සිංහල මිනිසුන්ගේ දෙමළ ආදරය මිය යයි
11 October 2022
සිංහල මිනිසුන්ගේ දෙමළ ආදරය මිය යයි
11 October 2022
ඉරිදා උදේ පාන්දර අහන්න ලැබුණේ පපුවට වේදනාවක් ගෙන දෙන ආරංචියක්. දර්ශන් ධර්මරාජ් පපුවේ අමාරුවක් හැදිලා නැතිවුණා කියන පුවත ගොඩක් දැනුණේ මීට දවස් දෙකකට කලින් මනිරත්නම්ගේ ‘පොන්නියින් සෙල්වන්’ තෙලිඟු චිත්‍රපටයේ ප්‍රිමියර් එකට ඇවිත් ඔහු කියූ කතාවක් නිසයි...
‘‘මචං ලංකාවේ දෙමළ මිනිස්සුන්ට අපේ රඟපෑම ගැන කිසිම හැඟීමක් නැහැ, අගයකිරීමක් නැහැ. අපිට අත්පුඩි ගහන්නේ ලංකාවේ සිංහල මිනිස්සු විතරයි. මැරෙන්න කලින් මටත් ඕනේ තමිල්නාඩු චිත්‍රපටයක ඇට් කරන්න. එහෙම වුණොත් දෙමළ උන්ට තේරෙයි ලංකාවෙත් දක්ෂ දෙමළ නළුවෙක් උන්නා කියලා.’’
ඇත්තටම ඔහුට ඒ බලාපොරොත්තුව යථාර්ථයක් කරගන්න ඉඩක් නොතබාම දෛවය විසින් අපට සිටි දක්ෂ නළුවන් කීපදෙනාගෙන් එක් අයෙක් සදහටම නිහඬ කරලා.
රක්වානේ ඉඳලා කොළඹ ආපු දර්ශන් මේ ගමන ආවේ මල් ඇතිරූ මාවතක් දිගේ නම් නොවේ. රංගනය නමැති වේදිකාවට ගොඩවෙන්න ඔහු නොවිඳිනා දුකක් වින්දා. රඟපාන්න තියෙන කැමැත්ත නිසාම ඔහු කාලයක් පිටකොටුවේ මුට්ට පවා කරගැහුවා.
‘‘ලේසි නැහැ බං ජීවත්වෙන එක. රක්වානේ ඉඳලා ඇවිත් පිටකොටුවේ මුට්ට කරගැහුවා. රෑ වෙලා නිදාගන්න තැනක් නැහැ. ස්ටේෂන් එකෙන් ෆ්ලැට්ෆෝම් ටිකට් එකක් අරගෙන ඇතුළේ බංකුවක් උඩ නිදාගන්නවා. සමහර දවස්වල සිකුරිටිලා එළියට ඇදලා දානවා’’ වරක් ඔහු ඒ ආකාරයට ප්‍රකාශ කළා.
ඒ වගේම එල්ටීටීඊ යුගයේ මැනිං මාකට් එකේ වැල්ලවත්තේ හා මරදානේ ජීවිතයට අවදානමක් තිබූ කාලය ගැනත් ඔහු නිතර නිතර කිව්වා... මේ හැම දෙයක් තුළම තිබුණේ නළුවෙක් වීමේ රෝගය. කොටින්ම නළු උණ දර්ශන්ගේ ජීවිතයට හොඳටම වැදිලා තිබුණේ.
1981 මාර්තු මස දෙවැනිදා රක්වානේ උපත ලබන දර්ශන් ධර්මරාජ් සම්මානනීය නළුවෙක් වෙන්නේ දහසක් අභියෝග පරාජය කරලා. ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් දර්ශන්ගේ රඟපෑම අගය කළත් මේ ගමන එන්න ඔහුත් සමග සිටියේ කීප දෙනෙක් පමණයි. ඉන් එක් අයෙක් තමයි රංගන ශිල්පී ඉෂාන් ගම්මුදලි. දර්ශන් වෙනුවෙන් හඬන සැබෑ ගෙදරක් ඇත්නම් ඒ ඉෂාන්ගේ ගෙදර කියලා කියන කාරණාව සත්‍යයක් වෙන්නේ දර්ශන්ගේ දෙවැනි මව් සිටියේ එහි නිසා.
‘‘අපේ අම්මාට දර්ශන් කියන්නෙත් පුතෙක්ම තමා. දර්ශන් ගැන කවුරුත් නොදන්න දෙයක් මම කියන්නම්. ඌ හොඳ මැජික්කාරයෙක්. අපිට පුදුම කරවන මැජික්කාරයෙක්. අද ඌ ලොකුම මැජික් එකක් කළා. ඒ අපි කාටවත් නොකියම යන්න ගිය එක.’’ඉෂාන් කිව්වේ ඇස්වල කඳුළු පුරවාගෙන.
‘‘දර්ශන්ව මට මුණගැහෙන්නේ ටෙලි නාට්‍යයකදී. රූපගත කිරීම් තිබුණේ කිඹිස්සේ. මම කාර් එකේ යන්නේ. කොහොම හරි එදා මට දර්ශන්වත් සෙට් වුණා. මාත් එක්ක කාර් එකේ යන්න සෙට් වුණාට මම මිනිහව වැඩිය අඳුනන්නේ නැහැ. වැඩිපුර කතාබහක් නැහැ. දඹුල්ලත් පහුවෙලා ගමනාන්තය ළංවෙලා මම බාර් එකක් ළඟ නතර කරලා බෝතල් දෙකක් ගත්තා. කතාවක් හිනාවක් නැති දර්ශන්ගේ මුහුණට ඒ වෙලාවේ ආපු හිනාව මට තාමත් මැවිලා පේනවා.
එදා ඉඳලා ඌ මගේ මිත්‍රයා. රඟපෑමේ පිපාසයක් ඔහුට තිබුණේ. නිතර මුණගැහුණට මූ ඉන්නේ කොහෙද කියලවත් මම දන්නේ නැහැ. දවසක් මම ඇහුවා කොහෙද මචං උඹ ඉන්නේ කියලා. තැනක් නැහැ බං, උදේට කාගේ හරි ෂූටින් තියන තැනක ඉඳලා වැඩේ කරලා කොටුවේ ස්ටේෂන් එකට ඇවිත් ටිකට් එකක් අරගෙන නිදාගන්නවා..
දර්ශන් සැහැල්ලුවෙන් එහෙම කියනකොට මගේ ඇස්වලට කඳුළු ආවා. ගත කළේ අසීමිත දුෂ්කර ජීවිතයක් වුණත් අල්පමාත්‍රයක පසුතැවීමක් ඒ ඇස්වල තිබ්බේ නැහැ. හරිම සැහැල්ලුවක් තිබුණේ.
මෙච්චර කට්ටක් කන ඔහු වෙනුවෙන් මමත් දෙයක් කරන්න ඕන කියලා හිතුවා. මම කිව්වා උඹ අපේ ගෙදර වරෙන් කියලා. එදා ඉඳන් දර්ශන් අපේ ගෙදර නැවතුණා. මම රැකියාව කළෙත් කොළඹ නිසා උදේට මාත් එක්ක කාර් එකේ එනවා. ඊට පස්සේ රඟපාන තැන් හොයාගෙන යනවා. පොඩි කෑලිවල ඇට් කරන්නත් යනවා. මුළු දවසම තමන්ගේ අරමුණ වෙනුවෙන් ඇවිදිනවා. හවස ආයෙමත් මගේ ඔෆීස් එකට හරි, ඉන්න තැනකට හරි ඇවිත් සෙට් වෙලා ගෙදර එනවා. ඔය විදිහට අවුරුදු ගාණක් දර්ශන් අපේ ගෙදර උන්නා...
මගේ අම්මට දර්ශන් එයාගෙම පුතෙක් වුණා. මේ ආරංචිය ලැබුණු වෙලාවේ ඉඳලා ඒක මගේ අම්මට දරාගන්න බැහැ. මට මතකයි එක්තරා සම්මාන උළෙලක හොඳම නළුවාට හිමි සම්මානය හිමිවෙලා ඔහු කරපු කතා වේ සියයට අනූවක්ම තිබුණේ මගේ අම්මා ගැන. මට තිබුණ අමාරුම කාරණාව තමා මූට සිංහල කියලා දෙන එක. මුල් කාලේ හරියට සිංහල වචනයක් කතා කරගන්න බැහැ. කුණුහරුපයක් කිව්වත් කියන විදිහට හිනා යනවා. කොහොම හරි චිත්‍රපට දෙබස් එළිවෙනකම් අපි දෙන්නා පාඩම් කරනවා. සමහර දවස්වල එළිවෙනකම් දෙබස් පාඩම් කරනකොට හිස්වෙන බෝතල් ගාණ මට මතකත් නැහැ. එහෙම උන්න එකා මෙහෙම යන්න ගියේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැහැ.
කොහේ උන්නත් මොන දේ කළත් ආගම දහම නියම විදිහට රැක්කා. උදේම නානවා. චාරිත්‍ර වාරිත්‍ර හරියටම කරනවා. නියම හින්දු භක්තිකයෙක්, හෝලි සමරපු කෙනෙක්. නමුත් අන්තිම කාලේ මට දර්ශන්ව මිස් වෙනවා. මට නෙවේ දර්ශන්ට මාව මිස් වෙනවා. අපේ ගෙදරට සමුදීලා පුංචි බොරැල්ලේ ඔහුට ලැබුණ නිවසට ගියාම අපි ටිකක් දුරස් වුණා. පසුකාලීනව ඔහු වටා උන්නේ කවුද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් ඊට පස්සේ වෙච්චි දේවල් ගැන මම කතා නොකර ඉන්න තරමට හොඳයි.
A-9 ටෙලි නාට්‍යයෙන් දර්ශන් ඇරඹි ගමන ඔහු නවතින තෙක් සම්මානනීය ගමනක් බවට පත්වුණා. ප්‍රභාකරන්, මචං, ඉරහඳ යට, ඉනිඅවන්, මාතා, ඇඩ්‍රස් නෑ, ස්පන්දන, ආලෝකෝ උදපාදි, උලත් එකයි පිළත් එකයි, දැවෙන විහඟුන්, සුපර්ණා, පෝරිසාදයා, කබඩි සහ සුනාමි යන චිත්‍රපටවල අමතක නොවන නළුවා බවට පත්වුණා. හොඳම නළුවා සම්මානය කීප වරක්ම සුරතට ගත් දර්ශන් සිංහල සිනමාවට නැතිවම බැරි දෙමළ නළුවා බවට පත්වුණා. මේ දිනවල තිරගත වන ප්‍රාණ චිත්‍රපටයේ සංකිලි රජුගේ භූමිකාව තුළ ඔහු කොතරම් දක්ෂ නළුවෙක්ද යන වග ඔප්පු කර හමාරයි. ඉදිරියේ තිරගත වීමට නියමිත මාරියා චිත්‍රපටය නැරඹූ විට ඔහු නැති පාඩුව, හිඩැස බොහෝ දෙනෙක්ට අවබෝධ වනු ඇත.
දර්ශන් ගැන කතා කරන විට කතා නොකර බැරි චරිතයක් සිටී. දර්ශන් කොතැනද, ශම්මුගරාජා එතැනය.
‘‘මට දර්ශන් අයියාව මුණගැහෙන්නේ ඉනිඅවන් චිත්‍රපටයෙන්. මගේ පළමුවැනි නළුවා. මට වාසනාව ගෙනාපු නළුවා. එදා ඉඳලා ඔහු රඟපාන හැම තැනකම මටත් ඉඩ ලැබුණා. අයියයි, මමයි අතරේ තිබුණේ පුදුමාකාර බැඳීමක්. ඔහුට දෙයක් දැනෙනකොට මටත් දැනුණා. ඔහු දෙයක් කියන්න හදනකොට මම ඒක අවබෝධ කරගත්තා. රංගනය ඇතුළේ විතරක් නෙවේ, පෞද්ගලික ජීවිතය ඇතුළෙත් ඒක තිබුණා. ඒ බැඳීම නිසාම වෙන්න ඇති සිනමාවේ, ටෙලි නාට්‍යයේ ඔහුට තැනක් ලැබෙනකොට මටත් එතැන ඉඩක් තිබුණේ. සමහරු හිතුවේ අපි දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා. ඒ තරමට අපි දෙන්නා ළඟයි.
අද උදේ රේණු අක්කා (රේණුකා බාලසූරිය) මට කතා කළා චරිතයක් ගැන කියන්න. එයා මට කලින් අරගෙන තියෙන්නේ දර්ශන් අයියාට. එයාගේ යාළුවෙක් තමා ෆෝන් එකට කතා කරලා තියෙන්නේ. මම මේ මොකුත් දන්නේ නැහැ. ගුඩ් මෝනිං අක්කේ කියලා වෙනදා වගේම හිනාවෙන්ම රේණු අක්කට කතා කළා. රේණු අක්කා කිව්වා අද නම් ගුඩ් නැහැ නංගියේ කියලා. එතකොටයි මම දැනගත්තේ දර්ශන් අයියා අපිව දාලා සදහටම යන්න ගිහින් කියලා...
මේ ළඟදි දර්ශන් අයියා හරි අපූරු කතාවක් කිව්වා. ‘නංගි අපිට මේ රටේ ආදරය කරන්නේ සිංහල මිනිස්සු විතරයි. අපි කොච්චර කොහොම රඟපෑවත් දෙමළ මිනිස්සු අපේ චිත්‍රපට බලන්නේ නැහැ, දෙමළ අයට අපි කරන දේවල් පේන්නේ නැහැ. මටත් ඕනේ කොහොම හරි තමිල්නාඩුවට ගිහින් දෙමළ චිත්‍රපටයක රඟපාන්න. අපිට රඟපාන්න පුළුවන් කියලා අපේ උන් දැනගන්නේ එදාට. මං ඒක කරනවා නංගියේ...’ ඔහු කිව්වේ ඒ විදිහට. ඒ දේ නොකරම දර්ශන් අයියා යන්න ගියා. ලබන ආත්මේ ඔයා තමිල්නාඩුවේ හරි ඉපදිලා දෙමළ නළුවෙක් වෙන්න ඕන. ලංකාවේ වගේ දුක් විඳින්නේ නැතිව කෝටි ගණන් සල්ලි හම්බ කරන්න ඕන...
මේ අවාසනාවන්ත සිදුවීම මට දවස් දෙකකට තුනකට කලින් දැනුණා. ප්‍රාණ චිත්‍රපටයේ ප්‍රිමියර් එකට යන්න ගියා සාරියක් තෝරන්න මම ගියා. මගේ අත ගියේ කළු පාට සාරියකට. අම්මා ඇහුවා මළගෙදරක යන්නද කළුපාට සාරියක් තෝරන්නේ කියලා. අසුබ ගමන් යනකොට තමා කළු පාට සාරි අඳින්නේ. අද මට දැනෙනවා අසුබ ගමනක් යන්න තමයි ඒ සාරිය තෝරගෙන තියෙන්නේ කියලා. එතකොට දර්ශන් අයියත් මට කතා කළා. ‘නංගි මට ලස්සන ඇඳුම් නැහැ. පුළුවන් නම් ස්පොන්සර් කෙනෙක්ට කියලා හරි හොඳ ඇඳුම් ටිකක් හොයලා දීපන්.. ත්‍රස්තවාදියෙක්ට රඟපාපු මම ප්‍රාණ එකේ රජාට ඉන්නේ. රජා වගේ රඟපාන එක බලන්න යන්න ලස්සන ඇඳුමක් තියෙන්න එපැයි’ ඒ වෙනකොටත් ප්‍රිමියර් එකට යන්න මම දර්ශන් අයියාට ඇඳුමක් තෝරලා තිබුණේ. මම ‘හා අයියේ’ කියලා කිව්වා. එදා ලස්සනට යන්න උන්න දර්ශන් අයියගේ මිනියට ඇඳුම තෝරන්න වුණෙත් මටමයි. මට හිතාගන්න බැහැ දෛවය මේ තරම් නපුරු ඇයි කියලා...
දර්ශන් අයියට ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණා. මොන ප්‍රශ්නය තිබුණත් සුභාෂිණීටයි දුව අභීටයි පුදුමාකාර විදිහට ආදරය කළා. සුභාෂිණී ගුරුවරියක් නිසා දුවගේ අනාගතයට ප්‍රශ්නයක් නොවෙයි කියලා ඔහු විශ්වාස කළා.
ලංකාවේ දක්ෂ නළු නිළියන්ට මේ ආර්ථික ප්‍රශ්නය හොඳටම තියෙනවා. දර්ශන් අයියත් ඒ වගේ කෙනෙක්. අති දක්ෂ නළුවෙක්. ගෙදර සම්මාන පුරවලා තියෙනවා. නමුත් සල්ලි නැහැ. සෙට් එකේ ගිනි ගොඩකට පනින්න කිව්වොත් ඔහු ඒක තාත්විකව කරනවා. බොරලු පාරක සෙරෙප්පු නැතිව දුවන්න කිව්වොත් දුවනවා. නමුත් ඒ රඟපෑමට නිසි ඇගයීමක් ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්. කැමරාව ඉදිරියේ හිනා වුණාට ඒ ජීවිතය ඇතුළේ තිබුණේ ලොකු දුකක්. ලංකාවේ අති දක්ෂ නළු නිළියන්ට විතරයි මේ ප්‍රශ්නය තියෙන්නේ. ටික් ටොක් නළුවෝ, ඉස්ටග්‍රෑම් නළුවෝ ලක්ෂ ගණන් හොයනවා. මේ සිස්ටම් එක වෙනස් නොවුණොත් සිංහල සිනමාවට දක්ෂ නළුවෝ නැති වෙයි. කැපකිරීම් කරන මිනිස්සුන්ට මිලක් නැති වෙනකොට සිංහල සිනමාව ඛේදවාචකයක් වෙන දිනය වැඩි ඈතක නෙවේ. දර්ශන් අයියට තාම අවුරුදු 41යි. ඔහු මෙහෙම මැරෙන්න ඕන කෙනෙක් නෙවේ.
පසුගිය කාලේ ඔහු රූපවාහිනියේ කරපු සමහර චරිත දිහා බලලා මම ඇහුවා ‘ඇයි අයියේ ඔයා මේ වගේ නිර්මාණවල රඟපාන්නේ’ කියලා. ඔහුගේ උත්තරය වුණේ ‘බඩගින්න ඊට වඩා දරුණුයි නංගියේ’ කියන එක. ඒක මගේ පපුවට දැනුණා.
දැන් හැම දෙයක්ම වෙලා ඉවරයි. දර්ශන් අයියගේ මරණයත් එක්ක මටත් රඟපෑම එපා වුණා. කොච්චර කළත් වැඩක් නැහැ. මේ රටේ කොච්චර සිංහල නළු නිළියෝ ප්‍රමාණයක් ඉන්නවාද... දෙමළ අය ඉන්නේ කීප දෙනයි. නමුත් කලාකරුවාට වෙන අසාධාරණ ගැන සිංහල අයටත් කිසිම ගාණක් නැහැ. දෙමළ අපි කතා කළොත් ඒක වැරැදියට ගනීවි. ඒ නිසා හැම දේකින්ම ඈත්වෙන එක හොඳයි කියලා හිතෙනවා. දර්ශන් අයියගේ හිතේ කියාගන්න බැරි දේවල් කොච්චර නම් තියෙන්න ඇත්ද? ඒ හැම දෙයක්ම හිතේ හිර කරගෙන එයා යන්න ගියා. මටත් හිතෙනවා රඟපෑවා ඇති කියලා...’’
ඇයගේ කතාව තුළ දර්ශන්ගේ මරණය මෙන්ම සිනමාවේ බොහෝ දෙනෙක්ගේ පපුවේ කැකෑරෙන වේදනාව මිශ්‍ර වී තිබුණා. දර්ශන් ධර්මරාජ් ගැන සිය දෙනකුගෙන් ඇහුවත් ‘පට්ට හදවතක් තිබුණ එකෙක්’ ඊට එහා උත්තරයක් සොයා ගැනීමට නොහැකියි.
රංගනයට මෙන්ම චිත්‍ර ඇඳීමටද අසාමාන්‍ය දස්කමක් දර්ශන් සතු වුණා. මා මුණගැහෙන අවස්ථාවලද ඔහු කළ ඉල්ලීමක් තිබුණා.
‘‘මල්ලි, මගේ චිත්‍ර ගැනත් ලියපන්කෝ. මම ඇඳපු චිත්‍ර ගොඩක් තියෙනවා’’ දර්ශන්ගේ ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න නොදීම ඔහු අද දුර ඈතක ගොස් හමාරයි. ඔහුගේ මරණයේ උණුසුමත් සමගම ඔහු රඟපෑ ප්‍රාණ චිත්‍රපටය මේ දිනවල තිරගත වෙයි. සංකිලි රජු ලෙස ඔහු තිරය මත තේජාන්විතව සිටියි. නමුත් දර්ශන් ධර්මරාජ් නමැති හිත හොඳ මිනිසාගේ අවසාන හුස්මත් මිහිතලයට මුසුවී හමාරය.
දර්ශන්ගේ වෙන්ව යාම ආදරණීය බිරිඳ සුභාෂිණීට හා දියණිය අභීට කිසිසේත්ම දරාගත නොහැකි විය. දර්ශන්ව කොළඹ තනිකර දමා රක්වානේ ජීවත් වීමට සිදුවීම ගැන අද ඇයට ඇත්තේ දැඩි පසුතැවීමක්...
‘‘මම උගන්වන්නේ රක්වානේ ඉස්කෝලෙක. කොළඹට මාරුවක් ගන්න කොච්චර උත්සාහ කළාද... එහෙම වුණා නම් මමයි, දුවයි දෙන්නම එයා එක්ක කොළඹ ඉන්නවා. හරියට කෑමක් බීමක්වත් ගන්නේ නැතිව කොළඹට වෙලා තනියම උන්නා. අපි දෙන්නා එයා ළඟ හිටියා නම් අද කීයටවත් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.’’
ඒ කඳුළු අතර ලියැවී තිබුණේ පසුතැවීමේ කතාවයි. නමුත් දෛවය සියල්ල තීරණය කර ඇත්තේ නැවත හැරී බැලීමට කිසිවක් ඉතිරි නොකරමය.
ක්‍රිෂාන්ත පුෂ්පකුමාර