගැසුණා. හැබැයි අප්‍රේල් 14 මම ඉන්න තැන අලුත් කෙනෙක් ඉන්නවා දකිනකොට තමයි මම නැහැ කියලා දැනගත්තේ. මම නැති තැන ගැන හොයා බලන්නවත් දැනගන්නවත් අවශ්‍ය නැහැ. මම මගේ පාඩුවේ ඉන්නවා. නමුත් ඔබ අවුරුදු 3ක් විතර උන්න තැන දැනගන්න අයිතියක් තියනවා නේද? ගිවිසුමක් නැති ඇග්‍රිමන්ට් එකක් නැති තැනක ඉන්න කෙනෙකුට අයිතිවාසිකම් නැහැ කියලා දැනගත්තා. අතිශයින්ම මිත්‍රකමයි බැඳීමයි විතරයි මගේ හිතේ තිබුණේ. ඒකත් නැහැ කියා දැනගත්තාම, මම ගැන විතරක් කතා කළොත් ඇති කියලා ඒ මොහොතේ ඉඳලම සිතුණා. ඔබත් අලුත් වැඩක් පටන් ගත්ත නේද? සිකාමයි කියලා යූ ටියුබ් එකවුන්ට් එකයි පේජ් එකයි පටන් ගත්තා. නමුත් මේ දිනවල පවතින වාතාවරණය එක්ක රූපගත කිරීම් කරන්න වෙලාවක් නැහැ. ඉතා ඉක්මනින් එහි කටයුතු ආරම්භ කරනවා. යූ ටියුබ් මාකට් වැහි වැහැලා තියනවා නේද? මේකත් තවත් යූ ටියුබ් මාකටින් එකක් විතරක් වෙයිද? එහෙම නොවෙන්න හේතු ගොඩක් තියෙනවා. මම බොහෝම සැහැල්ලුවෙන් සරලව විනෝදයෙන් ඉන්න කෙනෙක්. මාව ආශ්‍රය කරන අය ඒක දන්නවා. ඇත්තටම මේ තරම් ඉක්මනට මට මොකුත් කරන්න අවශ්‍ය වූයේ නැහැ. නමුත් මටවත් විශ්වාස කරන්න බැරි තරම් ප්‍රේක්ෂක ජනතාවක් මට කතා කරන්න ගත්තා. මේ ප්‍රශ්නය ගැන දශමයක්වත් දන්නේ නැති ප්‍රේක්ෂකයන් උඹ තනියම වරෙන් කියනවා. තනියම ඉන්න එපා වැඩක් පටන් ගන්න කියනවා. සමහර ප්‍රේක්ෂකයෝ කියන්නේ අපිට වැඩක් නැහැ මොකද වුණේ කියලා. හැබැයි උඹ ෆීල්ඩ් එකේ ඉන්න ඕන කියනවා. කොටින්ම කවුද හරි කවුද වැරදි කියලා නොදන්න මිනිසුන් සමූහයන් උඹ වරෙන් කියලා කියනකොට මම කොහොමද නිහඬව ඉන්නේ. මේකත් ඔබේ මාකටින් වැඩක්ද? මිනිස්සු දෙතුන් දෙනෙක් රවට්ටන්න පුළුවන්. හැබැයි සමූහයක් රවට්ටන්න පුළුවන්ද? ඔබම බලන්නකො කීදෙනෙක් කතා කරනවද කියලා. සිකා කවදාවත් මාකටින් කරලා මිනිස්සු රවට්ටලා නැහැ. මම රඟපාන්නේ කැමරාව ඉදිරියේ විතරයි. කැමරාවට අහුවෙන ලෙන්ස් එක ඇතුළේ විතරයි මම රඟපෑම් කළේ. මාව හඳුනන හැම එකාම දන්නවා. එතනින් එහාට මම සාමාන්‍ය මනුස්සයෙක්. බොහෝම විනෝදකාමී සරල චරිතයක්. ඔබට ඔබේ ප්‍රේක්ෂකයාව විශ්වාසයි කියලද කියන්නේ? ඇත්තටම ඔව්. අදටත් මම දන්නේ නැහැ සිද්ධ වුණේ මොකක්ද කියලා. මාව මග නතර කළාට මගේ ගමන මම නතර කරන්නේ නැහැ. මේ වෙලාවේ කිසිම කෙනෙක්ට දොසක් කියන්නෙ නැහැ. මම මගේ දුක ප්‍රේක්ෂකයන්ට කියන්නෙවත් නැහැ. මාව මෙහෙම අයින් කළා. තමා ගැන අනුකම්පා කරන්න කියන ජාතියේ කෙනෙක් නෙවේ මම. මම මගේ දක්ෂතාවයෙන් ඉස්සරහට එනවා. ඔබට මුල මතක නැහැ කියලා කෙනෙක් චෝදනා කළොත්? කාටවත් එහෙම චෝදනා කරන්න අයිතියක් නැහැ. මොකද මම මෙතෙන්ට අහසින් වැටිච්ච කෙනෙක් නෙවේ. කවුරුත් මාව කරේ තියාගෙන මෙතෙන්ට ආවෙ නැහැ. අනේ ඔයා පව්. ඔයාට කන්න බොන්නත් නැහැ. මම ඔයාට හොඳ පඩියක් දීලා ක්ෂේත්‍රයේ තැනකට ගන්නම් කියලා කවුරුවත් කිව්වෙ නැහැ. මමත් මේ ක්ෂේත්‍රය ගැන හොඳ හැඳෑරීමක් කරලා තමා මෙතන්ට ආවේ. අවුරුදු තුනක් චරිතය හරියාකාරව අවබෝධ කරගෙන රඟපාපු නිසා තමා අදටත් ප්‍රේක්ෂකයෝ මාත් එක්ක ඉන්නේ. ඒක නිසා කිසිම කෙනෙක්ට මට ඇඟිල්ල දික්කරන්න අයිතියක් නැහැ. ඇත්තටම ඔබ කොහොමද ක්ෂේත්‍රයට එන්නෙ? මහනුවර මාවිල්බඩ විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ ඉඳලම මගේ සහජ දක්ෂතාවයක් තිබුණා. හොඳම පාසල ළඟම පාසල කියලා ඒ කාලෙත් ළඟම ඉස්කෝලෙට ගියාට නුවර තියන හැම ඉස්කෝලෙකටම මම හරිම ආදරෙයි. මොකද ඒ වායේ ඉන්නෙ මගේ යාළුවෝ. සාමාන්‍ය ජීවිතෙත් අපේ සෙට් එකේ හිටපු විනෝදකාමියා මම. ඉස්කෝලේ වගේම මළගෙවල්වල, ඕනම පොදු වැඩකදී රසකතා තිබුණේ මගේ ළඟ. හැම කෙනෙක්ම හිනාගස්සවන කතා කියන සෙට් එකේ විශේෂත්වයක් ලැබුණා. ඒ දක්ෂතාවය ද මේ දියුණු කරගත්තේ. මම මුලින්ම ආවේ රිදම් එෆ්.එම්. එකට. මුලින්ම ඒක ඇසුර. එන්.අයි.ටී.ටී. (NITT) මාධ්‍ය පාඨමාලාව නිම කරලා එනවුන්සර් කෙනෙක් හැටියට ආවට මට මුලින්ම ලැබුණේ ප්‍රමෝෂන් ටීම් එකක් එක්ක වැඩ කරන්න. ඊට පස්සේ රන් එෆ්.එම්. හා නෙත් එෆ්.එම්. එකේ එන්ටර්ටේනර් කෙනෙක් හැටියට බොහෝ අත්දැකීම් ලබාගත්තා. අන්තිමට ගමන අවසන් වුණේ නළුවෙක් වෙලා. ඔබ රඟපෑ නිර්මාණ මොනවාද? සමහරවිට මම රඟපාපු නිර්මාණ කිසිම කෙනෙක් දැකලා නැති වෙන්න පුළුවන්. බොරදිය පොකුණ චිත්‍රපටය තිරගතවෙලා සම්මාන මහ ගොඩක් ලබාගත්තේ චිත්‍රපටය හදලා අවුරුදු දොළහකට පස්සේ. මේ වගේ තත්ත්වයක් උඩ මම රඟපාපු චිත්‍රපටයක් කවදා දකින්න ලැබෙයිද දන්නේ නැහැ. ඒක තමා මේ රටේ හැටි. ද ලෙටර්, පැණි මකුළුවෝ වගේ චිත්‍රපටවල රඟපෑවා. ඒ විතරක් නෙවේ කලා අධ්‍යක්ෂණයෙනුත් දායක වුණා. කොහොමද ඔබ සිකා වෙන්නේ? මේ ගමනේ අවසාන නවාතැන වුණේ ඔය චරිතය තමයි. මේක කවුරුත් මට හදලා දුන්න තැනක් නෙවේ. ක්ෂේත්‍රයේ අවුරුදු ගානක් දුක්විදලා කටු කාලා හදාගත්තු තැනක්. ඔබ මේ තැනට එයි කියලා විශ්වාස කළාද? කිසිම දෙයක් මම මහ ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. නමුත් කරන කාර්යය දැඩි කැපවීමෙන් කරනවා. අපි දෙයක් හරියට කළොත් යහපත් ප්‍රතිඵල ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. යහපත් ප්‍රතිඵලයද මේ ඔබට ලැබුණේ? ආයෙත් කැරකිලා ඒ මාතෘකාවටම ආවා නේද? කමක් නැහැ. මේ කිසිම දෙයක් මම කරපු දේවල් නෙවේ. අවුරුදු තුනක් තිස්සේ මම මගේ උපරිම දායකත්වය ලබාදුන්නා. හැබැයි මම ගිවිසුම් ගැහුවේ නැහැ. අයිතීන් ගැන කතා කළේ නැහැ. අතිශය ගැඹුරු මිත්‍රකම ගැන විතරයි විශ්වාස කළේ. අදටත් මම කියන්නේ ඒ මිතුරුකමට මගෙන් අබමල් රේණුවක තරම්වත් හානියක් සිද්ධ වුණේ නැහැ. විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්ද මේ හැමදේකටම හේතුව? අප්‍රේල් 14 වෙනිදා තමා මම එතැන නැහැ කියලා දැනගත්තේ. ඒ මම නැතිව වීඩියෝ එකක් අවුට් වුණාට පස්සේ. ඒ වනතුරු අපි මේ ගැන කතා කරලා තිබුණේ නැහැ. අප්‍රේල් 12 වැනිදත් අපි මුණගැසුණා. මෙහෙම දෙයක් වෙන වග දැනගෙන උන්නේ නැහැ. දැන් ඔය ගැන කොච්චර කතා කළත් වැඩක් නැහැ. විශ්වාසය පදනම් කරගෙන වැඩ කරන මට මෙහෙම දෙයක් වුණානේ කියන කනගාටුව තවත් හිතේ තියෙනවා. එච්චරයි. ඔබට සම අයිතිය නොලැබීමද මේ ප්‍රශ්නවලට හේතුව? අපෝ නැහැ. මම ඔයාගේ ගෙදරට ඇවිත් ඔයාගේ ගේ මට ලියලා දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා මට ලියලා දෙනවද? නැහැනේ. එහෙමත් මම ඔබට එහෙම යෝජනාවක් කරයිද? නැහැනේ. හැබැයි අපි දෙන්නම එකතුවෙලා කුඹුරක් කොටලා අස්වද්දලා ඵල නෙළන කොට මටත් පුංචි කොටසක් ඉල්ලන්න අයිතිය තියෙනවා නේද? මොකද මේ කාෂ්ඨක පොළව කෙටුවේ අපි දෙන්නා එකතු වෙලා. මම ඔයාගේ ඉඩමේ කොටන්න එන්නේ ඔයාගේ යාළුකම විශ්වාස කරලා. කොටසක් ඉල්ලුවේ නැතත් ඔයාගේ මනුස්සකම මම මහන්සිවෙච්ච නිසා ඔයා කොටසක් දෙනවනේ. එහෙම නැතිව තනි අයිතිය ගැන කියලා මාව අසරණ කරන්නේ නැහැනේ. විශ්වාසය කියන්නෙ ඒකයි. ඒ විශ්වාසය නැතිව මොකුත් කරන්න බැහැ නේද? මම ඉල්ලුවෙ සාධාරණ පුංචි ඉල්ලීමක් විතරයි. ඔබ කතා කරන්නේ කලකිරීමෙන්ද? වේදනාවක් තියෙනව. නමුත් මම එහෙම කියලා අඬන්නේ නැහැ. මම හිතනවා මට පාඩමක් ඉගෙන ගන්න ලැබුණා කියලා. අවසානයේ මම බොස් කෙනෙක් යටතේ නොඉඳ ආයෙමත් ස්වාධීන කලාකාරයෙක් හැටියට වැඩ කරන්න ඉඩ ලැබුණා කියලා මම විශ්වාස කරනවා. මහ ලොකු මුදලක් නොලැබුණාට කමක් නැහැ. දැන් මම බොස් කෙනෙක් යටතේ යැපෙන මනුස්සයෙක් නෙවේ. නිදහස් කලාකරුවෙක්. අප්‍රේල් 14 කියන්නේ මගේ ජීවිතය වෙනස් කළ දවස කියලා මම විශ්වාස කරනවා. ඇඳිරි නීතිය මැද්දේ අලුත් අවුරුද්ද ලබනකොට මගේ ජීවිතෙත් වෙනස් වුණා. කෙනෙක් චෝදනා කළොත් දැන් ඔබ පමණක් නිවැරදිකරු වෙන්න උත්සාහ කරනවා කියලා? එහෙම කියනව නම් ඒ කෙනාට මේ ගැන සොයලා බලන්න පුළුවන්. මම නිදහස් කලාකරුවෙක්. බොස් කෙනෙක්ට විතරයි තීරණ ගන්න පුළුවන්. මම බොස් නෙමේනේ. ඔබත් දැන් බොස් කෙනෙක් වෙන්න නේද යන්නෙ? කොහෙත්ම නැහැ. මට හුඟදෙනෙක් කතා කළා. උඹ තනියම දෙයක් කරපන් කියලා හැමෝම කිව්වා. මගේ උපකරණ දෙන්නම් කියපු අය ඉන්නවා. අපි එන්නම් උඹත් එක්ක වැඩ කරන්න, කියපු අය ඉන්නවා. උඹට අපි එක්ක වැඩ කරන්න හිතෙනතාක් කල් අපි උඹත් එක්ක ඉන්නම්. මෙහෙම කියපු අය අනන්තයි අප්‍රමාණයි. මමත් ඉදිරියේදී ලොකු වැඩ ගොඩක් කරනවා. කොන්ත්‍රාත්තුවක් අවශ්‍ය තැනදී ප්‍රශ්න ඇතිනොවෙන්න ගිවිසුමක් අත්සන් කරයි. එච්චරයි. කෛන් උපයගත්තු මනුස්ස කමින් තමා මම නැගිටින්නේ. ඒකට ගරහන්න කවදාවත් මට බැරි වෙයි. ඔබ සියල්ල සඟවගෙන කතා කරනවා කියලා මට හිතෙනවා. තවත් චරිතයක් මරාගෙන නැගිටින්න මම කැමති නැහැ. මේ ඉන්ටර්විව් එක දුන්නෙත් ඔබ එය හිත නොරිදන ආකාරයට ලියයි කියලා විශ්වාස කරලා. මට වැටෙන එක කමෙන්ට් එක්කවත් කාටවත් මඩ ගහපුවා නැහැ. හැමෝම මට ජය ප්‍රාර්ථනා කරලා තියෙනවා. මට ඒ ඇති. ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද? මගේ බිරිඳ තාරිකා සඳමිණි ලැබුණේ නැත්නම් මට මේ තරම් විශ්වාසවන්ත ජීවිතයක් ලැබෙන්නේ නැහැ. අපි දෙන්නම මාධ්‍ය කළා. නමුත් ඇය පවුලේ යහපත වෙනුවෙන් නතර වුණා. මම කරන කිසිම දේකට ඇය අතදාන්නේ නැහැ. කීයක් ලැබෙනවද? කොහෙද යන්නෙ? මොනවද කන්නේ බොන්නේ කියලා අහන්නේ නැහැ. මට ඔයාව විශ්වාසයි කියලා විතරයි කියන්නේ. මම රන් එෆ්.එම්. එකේ ඉන්නකොට උත්සවයක් කරලා ඉතුරු පොල්තෙල් භාගයත් ගෙදර ගෙනිච්චා කියලා ඇය බැණපු හැටි තාම මතකයි. අපිට අනුන්ගේ රුපියල්වත් එපා. ඔයා මහන්සිවෙලා සාධාරණව හම්බ කරන මුදලින් මාවයි දරුවො දෙන්නවයි ජීවත් කරන්න කියලා විතරයි ඇය කියන්නේ. අනාගතය ගැන සුබ පෙර නිමිති දකිනවද? පැහැදිලිවම. මම හරිම සතුටින් කැමරාව ඉස්සරහ කරන විනාඩි ගාන පමණයි රඟපාන්නේ. එතන ඉඳන් මම හරිම නිදහස් සැහැල්ලු මනුස්සයෙක්. ජීවිතේ පසුතැවෙන එකම හෝ සිදුවීමකට මම දායක වෙලා නැහැ.ඒ නිසා මම සතුටින් ජීවිතේට මුහුණදෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ආශිර්වාදයයි විශ්වාසයයි මත සුබ පෙර නිමිති හැම මොහොතකම දකීවා. මේ දේවල් කියන්න ඇයි මෙච්චර පරක්කු වුණේ? අප්‍රේල් 14 මට ෂොක් දෙකක් වැදුණා. එකක් තමයි මම අවුරුදු තුනක් ජීවිතය කියලා හිතාගෙන වැඩ කරපු තැන මම නැහැ කියලා දැනගත්ත එක. එතැනදී මම වැටුණා. අනිත් එක ඊට පැයකට පස්සේ මම අඳුරන්නෙවත් නැති අය කෝල් කරලා මට සුබපතලා මාව දිරිගැන්වීම. මෙච්චර හිතවත් ඥාති, මිතුරු කැලක් ඉන්නවද කියලා එදා තමා මම දැනගත්තේ. එතනින් මම ආපහු නැගිට්ටා. හැබැයි ඔය වෙනකොට ලංකාවේ තිබුණ තත්ත්වයත් එක්ක රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබුණා. මගේ ප්‍රශ්නය කියලා මේ ​මොහොතේ වදයක් වෙන්න මට ඕන වුණේ නැහැ. හැබැයි අනිත් අය මට කරන චෝදනත් එක්ක තවදුරටත්, මම නිහඬව සිටිය යුතු නැහැ කියලා සිතුණා. මම හොයන අයට උත්තර දෙන්න ඕනැ. මුලදී ජීවිතය ගැන අප්‍රියාවක් දැනුණත් මාව ඕන කියලා කතා කරපු මිනිස්සුන්ගේ ආදරය දැක්කාම ආපහු පනක් ආවා. ඉතාලියේ කොරෝනා ප්‍රශ්නය දරුණු වෙලා තියෙද්දිත් එහේ අය කතා කරලා උඹ මොකද කරන්නේ කියලා අහනවා. මෙවන් සෙනෙහසක් මැද්දේ මා නිහඬව සිටිය යුතු නැහැ නේද? ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර
 

More News..