brand logo

සිංහල ජාතිය ඉලක්ක කළ කොටින්ගේ පළමු ප්‍රහාරය

26 December 2018

එවකට වව්නියාව පොලිස් අධිකාරිවරයාව සිටි ආතර් හේරත් මහතා එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද්දේ ඔහු අසුන් ගත් නිල ආසනයේ අටවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් බව හෙළි වුණි. ආරක්ෂක නිලධාරියකු මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී වෙඩි හෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීම සාමාන්‍ය දෙයක් වුවද, පොලිස් ප්‍රධානියකුගේ අසුනේ බෝම්බයක් ඇටවීම යනු සංකීර්ණ කාර්යයකි. සත්‍ය වශයෙන්ම මෙහිදී සිදුව තිබුණේ ත්‍රස්තවාදින්ගේ දක්ෂතාවට වඩා පොලිසියේ දුර්වලතාවයි. එනම් එකල වව්නියාවේ නිසි බුද්ධි ඒකකයක් නොතිබුණි. ආතර් හේරත් මහතා රැඳී සිටි පොලිස් අධිකාරි කාර්යාලයට යාබදව පිහිටා තිබුණේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැළ තවානයි. බෝම්බ පිපිරීමෙන් පසුව කාර්යාලයේ ජනේලයකින් එබී බලා තිබුණේ තරුණ කාන්තාවක් බවටද එකල තොරතුරු හෙළි විය. එලෙස එබී බැලූ තරුණිය එවකට වව්නියාව ප්‍රදේශයේ ත්‍රස්තවාදී නායකයකු වූ අම්බිකපලාන් (එජාප සංවිධායක පුලේන්ද්‍රන් ඝාතනයේ ප්‍රධාන සැකකරු) නමැත්තාගේ සොහොයුරියක බවටද එකල මාධ්‍ය වාර්තා කර තිබිණ. එම තරුණිය පොලිස් අධිකාරී කාර්යාලයට යාබදව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පැළ තවානේ කම්කරු සේවිකාවක ලෙස රැකියාව කර තිබිණි. පොලිස් අධිකාරී කාර්යාලයට නිසි ආරක්ෂාවක් මෙන්ම නිසි ලෙස වැටක් ද නොතිබුණි. අප නිවස ආසන්නයේ එ් කාලයේ ගුරු අම්මා නමින් කාන්තාවක පදිංචිව සිටියාය. ඇගේ සැමියා වූයේ කාලිමුත්තු නමැත්තෙකි. ඔහු වව්නියාව රෝහලේ සනීපාරක්ෂක කම්කරුවකු ලෙස රැකියාව කළේ ය. ඔවුන් දෙපළට පිරිමි දරුවන් සිව් දෙනෙකි. වැඩිමල් පිරිමි දරුවා 1984 වන විට තරුණ වයසේ පසු විය. එම තරුණයා රැකියාව කළේ ආතර් හේරත් මහතාගේ කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයකු (පියන්) ලෙසයි. මේ අතර ආතර් හේරත් මහතාගේ මරණයෙන් දින කිහිපයකට පසුව ගුරු අම්මා විලාප තියමින් අප නිවසට පැමිණියා ය. පෙර දින රැකියාවට ගිය තම පුතු නොපැමිණි බවත්, පෙර දින පස්වරුවේදී රැකියාව අවසන් වී නිවසට පැමිණෙමින් සිටියදී අප නිවස පෙනෙන මානයේදී සාමාන්‍ය ඇඳුමින් සැරසී වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පුතුව පැහැරගෙන ගොස් තිබෙන බවත් පැවසුවාය. ඔහුගේ පාපැදිය වව්නියාව රෝහලේ ගේට්ටුව අසල තිබී හමු විය. අතුරුදන් තරුණයා ප්‍රියමනාප තරුණයකු වූ අතර සියලු දෙනා සමග හොඳින් සිටි අහිංසක තරුණයකු ලෙස ගම්වැසියන් අතර ප්‍රචලිතව සිටියේ ය. පසුව ලැබුණ තොරතුරකින් කියවුණේ එම තරුණයා පොලිස් අධිකාරී ඝාතනයේ සැකකරුවකු බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (සීඅයිඩී) පැහැරගෙන ගිය බවත්ය. කෙසේ නමුත් ඉන් පසුව ඔහු පිළිබඳ තොරතුරක් ලැබුණේ නැත. එයින් දින කීපයකට පසුව ප්‍රදේශයම ගඳ ගස්වමින් පොලිස් රියක් රෝහල් මෘත ශරීරාගාරය වෙත ධාවනය විය. එම රියේ පැමිණි පොලිස් නිලධාරීහු රිය රෝහල් මෘත ශරීරාගාරයේ දමා අප නිවස අසලට පැමිණ සිටියෝ ය. ඔවුන් සමග කතාබහ කිරීමේදී දැන ගන්නට ලැබුණේ ආතර් හේරත් මහතා ඝාතනයට ලක් වූ දින එනම් 1984 අගෝස්තු 05 දා ත්‍රස්තවාදීන් විසින් වව්නියාව, මුලතිව් සීමාවේ පිහිටි ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර එය විනාශ කර දමා තිබෙන බවයි. ඔහු සමග සිටි එක් නිලධාරියකු ප්‍රහාරයෙන් ගොඩනැගිල්ල කඩා වැටෙනවිට වහලක එල්ලී සිටිය බවත්, එල්ටීටීඊය විසින් තැබූ වෙඩි පහරවල් පාද අතරින් ගොස් බිත්තියේ වැදුන බවත්ය. ප්‍රහාරය එල්ලවන විට පොලිසිය තුළ ලංගම රියැදුරකුද විය. එල්ටීටීඊය ලංගම බස් රථ, දුම්රිය ඇතුළු රජයේ දේපොළ විනාශ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබූ බැවින් දුර ගමන් යන බස් රථ රාත්‍රියේ දී ආරක්ෂාව සඳහා පොලිස් ස්ථාන තුළ නවතා දැමීමට රජය කටයුතු කර තිබුණි. ප්‍රහාරය එල්ල වන විට දිවි ගලවා ගැනීම සඳහා ගොඩනැගිල්ල තුළ​ට රිංගා ගත් දෙමළ ජාතික රියැදුරා ගොඩනැගිල්ලට යට වී මියගොස් තිබුණි. අතුරුදන් ඔහුගේ සිරුර දින කීපයකට පසුව සුන්බුන් ඉවත් කරන විට හමු වී තිබුණි. ප්‍රහාරය එල්ලවන විට එහි නිලධාරින් පිරිස ඉවත් වීම නිසා මියගොස් තිබුණේ නිලධාරින් දෙදෙනකු පමණි. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ආතර් මහතා පිළිබඳ 1980 දශකයේ දී එතරම් අවධානයක් නොමැති වුවද, මාලිංග හර්මන් ගුණරත්න (මෛත්‍රී ගුණරත්න මහතාගේ පියා) විසින් රචිත කෘතියක ආතර් හේරත් මහතා ගැන සඳහන් කර තිබිණ. වැඩිදුරටත් දැක්වෙන පරිදි 1877 දී 1983 දී ඇති වූ ජාතිවාදී කෝලාහලවල දී දකුණේ පදිංචි දෙමළ වැසියන් විශාල පිරිසක් අවතැන් වූහ. අනාථයන් ලෙස රැකවරණ පතා උතුරට පැමිණි මෙම ජනතාව සාම්ප්‍රදායික උතුරේ දෙමළ ජනතාව සාදරයෙන් පිළිගත්තේ නැත. මෙහිදී විශේෂයෙන් බලපෑවේ උඩරට පහතරට භේදය හා කුල භේදයයි. අනාථයන් ලෙස උතුරට පැමිණි දෙමළ ජනතාවගෙන් වැඩි පිරිසක් උඩරට වතුකරයේ ජනතාව වූ අතර කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සුළු සුළු රැකියා කළ කුලයෙන් පහත් යැයි සම්මත දෙමළ වැසියෝ ද වූහ. (යමක් කමක් කළ හැකි උගත් හා ව්‍යාපාරික දෙමළ ජනතාව සරණාගතයන් ලෙස යුරෝපයට විදේශගත වූහ) උතුරට පැමිණ යන එනමං නැති වූ දෙමළ අනාථයන් හට සහන සැලසීම සඳහා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දේශීය රාජ්‍ය නොවන සංවිධානද විය. ෆෙරූට් හෙරාඩ්, රෙඩ්බානා වැනි විදේශ සංවිධාන ඒ අතර විය. එම ආයතන තුළ ජනතාවට සහන සැලසීමට අමතරව සැඟවුණු න්‍යාය පත්‍රයක්ද තිබුණි. එනම් අන්‍යාගම්කරණයයි. මෙම විදේශ සංවිධානවලට මුවා වී විවිධ ආගමික නිකායන් පැමිණ ආගම ව්‍යාප්ත කළේ ය. ඔබ අදටද වව්නියාව නෙදුන්කර්ණි ප්‍රදේශයේ පාලමොට්ටෙයි, පේමඩු, මුලතිව් රෙඩ්බානා විලේජ් ආදී ගම්වලට ගොස් කතාබහ කළහොත් ඔවුන්ගේ පොදු ලක්ෂණයක් නම් වැඩිහිටියන් සිංහල කතා බහ කළ හැකි ජාතිවාදයක් නොමැති කලකට පෙර දකුණේ පදිංචිව සිටි වැසියන්ය. ඔවුන්ගේ ඊළඟ පරම්පරාව සිංහල බැරි ජාතිවාදයෙන් පෝෂණය වූවන් මෙන්ම ඇතැමුන් එල්ටීටීඊයටද බැඳී සටන්කාමීන් ලෙස කටයුතු කළ වුන්ය. එමෙන්ම මෙම ගම්මාන තුළ තැනින් තැන කුඩාවට සැදූ විවිධ ආගමික නිකායන්ට අයත් දේවස්ථානද වේ. එහි මුල් පරම්පරාව හින්දු වන නමුත් මේ වන විට පවුල් පිටින් ආගම වෙනස් කර ඇත. අවතැන් දෙමළ ජනයා නැවත පදිංචි කිරීමේදී Trro ගැන්ඩියම් ව්‍යාපාරය වැනි දේශීය සංවිධාන එක්ව සිටියහ. (ගැන්ඩියම් ව්‍යාපාරයේ නිර්මාතෘ වෛද්‍ය සුන්දර රාජ් 1983 වැලිකඩ බන්ධනාගාරයේදී ඝාතනය විය) දේශීය රාජ්‍ය නොවන සංවිධාන බොහෝ විට එවකට ත්‍රස්තවාදී සංවිධාන සමග සබඳතා පැවැත් වීය. ටෙලෝ සංවිධානයෙන් දේශපාලනයට පිවිසි හිටපු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරයකු වන එම්. කේ. ෂිවාජිලිංගම් මහතා ලියුම්කරු සමග පැවසුවේ 1978 දී කාර්මික නිලධාරියකු ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි කරන විට නෙඩුන්කර්නි ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩම්වල අනාථ වූ දෙමළ ජනතාව පදිංචිකරවීම සඳහා තමන්ද සම්බන්ධ වූ බවයි. කැලෑ ඉඩම් එළිකරමින් ස්වේච්ඡා සංවිධානවල කැමැත්ත මත පදිංචි කිරීම් කළ බවද හෙතෙම පැවසීය. එකල නෙඩුන්කර්නි ප්‍රදේශයේ ටෙලෝ ගරිල්ලා කඳවුරක් පිහිටා තිබූ බවද 15-20 ක් පමණ වූ එහි සිටි පිරිසට අවශ්‍ය ආහාරපාන ලබා දීමේ රාජකාරිය ඔහුට පැවරී තිබූ බවද ඔහු කීය. ඒ අනුව ඔහු මුලතිව් නගරයෙන් මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය කැලෑ මාර්ග ඔස්සේ රැගෙන ගොස් ගරිල්ලා කඳවුරට ලබා දී නැවත රාජකාරිය සඳහා පැමිණෙන්නේය. මෙලෙස සිදු කෙරෙන අනවසර පදිංචි කිරීම් පිළිබඳ එවකට රජයේ අවධානය යොමු විය. මාලිංග එච්. ගුණරත්න මහතා විසින් රචිත කෘතියේ සඳහන් වන පරිදි එවකට රජයේ අවධානය මේ පිළිබඳ යොමු වී තිබේ. ඒ අනුව මහවැලි ඉඩම් නිලධාරියකුවූ ටී. එච්. කරුණාතිලක මහතාගේ නායකත්වයෙන් යුත් පිරිසක් මේ සඳහා පත් කර ඇත. 1983 ඔක්තෝබර් 12 දා ‘මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් ද්‍රවිඩයන් සහ නොරටුන් විසින් බලෙන් අල්ලා ගැනීම’ යන සිරස්තරලය යටතේ දීර්ඝ ලිපියක් එවකට මහවැලි අමාත්‍ය්‍යවරයා වන ගාමිණී දිසානායක මහතා වෙත යොමුකර ඇත. එහි අවසාන වශයෙන් සඳහන් කර ඇත්තේ පාරම්පරිකව පදවිය සිංහල ජනාවාසවලට තර්ජනයක් වන ආකාරයට ඊට කිලෝ මීටර කිහිපයක් උතුරින් ජනාවාස කිරීමක් සිදුවන බවයි. අවුරුදු 20 ක විශේෂ බදු පදනමක් මත ඩොලර් ෆාම් හා කෙන්ට් ෆාම් ලෙස ගොවි බිම් තිබෙන බවත්, බදුකරයේ කොන්දේසි උල්ලංඝනය කරමින් මහ පරිමානයෙන් ජාති විරෝධී කටයුතු සිදුකරන බවයි. එහි තිබූ තාවකාලික ගොඩනැගිල්ලක තරුණ පූජකවරයකු පිරිසකට දේශනයක් දෙමින් සිටින බව දුටු බවද ඔහු සිය වාර්තාවේ සඳහන් කර ඇත. මේ තත්ත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් එය වැළැක්වීමට කටයුතු කරන ලෙසද එම ලිපියෙන් දක්වා ඇත. මෙම වාර්තාව ලැබීමෙන් පසු 1984 අප්‍රේල් මාසයේ එක් දිනෙක මාලිංග ගුණරත්න හා ඔහුගේ රාජකාරී සගයකු වූ මේජර් කලු විජේරත්න යන අය සමග බම්බලපිටියේ භෝජනාගාරයකදී එවකට වව්නියාව පොලිස් අධිකාරී ආතර් හේරත් මහතා හමු වූ බවද එම අවස්ථාවේදී නෙදුන්කර්ණි කැලෑවේ පිහිටි ත්‍රස්තවාදී කඳවුරු හා අනවසර පදිංචි කිරීම් පිළිබඳ තොරතුරු ලබා දුන් බවද ගුණරත්න මහතා කියයි. එම වාර්තා අනුව ආතර් හේරත් මහතා විසින් අනවසර පදිංචි කිරීම් ඉවත් කිරීමට කටයුතු කළ බවද ගුණරත්න මහතා කියයි. ඉන් මාස කීපයකට පසුව හේරත් මහතා ඝාතනයට ලක් විය. මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ ආතර් හේරත් මහතා ත්‍රස්තවාදීන් මර්දනය සඳහා විශේෂ කාර්යභාරයක් කළ බවයි. එමෙන්ම හේරත් මහතා මියගිය දිනයේ දී වව්නියාව භීෂණයෙන් වෙළී ගියේ ය. එදින පස්වරුවේ දී පැතිර ගිය ආරංචියකින් කියැවුණේ හේරත් මහතාගේ මරණයට පෙර දින වව්නියාව නගරයේ පිහිටි ප්‍රධාන ආපන ශාලාවක හිමිකරුවකුගේ පුත්‍රයෙකු ත්‍රස්තවාදී කරුණු සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බවත්, දෙමළ දේශපාලනයේ බලපෑම් මත හා එවකට වව්නියාවේ ජනප්‍රිය නීතිඥයකු වූ සිත්තම්පලම් මහතාගේ (දැන් ඔහු ජනාධිපති නීතිඥයෙකි) ඉදිරිපත් වීම මත නිදහස් කිරීමට සිදු වූ බවයි. එම කතාබහ යන අතර රාත්‍රියේ දී වව්නියාව නගරය වෙඩි හඬින් ගිගුම් දුන්නේය. උදෑසන ආරංචි වුණේ සන්නද්ධ පිරිසක් විසින් අදාළ ආපන ශාලාවට හා නීතිඥයාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. ආපනශාලාව වසා තිබුණු බැවින් තාප්පයකට නැග ආපන ශාලාව දෙස බැලූ විට දැක ගන්නට ලැබුණේ එහි මුළුතැන්ගෙය තුළ 5-6 දෙනකු මරණයට පත්ව තිබෙන ආකාරයය. එමෙන්ම නීතිඥ සිත්තම්පලම් මහතාගේ නිවසේ ඉස්තෝප්පුවේ මෙරට සාදන ලද පුපුරා නොගිය විශාල බෝබ්බයක් විය. එම නිවස ඉදිරිපිට හිස් භූමියේ ආපන ශාලාවේ හිමිකරු වෙඩි තබා ඝාතනය කර තිබුණි. එදින සවස්වන විට සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබිණ. සන්නද්ධ පිරිස වව්නියාව හොරොව්පතාන මාර්ගයේ පිහිටි ආපනශාලා හිමිකරුගේ නිවසට ගොස් ඔහුව රැගෙන කෙලින්ම ගොස් තිබුණේ නීතිඥ සිත්තම්පලම් මහතාගේ නිවසටයි. රාත්‍රියේ නිවස වසා තිබුණු බැවින් හදිසි වුවමනාවකට පැමිණි බවත් දොර අරින ලෙසත් දෙමළෙන් ප්‍රකාශ කරන ලෙස ව්‍යාපාරිකයාට පවසා ඇත. නමුත් ඔහු දෙමළෙන් පවසා ඇත්තේ ‘‘උඹ පැනලා පලයං මෙතනට ආවොත් මැරුම්’’ යන්නයි. එහිදී පිටුපස දොරෙන් පළාගිය නීතිඥයා නැවතුනේ එංගලන්තයෙනි. වසර ගණනාවකට පසු ලංකාවට පැමිණි ඔහු ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයකු ලෙස කටයුතු කරයි. අප නිවසට ආසන්නයේ ඔහුගේ නිවස පිහිටා තිබෙන අතර අප පවුලේ නීතිඥයා වන්නේද ඔහුය. දකුණේ අවතැන් වූ දෙමළ ජනතාව උතුරේ පදිංචි කරවීම තුළ දෙමළ ත්‍රස්තවාදී සංවිධානවලට විශාල වාසියක් ගෙන දුන්නේ ය. එම පවුල්වල දෙවන පරම්පරාව පහසුවෙන්ම ත්‍රස්තවාදී සංවිධානයටෙ බඳවා ගැනීමට හැකි විය. ඊට හොඳ උදාහරණයක්ද තිබේ. එජාප රජය හා එල්ටීටීඊය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව 2002 මාර්තු 15 දා ඒ -9 මාර්ගය වව්නියාව මාන්කුලම කොටස විවෘත කරන ලදී. මෙම අවස්ථාව වාර්තා කිරීම සඳහා මාද එහි ගිය අතර මාගේ හිතවතකු වූ නුවන් ගන්කන්ද ලක්මිණ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස එහි පැමිණියේ ය. මෙහිදී නුවන් ගන්කන්දට දෙමළ භාෂා පරිවර්තකයකු ලෙස මා සහය විය. මෙම අවස්ථාවේදී සාමාන්‍ය ඇඳුමෙන් සැරසී සිටි එල්ටීටීඊ බුද්ධි අංශ නායකයකු කතාබහට එක්විය. නුවන්ගන්කන්ද යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ බැවින් ඔහුගෙන් එම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිළිබඳ විමසීය. මෙහිදී එක් පවුලක් පිළිබඳ විමසා එම පවුලේ සාමාජිකයන් පිළිබඳ නම් වශයෙන් කැඩිච්ච සිංහලෙන් විමසීය. එහිදී ඔහු විමසූ කීප දෙනකු ජීවතුන් අතර සිටින බවත්, තවත් කීප දෙනකු මියගොස් ඇති බවත් පැවසීය. එම පුද්ගලයන් පිළිබඳ විමසන විට එම එල්ටීටීඊ බුද්ධි ප්‍රධානියාගේ දෑස කෝපයෙන් දිලිසෙන ආකාරය මම දුටිමි. ඔබ ඇයි ඒ අය ගැන විස්තර අහන්නේ යැයි මා විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ ජාතිවාද කෝලාහල සිදුවන විට එම පුද්ගලයන් තම නිවසට පැමිණ නිවාස ගිනිතබා පහර දී පලවා හැරිය බවයි. ඔහු එවකට පාසල් ශිෂ්‍යයකු බවද පැවසීය. පසුව සිය පවුල සමග වන්නියේ පදිංචි වී මුල් කාලයේ දුක්ඛිත ජීවිතයක් ගත කළ බවත්, දැනුම් තේරෙන වයස එළඹෙන විට තමා එල්ටීටීඊය වෙත එක්වූ බවද පැවසූ ඔහු එල්ටීටීඊ සටන්කාමීත්වය පිළිබඳ උජාරුවෙන් කතා කළේ ය. මේ අතර 1984 එක්තරා දිනෙක වව්නියාවේ අප නිවසට පැමිණි සිංහල ජාතික කීප දෙනකු කටුකුටු ගාමින් යම් රහසක් කතා කරනවා දුටිමි. ඒ සමග අප නිවැසියන්ගේ මුහුණුද බැරෑරුම් විය. එදින ලැබුණ පණිවුඩය වූයේ වැලිඔය ප්‍රදේශයේ සිංහල ගම්මානයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවත්, එහිදී සියයකට අධික සිංහල ජාතිකයන් පිරිසක් අමානුෂික ලෙස ඝාතනය කර තිබෙන බවත්ය. එලෙස ප්‍රහාර එල්ල වී තිබුණේ ඩොලර් ෆාම් හා කෙන්ට් ෆාම් යන සිංහල ජනාවාස පැවති ගොවිපොළ දෙකටයි. රජය විසින් අනවසර දෙමළ ජනපදිකයන් ඉවත්කර එම ස්ථාන එළිමහන් සිර කඳවුරු බවට පත්කර සිංහල සිරකරුවන් පවුල් පිටින් පදිංචි කර තිබිණ. ඔවුහු ප්‍රහාරයට ඉලක්ක වූහ. එතෙක් ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර තිබුණද සිංහල යන ජාතිය ඉලක්ක කරමින් එල්ල වූ මුල්ම ප්‍රහාරය එය විය.  
 

More News..