brand logo

සිංහල සිනමාවේ කොකේන් ගහපු එකම නළුවා මම - ඉසුරු

28 September 2019

සතියේ දිනවල රාත්‍රියේ විකාශය වන ටෙලි නිර්මාණ හරහා අසීමිත ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන තියෙන ඉසුරු මේ දිනවල නම් වඩාත් කතාබහට ලක්වන්නේ හුස්ම චිත්‍රපටයේ රුවන්ගේ චරිතය නිසාවෙනි. හුස්මහි ඔබ රුවන්, කොහොමද මේ චරිතය ලැබෙන්නේ? චරිතය ලැබෙන්නේ සුදේශ් වසන්ත පීරිස් මහත්මයා එක්ක මීට කලින් චිත්‍රපට දෙකක වැඩ කරලා තියෙනවා, රන් සයුර සහ ටාසන් එකේ, ඉතින් මට සුදේශ් අයියා කිව්වා මෙහෙම වැඩක් කරන්න ඉන්නේ කියලා මට පිටපතක් ගෙනත් දුන්නා, මම කියවලා බැලුවට පස්සේ ගොඩක් ආස කළා මේ රුවන් කියන චරිතයට. මොකද මම ආසයි පොඩි කාලේ ඉඳන්ම අභියෝගාත්මක දේ කරන්න. ඒ වගේම කියන්නම ඕනේ මේ නිර්මාණයේ නිෂ්පාදකවරයා ගැන නිහාල් විජේසිංහ මහත්මා. එතුමාගේ මුල්ම නිෂ්පාදනය අපිට පූර්ණ නිදහස දුන්නා මේ නිර්මාණය සාර්ථක කරගන්න. මම විශ්වාස කරනවා මේ වගේ නිෂ්පාදකවරු අපි රැක ගන්න ඕනේ මේ සිනමාව ඉදිරියට ගෙනියන්න. කොහොමද ලැබෙන ප්‍රතිචාර? ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මුලින්ම දෙරණ සිනමා සම්මාන උළෙලේ දීත් හෙට දවසේ බලාපොරොත්තු තැබිය හැකි චිත්‍රපට පහ අතරට තේරිලා. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. ඊට පස්සේ මාධ්‍ය දැක්ම දා වගේම, පසුගිය 20 වනදා තිබ්බ මංගල දර්ශනය දාත් ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබුණා. මගේ සිනමා ජීවිතේ මේ වෙද්දී මම චිත්‍රපට 12ක රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ අතරින් මේ තිරගත වුණේ මගේ 4වෙනි චිත්‍රපටය. ඒ අතරින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණේ මේ හුස්ම චිත්‍රපටයේ රුවන් වෙනුවෙන්. මම කවදත් කැමති සිනමාවේ චරිතාංග නළුවෙක් වෙන්න. ඒ යන ගමනට මේ චරිතය හොඳ පිටිවහලක් වුණා. මේ චරිතයට සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන්, සමකාලීන අයගෙන් සහ සිනමා ප්‍රේක්ෂකයන්ගේ ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. තවම සතියක් වගේ නිසා ඉදිරියට තවත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා සුබවාදීව හිතනවා. මේ වෙද්දී ඉසුරු රංගනය තුළින් ස්ථාවර වෙලා ඉන්න කාලයක, මේ වගේ චරිතයක් කිරීම තුළින් ප්‍රේක්ෂකයෝ ඈත් වෙයි කියලා හිතුනේ නැද්ද? මම කවදාවත් එහෙම හිතන්නේ නැහැ. එහෙනම් ශාරුක් ඛාන් ගත්තම ඔහු එන්නෙම සිනමාවට දුෂ්ට චරිතයකින්. අනිත් අතට මෙහෙම හිතන්නකෝ දෙරණ තුළින් කළ රාවණ කියන ටෙලි නිර්මාණයේ මම කුවේර. කුවේර කියන්නේ ලංකාව ඇතුළේ දුෂ්ටයෙක්. ඒ රාවණ චරිතයම ඉන්දියාවේ කරපු එක ලංකාවේ හඬ කවලා තව නාළිකාවක තිරගත වෙනවා එතැන දුෂ්ට වෙන්නේ කුවේර නෙවෙයි රාවණ. ඒ වගේ තමා දුෂ්ටයා වීරයා කියන චරිත මම දකින්නේ සාපේක්ෂ චරිත විදියට. අපි බලන කෝණය අනුව තමා ඒක වෙනස් වෙන්නේ. අනික මම කියන්නේ මේ හුස්ම තුළ කවුරුත් වීරයෝ නැහැ. ඒ වගේම වීරයෝවත් කවටයෝවත් ඉන්න නිර්මාණයක් නෙවෙයි හුස්ම කියන්නේ. හුස්ම කියන්නේ යථාර්ථවාදී සිනමා නිර්මාණයක්. ඒක ඒ මොහොතේ සිදුවන සිදුවීමක් මිසක් කලින් සැලසුම් කළ කිසිවක් නෙවෙයි. මේ චිත්‍රපටයේ මත්ද්‍රව්‍ය භාවිත කරනවා. සැබෑ ජීවිතේ ගත්තම ඉසුරු කොහොමද මේ දේවල් භාවිත කරනවා ද? නැහැ, නමුත් මම රංගන ශිල්පියෙක් විදියට විවිධ චරිත නිරූපණය කරද්දී මේ දේවල් අපිට සිද්ධ වෙනවා. ටෙලි නිර්මාණ සඳහා මම කුඩු පාවිච්චි කරන චරිතයක් කළා. ඒ චරිතයට කලින් මම ගිහින් ඒවා පාවිච්චි කරන තරුණයන් කිහිපදෙනෙක් ඇසුරු කරලා ඒවා ගත්තම ඇතිවන පසුසිද්ධීන් හැසිරීම් රටා ගැන අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම තමා මම මේ චරිතය කරන්නත් කලින් කොකේන් පිළිබඳ අධ්‍යයනයක් කළා. මොකද එහෙම නැත්නම් මම දන්නේ නැහැනේ ඒවා ගත්තම ඇත්තටම මොකද වෙන්නේ කියලා. චරිතයක් සාධාරණ විදියට ප්‍රේක්ෂකයා තුළට සමීප වෙන්නේ ඒ තුළ අපි ජීවත් වන ප්‍රමාණය මත. මම හිතන්නේ සිංහල සිනමාවේ කොකේන් ගහපු පළමු නළුවා මම. මේ හරහා සමාජයට වැරදි දෙයක් සමාජගත වෙනවා කියලා කවුරුහරි කිව්වොත් මොකක් ද ඒකට දෙන උත්තරේ? එහෙනම් මේ රටේ බණ කියන විදියට සහ බණ අහන විදියට පාරේ යද්දී ඉරි නොකපා යන්න කියන්නකෝ. එහෙනම් මේ රට මාර හොඳ වෙන්න ඕනෙනේ. අපේ රටේ ඉතිහාසය ගත්තම අපේ දැවැන්ත චරිත චිත්‍රපටය ඉවර වෙනකම්ම සිගරට් බිව්වා. එතකොට මොකක් ද කියන්නේ, ඒ අපි සිනමාවේ දැක්ක වීරයෝ. එහෙම නම් අපිට කරන්න වෙන්නේ ජාතක කතා පොත විතරයි. ඒ නිසා මම මේකේ කොකේන් බිව්වා කියලා අනිත් අයත් ඒක කරන්නේ නැහැ. අපේ රටේ ජනතාව බුද්ධිමත් කියලයි මම හිතන්නේ. මේ කාලය ගත්තම ඉසුරුට සිනමාව අතින් හොඳ කාලයක් වගේ? ඇත්තටම ඔව්. ඔය කතාව ඩොනල්ඩ් ජයන්ත අයියා පවා මට ඇමතුමක් දීලා කිව්වා. ඉසුරු ඔයා හරි වාසනාවන්තයි කියලා. මම ඇයි ඒ කියලා ඇහුවම කිව්වෙත් එකම කාලයක මණ්ඩල තුනක නිර්මාණ තුනක් තිරගත වෙනවා කියන්නේ රංගන ශිල්පියෙක්ට ලැබෙන හොඳ අවස්ථාවක් කියලා. ඉදිරියට 3 වෙනිදා ඉඳන් තිරගත වෙනවා මහේෂ් මුණසිංහගේ මම උප ප්‍රධාන චරිතයක් කළ රෂ් චිත්‍රපටය. හුස්ම එකේ රුවන් කියන්නේ හැඟීම්වලට මුල් වූ චරිතයක්. නමුත් රෂ් හි ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ චරිතයක්, සමාජ සාධාරණත්වය උදෙසා කටයුතු කරන නීතිය උදෙසා කටයුතු කරන රහස් පොලිස් පරීක්ෂකවරයෙක්ගේ චරිතයක්. ඒ වගේම ඊටත් වඩා වෙනස් වූ ප්‍රධාන චරිතයක් තුළින් මම සිනමාවට එනවා ඒ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ප්‍රසිඩන්ඩ් සුපර් ස්ටාර් කියන චිත්‍රපටය තුළින්. එහි ප්‍රධාන භූමිකා තුනක් තියෙනවා, ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා, මහේන්ද්‍ර පෙරේරා මහතා සහ මම. ඉතින් මම හිතන්නේ මම වාසනාවන්ත වුණා ලංකාවේ ඉන්න ඉතා සාර්ථක වූ අධ්‍යක්ෂවරුන් කිහිපදෙනා අතර කෙනෙක් වන උදයකාන්ත මහතාගේ නිර්මාණයකට දායක වීමට ලැබීම. එහි මම කරන්නේ අසේල රණවීර කියන දේශහිතෛශි චරිතයක්. පොළවේ පය ගහලා ජීවත් වෙන පරහිතකාමී චරිතයක් ඒ තුළින් මම කරන්නේ. අවසාන වශයෙන් මෑතකාලේ සිනමාව ගැන අදහස? මාරම නිර්මාණ ටිකක් එක සැරේ ආව කාලයක් විදියට මම දකින්නේ. විජයබා කොල්ලය තියෙනවා, හුස්ම කියන්නේ කලාත්මක චිත්‍රපටයක්, ඒ වගේම රෂ් කියන්නේ වෙනස්ම වූ වාණිජ චිත්‍රපටයක්, මම දකින්නේ රෂ් කියන්නේ ලංකාවේ වෙන ට්‍රෙන්ඩ් එකක් හදන චිත්‍රපටයක් විදියට සහ උද්දික ගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂය විදියට. රෂ් තුළින් උද්දික හරහා අලුත් වීරයෙක් බිහිවෙනවා. ඒක ඉතාම හොඳයි සිනමාවට. හේමාල්, උද්දික, පුබුදු, සාරංග, දසුන් සහ කැලුම් ආර්යන් මේ වෙද්දී සිනමාව තුළ ඉන්නවා මේ තරගය මරු. විශේෂයෙන්ම ඕක කිව්වා රවීන්ද්‍ර රන්දෙණිය මහතා. එතුමා තමා හුස්ම එකේ ආරාධිත දේශනය කළේ. එතුමා එතැනදී කිව්වා තරුණ රංගන ශිල්පීන්ගේ මේ පිබිදීම මට දැන් බය නැහැ කියලා. ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් වුණත් ඒ අයට එකිනෙකට වෙනස් වූ හොඳ චිත්‍රපට කිහිපයක් බලන්න පුළුවන් කාලයක් විදියට තමා මම මේ කාලය දකින්නේ. දැන් මේක හරි මාර්ගයට වැටිලා තියෙන්නේ දැන් ඉතින් ඉදිරියට අරන් යන්න තමා තියෙන්නේ. අනුෂා රණසිංහ
 

More News..