brand logo

සිංහල සිනමාවේ ළාබාලතම අධ්‍යක්ෂවරයා දුටු ‘කලම්බෝ’

13 March 2021

පසුගිය කාලය තුළ අතරමැද නැවතුණු සිනමා නිර්මාණ කිහිපයක් නැවත ප්‍රදර්ශනය විය. එමෙන්ම මේ කාල සීමාවේදී සිනමාව වෙනුවෙන් නව ප්‍රදර්ශන මාධ්‍ය පවා නිර්මාණය විය. ඒ සියල්ල එසේ වද්දී සිනමාවට අලුත්ම අත්දැකීමක් තිළිණ කරමින් ‘කලම්බෝ’ සිංහල චිත්‍රපටය 18 වැනිදා සිට සිනමාශාලාහි ප්‍රදර්ශනයට සූදානම්.... කලම්බෝ තාරුණ්‍ය ජනජීවිතය විදහා දක්වන සිනමාත්මක අත්දැකීමක් බව කිව යුතුමය. මෙහි අධ්‍යක්ෂවරයා ද ඉතාම තාරුණ්‍යයේ සිටින නිර්මාණකරුවෙකු වීමත් මෙහි විශේෂත්වයකි. කවදා හෝ ලේඛකයෙකු වීමේ සිහිනය පෙරදැරිව ලියන්නට කියවන්නට කුඩා කළ සිට පුරුදු වූ අසම රන්දිල් මෙහි තිර රචනය ලියන්නේ වයස අවුරුදු 19දීයි. එලෙස ලියන තිර රචනාව සිනමාපටයක් බවට ඔහු පත් කරගන්නේ වයස අවුරුදු 21 දී. මේ සියල්ල නිසාම පිනිපලස අපි අසම රන්දිල්ට කතා කළා. සම්පූර්ණ නම - අසම රන්දිල් ලියනගේ පාසල - කොළඹ නාලන්දා විද්‍යාලය ගම - ගම්පහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්නද සිහින දැක්කේ එහෙම විශේෂ සිහිනයක් තිබ්බේ නැහැ. පවුලේ අය කලාවට සම්බන්ධ ද? කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. මගේ අම්මා නම් නිතරම පොත පත කියවන කෙනෙක්. ඒ ආභාසය වෙන්න ඇති මටත් ලැබිලා තියෙන්නේ. ඒ නිසා මම ආස කළේ කවදා හරි රචකයෙක් වෙන්න. පොඩි කාලේ ඉඳන්ම ලියනවා. පොත් ලියන්න ආසයි. ඒකත් එක්කම තමා සිනමාවට ආස කළේ. කොහොමද මේ කලම්බෝ නිර්මාණය වෙන්නේ, මම ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය තුළ සිනමාව ගැන ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඒ කාලයේ යාළුවො එක්ක අපි කතා කළා චිත්‍රපටයක් කරන්න ඕනේ කියලා. ඒ අනුව තමා 2017 දී මේ චිත්‍රපටය පටන්ගත්තේ. 2018 වෙද්දී චිත්‍රපටයේ වැඩ අවසන් වෙනවා. පිටපත ගැන කතා කළොත් පිටපත ලියන්නේ මමමයි. කොළඹ ජීවත් වන තරුණයාගේ මම දැකපු පැත්ත තමා මේ චිත්‍රපටයට වස්තු විෂය වෙන්නේ. ඒ නාගරික තාරුණ්‍ය තුළ තිබෙන සිහින සහ ඔවුන්ගේ ජීවන රටාව. චරිත ගැන කතා කරද්දී හේමාල්ගෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද? ඒ පිටපතට ඔහු කැමැති වුණා. ඊට පස්සේ තමා අනෙකුත් චරිතවලට සුදුසු චරිත එකතු කර ගත්තේ. හේමාල් කියන්නේ මේ වෙද්දී සිනමාවේ ජනප්‍රියම චරිතය. ඔහුව යොදා ගෙන තියෙන්නේ උපක්‍රමයක් විදියටද? කොහෙත්ම නැහැ, චිත්‍රපටය බලද්දී ඔහු කරන චරිතය එක්ක ප්‍රේක්ෂකයාට තේරුම් යාවි. ඔහු තමා මෙවැනි විවිධත්වයෙන් යුතු චරිතයට සුදුසුම කෙනා කියලා. චරිත සියල්ලටම සුදුසුම අය පමණයි යොදා ගත්තේ. ඒක චිත්‍රපටය බැලුවම ප්‍රේක්ෂකයා තේරුම් ගනී. ඔබ ඉතාම ළාබාල අධ්‍යක්ෂවරයෙක්, කොහොමද මේ දැවැන්ත චරිත මෙහෙයවීම අලුත්ම අත්දැකීමක් වුණා. මොකද මේ මගේ පළමු සිනමා අත්දැකීම සහ අධ්‍යක්ෂණය. මම මීට පෙර සිනමා ඩිප්ලෝමාව හැර ප්‍රායෝගිකව සිනමා නිර්මාණ එක්ක වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා හැම මොහොතක්ම අලුත් අත්දැකීමක් වුණා. නමුත් අදාළ වැඩේදී කොතැනකදීවත් වයස සාධකයක් වුණේ නැහැ. මේ නිර්මාණයට සම්බන්ධ වූ අනෙකුත් අය... කැමරාකරණයෙන් අමිත් ක්‍රිෂාන්ත. එයා කෙටි චිත්‍රපට කරලා තිබ්බත් මෙවැනි චිත්‍රපටයකට සම්බන්ධ වූ පළමු අවස්ථාව. සංගීතයෙන් නම් සම්බන්ධ වුණේ සම්මානිත සංගීතඥ අජිත් කුමාරසිරි. සංස්කරණය තිලංක පෙරේරා. ඔහුත් මීට පෙර චිත්‍රපට කිහිපයක වැඩ කරලා තියෙනවා. නිෂ්පාදන සැලසුම්කරණය තුෂාර කළුබෝවිල. වේශ නිරූපණය රසික තෙන්නකෝන්. සහය අධ්‍යක්ෂණය සීල් ජයස සහ නඳුන් හේමචන්ද්‍ර. ශබ්ද සැලසුම්කරණය දිනේෂ් ඒකනායක. අසම ට අමතක නොවන අත්දැකීම් ඇති මම මීට පෙර කිසිම සිනමා අත්දැකීමක් ප්‍රායෝගිකව ලබලා නැති නිසා මේ චිත්‍රපටයම මට අමතක නොවන අත්දැකීමක්. රූගත කළ ප්‍රදේශ ගැන මතක් කළොත් මහවත්ත සහ මට්ටකුලිය අතර ප්‍රදේශවල. කොහොමද ඒ අවට ජනතාවගෙන් ලැබුණු සහයෝගය ඒ පැත්තේ ඒ අවට හිටිය අය ලොකු සහයෝගයක් දුන්නා. නිෂ්පාදනය ගැනත් කතා කරන්නම ඕනේ මෙය නිෂ්පාදනය කරන්නේ තුන්දෙනෙක් එක්ව. අනුෂ එදිරිමුණි. නිමාලිකා පෙරේරා සහ මගේ පියා අතුල ලියනගේ. චිත්‍රපටයේදී මුහුණ දුන්න අභියෝග මොනවද? චිත්‍රපටය අවසන් කරලා තිරගත කරගන්න එක තමා ලොකුම අභියෝගය වුණේ. ඔබට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ලැබුණු කාලය ගැන මොකද හිතෙන්නේ කොරෝනා නිසා අභියෝගයක් තියෙනවා. ප්‍රේක්ෂකයා සිනමාශාලාවලින් ඈත් වීමක් වෙලා තියෙන කාලයක් නිසා. අනික් අතට මම විශ්වාස කරනවා චිත්‍රපටය හොඳ නම් කටින් කට යන ප්‍රචාරය නිසා හෝ සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයා පැමිණ ඒ සිනමා නිර්මාණය නරඹයි. 2018 නේ චිත්‍රපටයේ වැඩ අවසන් වෙන්නේ, එදා සිට මේ දක්වා ඔබ සිනමාවෙන් ඈත් වෙනවද මේ කාලය තුළ තමා මම සිනමාවට වැඩි කාලයක් දුන්නේ. මම පිටපත් කිහිපයක් ලිව්වා. ඒ වගේම මගේ මිතුරන්ගේ නිර්මාණ එක්ක මම වැඩ කළා. ඒ නිසා සිනමාව ගැන ලොකු අධ්‍යයනයක යෙදෙන්නට මම මේ වසර කිහිපය යොදා ගත්තා. ඒ කියන්නේ ඉදිරියේ තව නිර්මාණවලින් අසම ඉදිරියේදී මුණගැහෙයි අනිවාර්‌යෙන්ම. මේ සිනමාවේ ආරම්භය පමණයි. එකිනෙකට වෙනස් වූ නවමු සිනමා අත්දැකීම් එක්ක නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අනුෂා රණසිංහ
 

More News..