brand logo

සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ කවදාද?

15 April 2019

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වීමේ ග්‍රහමාරුව පදනම් කරගත්, සිංහල දෙමළ 2019 ජාතිකෝත්සවයේ දෙවන දිනය අද ය. මාස් කන්නයේ වැපිරූ කුඹුරුවල අස්වැන්න, ගෙවලට ගැනීමේ ප්‍රීතිය භුක්ති විඳීම, මෙරට සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුරාණම නිමිත්තය. එම උත්සවය සමරන මෙරට ජනතාව අතර සිංහල කිතුනුවන් ඉතා හිඟය. වසර හැට හැත්තෑවකට පෙර සිංහල කිතුනුවන් ඊට සහභාගී නොවූ තරම්ය. මෙරට කෘෂිකර්මාන්තයේ යෙදෙන කිතුනුවන් ඉතා හිඟවීම ඊට ප්‍රධාන හේතුවය. උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව ද අප්‍රේල් අවුරුදු උත්සවය ජයෙන් සමරති. ඒ නිසා අද, මෙරට අප්‍රේල් අවුරුදු උත්සවයේ ඇත්තේ බෞද්ධ හා හින්දු පෙනුමකි.කිතුනුවන්, අප්‍රේල් සිංහල අවුරුද්ද, තමන්ගේ උත්සවයක් කර නො ගැනීමට හේතුවූ තවත් කාරණා දෙකක් තිබේ. එක, හැම වසරකම අප්‍රේල් දෙවන තෙවන සති අතර, කිතුහිමි ඝාතනය හා, කිතුහිමි නැවත ඉපදීම (උත්ථානය) සැමරෙන පාස්කු උත්සවය පැමිණීම ය. දෙක, අප්‍රේල් අවුරුදු උත්සවය නැකැත් හා යාතුකර්ම බද්ධව පැවතීමය. සිංහල නැකැත් ක්‍රම හා යාතුකර්ම බෞද්ධ ආගමික බව මෙරට කිතුනුවන්ට කාවද්දා ඇත්තේ, 1960 පමණ දක්වා මෙරට සේවය කළ විදේශීය පූජකවරුය. ඒවා සාතන් (යක්ෂයා) ගේ ක්‍රියා ලෙස හඳුන්වා දෙමිනි. ඔවුන්ගෙන් පසු ඒ ධූරවලට පත් සිංහල පූජකවරු ද සිය ආගමික සාමාජිකයන් අතර පැවති ඒ දුර්මත දුරු කරන්නට කිසිම පියවරක් ගෙන නැත. නැකැත් යක්ෂ ක්‍රියා ලෙස කිතුනුවනට කා වද්දා ඇතත්, රාහු කාලයට අනුව ගෙන් එළියට බසින කිතුනුවන් අපේ ගම්වල සිටිති. දැරියක මල්වර වූ විට, දරුවෙකු විවාහ කර දෙන විට, ග්‍රාමීය නැකැත් ගුරුන් සොයා යන, අලුත් නිවාස තැනීම අරඹද්දී, හොඳ වෙලාවක් බලා ගන්නට දෛවඥයන් සොයා යන කිතුනුවන් ගම්බද සේ ම නාගරිකව ද එමටය. අපේ අම්මලා ගේ කාලයේ උපන් දරුවන්ට නම් තැබුවේ, කතෝලික ලිතේ, එදිනට නියමිත ශාන්තුවරයාගේ නම අනුවය. අද, දෛවඥයන් තනා දෙන මුලකුරු අනුවය. පුරාණයට අනුව නම් තැබූ, ඇන්තනි ලා, ස්ටීවන් ලා, ජෝශප් ලා විලියම් ලා හා ඇලෝසියස් ලා පරණ පූජකවරු ද ගිහියන් ද අතර වූහ. අද පූජකවරු අතර ද සිටින්නේ, දිල්රුක් ලා, තරංග ලා, ඉන්ද්‍ර ලා, ස්වර්ණ ලා , ප්‍රේමලාල් හා රංග ලා ය. ගිහියන් අතර ද තත්ත්වය එ සේ ම ය. සිංහල කිතුනුවනට තවමත් හරි හැටි හඳුන්වා නො දුන්, අප්‍රේල් අවුරුදු උත්සවයක්, බයිබලීය ලේඛකයන් ඉතා මනහරව ග්‍රන්ථාරූඪ කර තිබේ. කිතුහිමි ඉපදීමටත් අවුරුදු දහස් ගණනකට පෙර, මැද පෙරදිග යුදා ජනතාව අතර පැවැත්වුණු අවුරුදු උත්සවයක්ය. ඒ අවුරුදු උත්සවය පැවැත්වීමට, පසුව කිතුනු වූ යුදා ජනතාවට නියම කර ඇත්තේ ලෝකය මැවූ දෙවියන් වහන්සේමය. කිසිදු සමාජ නීතිරීතියකට එකඟව හෝ, සහෝදරත්වයේ ජීවන ක්‍රමවලට හුරුව හෝ ජීවත් නො වූ, දඩබ්බර, අසංවර, අධර්මිෂ්ට හා කාමප්‍රිය ජනතාවක්, "මෝසෙස්" නම් තෝරාගත් මිනිසෙකු ගේ මාර්ගයෙන් හා නුදුටු දේවානුග්‍රහයක බලයෙන්, ධර්මිෂ්ට හා, සහෝදරත්වයේ ජීවිතවලට මාරු වූ අන්දම සඳහන් වන්නේ, බයිබලයේ "නික්මයාම" ග්‍රන්ථ කොටසේ ය. ඒ ජීවිත වෙනස අත්කර ගත්තේ, අවුරුදු හාරසිය ගණනක් මුළුල්ලේ, මිසරයේ පාරාවෝ රජවරු යටතේ වහලුන් ව දිවි ගෙවු පලස්තින ජන කොටසක් ය. මෝසෙස් ප්‍රමුඛව, පෙරකී නුදුටු බලවේගයේ (දෙවියන්වහන්සේ ) අනුහසින්, යුදා ජනතාව මිසරයේ වහල්කමින් මිදී, දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට ලබා දෙන බවට පොරොන්දු වූ, කිරියෙන් පැණියෙන් පිරුණ "දේශය" කරා යාමේ පුවත, බයිබලයේ "නික්මයාම" උප ග්‍රන්ථයේ සඳහන් කථාන්තරය ය. ඒ ගමනට ඔවුනට වසර හතළිහක කාලයක් ගත වී තිබේ. හය ලක්ෂයකට අධික ළමා, තරුණ, වැඩිහිටි ජන කොටසක් ගමනට සහභාගි වන්නට ඇති බව බයිබල් විශාරදයන් ගේ මතයය. ගමන් මග පෙන්වා දී ඇත්තේ ද දෙවියන්වහන්සේ ම ය. වසර හතළිහේ කාලය තුළ අනන්ත, අප්‍රමාණ,දුක් කරදර හා වධ බන්ධනවලට පාත්‍රව, අවසානයේ ගමනාන්තය කරා පැමිණීමේ ප්‍රීතිය සමරන්නට, වාර්ෂික උත්සවයක් පැවැත්වීමට, ඔවුනට නියම කර ඇත්තේ දෙවියන් වහන්සේ ම ය. යුදයානුවන් වසන්ත හෙවත්, අවුරුද්දේ පළමු මාසය ලෙස සැලකුවේ, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරුවන කාලයය. ඔවුන් එම කාල පරාසය හැඳින්වූයේ අවුරුද්දේ "භාග්‍යවන්තම" මාසය ලෙසය. ඒ මාසයේ14 දා සිට 21 දක්වා, මිසර වහල්කමෙන් ගැලවීම සමරන, යුදා ජාතිකෝත්සවය පැවැත්විය යුතු බව දේව නියමය විය. "නුමුහුන් පූප මංගල්ලය", ( ශ්‍රී ලංකාවේ අලුත් සහල් මංගල්ලය) ඒ යුදා ජාතිකෝත්සවය හඳුන්වන බයිබලීය නාම පදයය.ඒ මංගල්ලයේ කේන්ද්‍රය වූයේ ද හිරු ය. ඒ උත්සවය පැවැත්විය යුතු ආකාරය ද බයිබලයේ සඳහන් ය. මාසයේ 14 සිට 21 දක්වා වූ දින හතේ, ඔවුන් අනුභව කළ යුතු වූයේ, නුමුහුන් රොටී පමණි. ඒ දින හතේ ඔවුන් අන් කිසිදු වැඩක නො යෙදිය යුතුය.(නික්මයාම 12 : 1-20) උත්සව වකවානුවට අමතරව, ආහාර පිළියෙල කළ යුතු අන්දම, ගින්දර භාවිතය, සැරසිය යුතු වස්ත්‍රාභරණ, බන්ධු මිත්‍රාදීන් හමුවීමට යාම, නොහොඳ නෝක්කාඩු දුරු කර ගත යුතු අන්දම, එහි සඳහන් ය. අලුත් ගින්දර, නියමිත වෙලාවට ගිනි මෙළවීම, ඒ අවුරුදු උත්සවයේත් වේ. අඳුරෙන් ආලෝකයට පිවිසීම, පැරණි දෙයින් අලුත් දෙයට මාරුවීම, බයිබලීය අලුත් අවුරුදු උත්සවයේත් වේ. බයිබලය පවසන්නේ, ජීවිතය අලුත් කරගෙන, අසමගිකම් දුරලා, නව ජීවිතයකට මාරුවීම, තම අවුරුදු උත්සවයේ අරමුණ බව ය. බයිබලය සඳහන් කරන ඒ අවුරුදු උත්සවය ජනවාර්ගික හෝ, ආගමික උත්සවයක් හෝ නො වේ. දුගී ජන කොටසක්, කෲර පාලනයකින් මිදී, නිදහස ලබා, යුක්තිය හා සාධාරණය පවතින නව දේශයකට පැමිණීම සැමරුමක් විය. ඒ බයිබලීය අවුරුදු උත්සවයත්, මෙරට සිංහල දෙමළ අවුරුදු උත්සවයත්, උස්මිටිකම් හා අසමගිය රහිත, සම සමාජ බිහිකරන මූලධර්ම මත සැකසුණු සැමරුම් බව, අපේ ප්‍රත්‍යක්ෂයය. යුරෝපය හරහා මෙරට පැමිණි ක්‍රිස්තියානිය, ඒ බයිබලීය නුමුහුන් රොටී මංගල්ලය, ක්‍රිස්තියානිය වැලඳගත් මෙරට මුල් කිතුනුවන්ට, හඳුන්වා දී නැත. ජාතික එකමුතුකමකින් පැවැත්විය හැකි අප්‍රේල් අවුරුදු උත්සවය තමන් ගේ ද කරගැනීම ගැන අලුතින් සිතන්නට හැකි සංහිඳියා පරිසරයක් දැන් කොළඹ කිතුනුවන් අතර ගොඩනැගෙමින් තිබේ. මේ රටේ පදනම බුද්ධ ධර්මය බවත්, තමන්ට ඉත්තෑපානේ හාමුදුරුවන් හඳුන්වා දුන්නේ දෙවියන් වහන්සේ බවත්, මැල්කම් කාදිනල් රංජිත් හිමි වරක් පැවසුවේය. කිතු දහම පවතින්නේත්, බුදුදහමේ සෙවණැල්ල යට බව තවත් වරක් කාදිනල් හිමි පැවසුවේ ය. රටේ යම් යම් පන්සල්වලින් කෙරෙන ආරාධනා පවා පිළිගෙන කාදිනල් හිමි ඒවාට වඩින්නේය. (මෑතක උදම්මිට උත්තමාරාමයට) ඒ ආකාරයටම, බුදුදහමේ සෙවනැල්ල යට රටේ වැඩි භූමි ප්‍රදේශයක පැවැත්වෙන සිංහල අවුරුදු උළෙල, බයිබලීය නුමුහුන් රොටී මංගල්ලය හා බද්ධ කර පවත්වන විධිවිධාන කිතුනුවන් අතර ඇරඹීමට පුරෝගාමී වීමට මැල්කම් කාදිනල් රංජිත් හිමිට හැකි නම්. මේ දිනවල රූපවාහිනී නාළිකා රැසක්, රට පුරා ගම් නියම් ගම් රැසක පවත්වන අවුරුදු උත්සව ගැන රට දැනුවත් කරයි. ඒවා අතර කිතුනු අවුරුදු උත්සව ගැන හා හූවක් නැත! මෙරට කිතුනුවා වහා ස්වදේශික කළ යුතු බවට 1968 ශ්‍රී ලංකා ජාතික කතෝලික කතිකාව තීන්දු කළේය. ඒ සමග මෙරට කතෝලික සභාව, ලතින් බස පසෙක ලා, දේවමෙහෙයන් සිය බසින් පැවැත්වීම ඇරඹීය. සිය මංගලෝත්සව අලංකාර කිරීම සඳහා කුඩ, කොඩි, සේසත් භාවිතයට පිළිපන්නේය. ඕගනීය නාද තාල වෙනුවට සිංහල සංගීත භාණ්ඩ හා නාද තාල භාවිතය ඇරඹීය. ඒ තීන්දු මේ වසරේ මැයි මස පනස් විය සපුරයි. ඒවා අදටත් පරණ නැත. අද වෙසෙන පූජකවරු වැඩි පිරිස ඒ තීන්දු ගැන දන්නේ නැත. දන්නා ජ්‍යෙෂ්ඨ පූජක පිරිස ඒවා පෙන්වා දීම පසෙක තබා ඉච්ඡා භංගව මෙන් සිටිති. ඒ තීන්දු අඩුතරමින් රදගුරුවරු අතරවත් කතාබහට ලක්වෙනවායි අපට අසන්නට නො ලැබේ. "පුළුල්, පෝෂිත, ජාතික සමගියක් සඳහා, අන් ආගමික හා ජනවර්ගවල සංස්කෘතිකාංගවලට එක්වීමේ....මම සිංහල...මම දමිළ...මම කිතුනු ලෙස නොව... අප ශ්‍රී ලාංකික ලෙස සිතා පොදු ජාතික උත්සවවලට එක්වීමේ...." තීන්දුව 1968 ශ්‍රී ලංකා ජාතික කතෝලික කතිකාව ගෙන තිබේ. සිරිල් එඬේරමුල්ල.
 

More News..