brand logo

සිංහල ගෑනු ළමයෙක් පෙම්වතිය වුණා නම්...

19 March 2022

අද දවසේ අපි ඔබට සමීප කරන්නේ කලා කුසලතාවන් සපිරි තාරුණ්‍යයේ පසුවන තවත් අලුත් රංගන ශිල්පියෙක්ව. ඔහු නමින් ටී. ධර්ශන්. ශක්ති නාළිකාවේ නිවේදකයකු ලෙස සහ රංගන ශිල්පියෙකු දමිළ ජනතාවගේ ආදරය ආකර්ෂණය දිනාගත් මේ යෞවනයා මේ වෙද්දී සිංහල රසිකයෝ අතර දුෂ්ටයාගේ චරිතයෙන් පැමිණ තිබේ. දෙරණ නාළිකාවේ විකාශය වූ හිතුවක්කාරහි කෙවින්, ඒ වගේම මේ දිනවල විකාශය වන සිඳු 3 - ශක්තිහි වර්ණට පණ පොවන්නේ කඩවසම් යෞවනයා. කොළඹ ඉපදී විවේකානන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඔහු කලාවට සම්බන්ධ වෙන්නෙ බොහෝ බලාපොරොත්තු හිතේ තබාගෙන. නමුත් ඔහුගේ ආරම්භය වෙන්නේ චිත්‍ර කලාව. පොඩි කාලේ ඉඳන්ම මම චිත්‍ර අඳිනවා. අට වසරේ නවය වසර වගේ වෙද්දී Portrait අඳින්න ගත්තා. දැන් මම හොඳින්ම Portrait අඳින්න දන්නවා. චිත්‍ර කලාවට තමා මම මුලින්ම සම්බන්ධ වුණේ. මගේ හිතේ තිබ්බා කෙනෙක් එක් කලා මාධ්‍යයකට සම්බන්ධ වුණොත් අනෙකුත් කලා මාධ්‍යයන්වලට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඒ නිසා පොඩි කාලේ ඉඳන් රඟපෑම පැත්තත් පොඩියට කරගෙන ගියා. මම සුදු නිසා යාළුවෝ කට්ටිය මාව මිස්ටර් බීන් කරගෙන හිටියා. හැබැයි උසස් පෙළ ඉවර වුණාට පස්සේ මමම දන්නේ නැහැ මම මොනවද කරන්නේ කියලා. මොකද උසස් පෙළ මම කළේ වාණිජ ධාරාවෙන්. හැබැයි විෂයන් දෙකයි මම සමත් වුණේ. ට්‍රැවල් කරන්න ආස නිසා cabin crew එකට යන්න හිතුවා. ඒ නිසා cabin crew ඉගෙන ගත්තා. නමුත් ඉන්ටව් යන්න ලැබුණේ නැහැ. ඒ දවස්වල මම පාරේ යනවා දැකලා ශක්ති ටීවී එකේ ප්‍රසන්ටර් කෙනෙක් ඇවිත් මා එක්ක කතා කළා. එයා කිව්වා ටැමිල්වලින් ටෙලි සීරියස් එකක් කරන්න ඉන්නවා ඔයාගේ නම්බර් එක දෙන්න කියලා ඉල්ලා ගත්තේ. මට එදා නම් ඕනේ වුණේ ජොබ් එකක් නැති කාලේ නිසා මාධ්‍ය ඇතුළට යන්න. ඒ නිසා මම කිව්වා කැමරා ගැන මට ලොකු අවබෝධයක් නැහැ. ආර්ට් ප්‍රඩක්ෂන්වල වැඩක් තිබ්බොත් කියන්න කියලා මමත් එයාගේ කන්ටැක් එක දාගත්තා. එදායින් පස්සේ fb එකේ එහෙම චැට් කරගෙන ෆිට් එකේ හිටියා. එයා මගේ ප්‍රොෆයිල් එක ශක්ති ටීවී එකේ ඩිරෙක්ටර් කෙනෙක්ට පෙන්නලා තිබ්බා. මට ඉන්ටව් එන්න කිව්වා. එදා මගෙන් ඇහුවෙත් ටීවී ෂෝ එකක් කරන්න කැමතිද කියලා. මම මුලින්ම කැමති වුණේ නැහැ. ඒත් එයා කිව්වා හොඳ පේමන්ට් එකක් දෙන්නම් කියලා. ඒ වෙද්දී cabin crew රැකියාවත් පරක්කු නිසා පොඩි කාලෙකට කරමු කියලා හිතලා කැමති වුණා. එතැනදී ටෙලි සීරියස් හයක් විතර කළා. සිංහල නාට්‍යයකට සම්බන්ධ වෙන්න ඔහුට සෑහෙන කාලයක් බලා සිටින්නට සිදුවුණා. ඒ අවස්ථාව ලැබෙන්නෙත් හරිම අහම්බෙන්. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්නත් ධර්ශන්ට සිදුවෙනවා.. මම අවුරුදු අටක් විතර ශක්ති ටීවී එකේ හිටියා. ටෙලි සීරියස් කරන්න ගත්තට පස්සේ මම ආසවෙන් හිටියා රඟපෑමට. ඔය අතරේ තමයි ගිය වසරේ ජූලි මාසයේදී මට දෙරණ ටීවී එකේ හිතුවක්කාර එකේ දුෂ්ටයාගේ චරිතයට කතා කළේ. ඒ වෙද්දීත් මම ශක්ති ටීවී එකේ වැඩ කරනවා. මම නිවාඩු වෙලාවක ගිහින් ඩිරෙක්ටර්ව හමුවුණා. එයා ඇහුවා කෙවින් කියන විලන් චරිතය තියෙන්නේ. ඒ වගේම මේ නාට්‍යය කොටස් 20ක නාට්‍යයක්. ඔයාට ශක්ති එකෙන් අවසර ලැබෙයිද කියලා. මම කිව්වා මම අවසර ගන්නම් කියලා. නමුත් ඇවිත් ඇහුවම තවත් නාළිකාවක් නිසා අවසර දෙන්න විදියක් නැහැ. ඔයා තීරණය කරන්න කියලා. එතැනදී මම හිතුවා ශක්ති එකට සමුදීලා මේ ලැබුණු අවස්ථාව භාරගන්න. රැකියාව අවදානමේ තබා ඔහු මෙම තීරණය ගන්නේ සිංහල ටෙලි නාට්‍යයක රඟපෑමට ඇති කැමැත්තත්, එහි දුෂ්ටයාගේ චරිතයට තිබූ රුචිකත්වයත් නිසාමයි... මම ගොඩක්ම කැමතියි දුෂ්ට චරිත කරන්න. ඒ නිසා සිංහල පළමු නිර්මාණයෙන්ම දුෂ්ට චරිතයක් ලැබුණු එක මම දැක්කේ ආශිර්වාදයක් විදියට. ‘හිතුවක්කාර’ නාට්‍යයේ දුෂ්ටයාගේ චරිතය සාර්ථකව රඟපෑම නිසා ‘ශක්ති’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් සඳහා ධර්ශන්ව යෝජනා වෙනවා... හිතුවක්කාර කොටස් 20න් අවසන් වෙද්දීම කෙවින් කියන දුෂ්ට චරිතය බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණා. හිතුවක්කාර අවසන් වෙද්දී ඩිරෙක්ටර් ඇහුවා සිඳු නාට්‍යයේ තුන්වැනි කොටස ශක්ති කියලා පටන් ගන්නවා එහි ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය වන වර්ණගේ චරිතය කරන්න පුළුවන්ද කියලා. ඒ වෙද්දී මම හිතලා තිබ්බේ මෙගා නාට්‍යයක දුෂ්ට චරිතයක් කරන්න ලැබුණා නම් කියලා. ඒ නිසා ඒක මම ආසාවෙන් භාරගත්තා. අවසානයේ ඔහු කැමති ආකාරයටම දිගින් දිගටම දුෂ්ටයාගේ චරිතයම ලැබෙන්න ගත්තා. මොකද බොහෝ අධ්‍යක්ෂවරු කිව්වේ ‘ධර්ශන්ව ගැළපෙන්නේ දුෂ්ට චරිතවලට’ බවයි. එයටත් හේතුවක් තිබුණා.. මම රඟපාන්න පටන් ගත්ත කාලේ ඉඳන් මට ගොඩක් අය කියල තියෙනවා මට වීරයා වෙන්න බෑ කියලා. මොකද මගේ සමේ වර්ණය සුදු නොවන නිසා. මිනිස්සු වීරයෙක්ව මේ පාට සමකින් පිළිගන්නේ නෑ කියලා. ඒක ගොඩක් සැරයක් අහලා ඉවරවෙලා මම හිත හදාගත්තා, ‘හරි එහෙනම් දුෂ්ට චරිතය කරමු’ කියල. ඊට පස්සේ දුෂ්ට චරිතය රඟපාන එක මගේ ප්‍රියතම දෙයක් බවට පත්වුණා. ඒත්, කට්ටිය මට එහෙම කියපු එක මගේ හිතේ කොණක තිබ්බා. කවුරු හරි අධ්‍යක්ෂවරයෙක් මාව වීරයා හැටියට ගන්න ගියොත්, මමම කියනවා වීරයාට වැඩිය දුෂ්ට චරිතය මට ගැළපෙනවා, ඒක කරන්නද?’ කියලා. වීරයෙක් බිහිවෙන්නත් හොඳ දුෂ්ටයෙක් ඉන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම දුෂ්ටයාට කැමතියි. නමුත් පසුගියදා අලුත්ම නිර්මාණයකින් මේ මතය වෙනස් කරගන්න ධර්ශන්ට හැකිවුණා... ඔව්. ඒ හේමන්ත ප්‍රසාද් මහතා අධ්‍යක්ෂණය කරපු ‘මායම් කිරිල්ලි’ ටෙලි ෆිල්ම් එකේ විශල් කියන චරිතය. ඒකෙත් පොඩි දුෂ්ට බවක් තිබුණත් අවසානයේ මම වීරයා වෙනවා. ඒ නිසා විශල් කියන්නේ මම බොහොම ආසාවෙන් කරපු නිර්මාණයක්. මම එකේ රඟපෑවේ අනුරාධා එදිරිසිංහ කියන දක්ෂ රංගන ශිල්පිනිය එක්ක. ඉදිරියේදී ඒ නිර්මාණයත් දැකගන්න ලැබෙයි. ඒ වගේම මාව වීරයා කරපු තව තැනක් තියෙනවා. ඒ තමයි එක දවසක් - One Day කියන පේජ් එකෙන් නවකතාවක් දාලා තිබ්බා. එතැනදී වීරයා විදියට පෙන්වලා තිබ්බේ මාව. ඒ කතාව ගොඩක් අය කියවලා ලොකු පාඨක පිරිසක් නිර්මාණය වෙලා තිබ්බා. දැන් නම් ඒ කතාව Fb එකේ බලන්න නැහැ. එයා රයිට්ස් විකුණලා තියෙන්නේ පොතක් විදියට මැයිවල රිලීස් කරන්න. එකෙත් වීරයාට මගේ ෆොටෝ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා කෙවින්ට සහ වර්ණට වඩා ගොඩක් අය මාව දන්නේ ඉන්ද්‍ර සහස්වර කියලා. තමා ගොඩනගා ගත් ප්‍රතිරූපය ගැන ඔහුට ඇත්තේ ආඩම්බරයක්... අනිවාර්‌යෙන්ම. එදා හැමෝම කිව්වේ සිංහල පැත්තෙන් තරගකාරිත්වය වැඩියි. මම තෝරාගත්තු ‘හිතුවක්කාර’ නාට්‍යයේ රඟපාන්න තිබ්බේ කොටස් 20යි. කොටස් 20 රඟපාන්නද රස්සාව දාලා යන්නේ කියලා සමහරු මගෙන් ඇහුවා. තවත් අය කිව්වේ මගේ උපන් වෙලාව අහවල් නැකතේ තියෙන හින්දා මට අපලයි ඒකයි ඔහොම තීරණ ගන්නේ කියලා. හැබැයි ජූලි 7 වැනිදා මම අස්වෙලා ආවත් මට මගේ චරිතය ලැබුණේ මාස දෙකකට පස්සේ. නමුත් මට විශ්වාසයක් තිබ්බා මං ගැන. ඒ නිසා අද මම ඉන්න තැන ගැන සතුටුයි. අනාගතය ගැන ලොකු බලාපොරොත්තු ගොඩක් ධර්ශන්ගේ හිතෙත් තියෙනවා... ඉස්සර නම් තිබ්බේ දුෂ්ටයි කිව්වොත් මගේ මුහුණ මතක් වෙන්න ඕනේ කියලා. නමුත් හේමන්ත ප්‍රසාද් මහතා අධ්‍යක්ෂණය කරපු මායම් කිරිල්ලි ටෙලි චිත්‍රපටයෙන් පස්සේ මට ඕනේ හොඳ රංගන ශිල්පියෙක් කියලා මගේ ගැන කතාවෙන විදියේ විවිධත්වයෙන් යුතු චරිත කරන්න. වීරයා වෙන්න ගොඩක් කට්ටිය ඉන්නවා. වීරයා වුණු අය ඉන්නවා. ඒ නිසා තරගකාරිත්වය වැඩියි. මට දැන් ඕනේ හොඳ නළුවන් අතර කෙනෙක් වෙන්න. ආදරය ගැනත් ඔහුගෙන් නොඅසා කොහොමද... නැහැ, මට තාම පෙම්වතියක් නැහැ. තාම ඒ ගැන හිතලා නැහැ. දැනට රංගනය ගැන තමයි වැඩි අවධානය තියෙන්නේ. ඒ දේවලුත් ඉදිරියේදී සිද්ධ වෙයි. සිංහල චරිත රඟපාන නිසා, සිංහල අයත් එක්ක වැඩ කරන නිසා ධර්ශන්ගේ ආදරයත් සිංහල යුවතියක් ළඟ නතර වෙයිද කියන ප්‍රශ්නය අපට මතුවුණා... මම දුෂ්ට චරිත කරන නිසා දර්ශන තලවලදීත් මම දුෂ්ටයාම තමයි. ගෑනු ළමයි ඔක්කොම ඉන්නේ වීරයා පැත්තෙනේ. ඒ නිසා මා එක්ක ලොකු හිතවත්කමක් නැහැ. අනික ගොඩක් වෙලාවට මගේ ෂූටින් දවසේ මට නාට්‍යයේ ඉන්න අනෙක් අය හම්බෙන්නේ නැහැ. මට හම්බෙන්නේ මා එක්ක ඉන්න එකම කණ්ඩායම. දැන් හිතුවක්කාර එක ගත්තම මගේ දුෂ්ට ටීම් එකට අමතරව මාලනී ෆොන්සේකා මහත්මිය ඇතුළු අනෙකුත් ඔක්කොම මට මුණගැහුණේ බැකප් පාටියේදී විතරයි. හැබැයි වීරයා විදියට රඟපාද්දී නම් ආස හිතෙනවා මේ වගේ ආදරණීයව කතා කරන සිංහල ගැහැනු ළමයෙක් පෙම්වතිය විදියට හිටියා නම් කියලා. ඒ අදහස ඔළුවට ඇවිත් යනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අනූෂා රණසිංහ
 

More News..