brand logo

සිංගප්පූරුවේ විදෙස් ගෘහ සේවිකා සම්මානය ශ්‍රී ලංකාවේ ජසින්තාට

19 February 2020

සිංගප්පූරුවේ 2020 වර්ෂයේ විදේශ ගෘහ සේවිකාව’ සම්මානයෙන් පානම්බරගේ ජසින්තා නම් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව පිදුම් ලබා ඇත. මෙම සම්මානය වාර්ෂිකව ලබාදෙන්නේ ගෘහ සේවිකාව සේවය කරන පවුලට ලබාදෙන සුවිශේෂී දායකත්වය වෙනුවෙනි. මෙම මාසය ආරම්භයේදී සිංගප්පූ​රුවේ හොලිඩේ ඉන් හෝටලයේ පැවැති චීන අලුත් අවුරුදු භෝජන සංග්‍රහයක් අතරතුර එරට රැකියා ඒජන්සි සංගමය විසින් සිංගප්පූරු ඩොලර් 2000ක මුදල් ත්‍යාගයක් සමග මෙම සම්මානය ජසින්තාට පිරිනමා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි. ඇය පිදුම් ලැබූ සම්මානය පිළිබඳව වැඩිදුරටත් පැහැදිළි කරන ඇය සිංගප්පුරු විදේශ රැකියා ඒජන්සිය පවසා ඇත්තේ අදාළ පවුලට ලබාදෙන අසාමාන්‍ය දායකත්වය, රැකියාවේ සංකීර්ණතාව සහ ඔහුගේ හෝ ඇයගේ ස්වයං අභිවෘද්ධිය සඳහා ඇති කැපවීම මෙහිදී සලකා බලා ඇති බවයි. කුලියාපිටි​යේ පදිංචිකාරියක වන ජසින්තා 1990 වසරේ සිංගප්පූරුවට පැමිණ ඇත්තේ ලැම් යෙනං සාං ගේ මහළු මව සහ ඔහුගේ දියණියන් දෙදෙනා රැකබලාගැනීම සඳහාය. සේවා කාලය අතරතුර වරින් වර ලංකාවට ඇය පැමිණ ඇති නමුත් ඇය වසර 30ක සේවා කාලය සම්පූර්ණ කර ඇත්තේ ලැම් පවුල සමගය. ඇය 2008 වර්ෂයේදී අසනීප වූ ලැම් මහත්මියගේ ජීවිතය බේරා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර ඇත. 58 හැවිරිදි ජසින්තා ලැම් පවුලේ පරම්පරා 4කට සේවය කර තිබේ. මේ අතර 1990 අගෝස්තු මාසයේ සිට සිංගප්පූරුවේ සේවය කරන රංහොටි පෙග්ගිලගේ පද්මසීලි ද මෙම උත්සවයේදී ඇය සිදුකළ සේවය වෙනුවෙන් කුසලතා සම්මානයක් දිනාගෙන ඇත.   නයන තරංග ගමගේ
 

More News..