brand logo

සෑම පොලිසියකම ඇඟිලි සලකුණ ගනී

18 January 2021

සෑම පොලිස් ස්ථානයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. පොලිස් නිලධාරීන් රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී ඇඟිලි සලකුණු තැබීම සඳහා මෙම පියවර ගෙන තිබේ. දැනට පවතින ක්‍රමය අනුව පොලිස් නිලධාරීන් සේවයට පැමිණ පොතෙහි සටහන් තැබිය යුතුය. පොලිස් ස්ථානයක නිලධාරීන් පනහක් සේවය කරන්නේ නම් දිනකට සටහන් පනහක් පොතට එක්වේ. මේ නිසා සෑම දිනකදීම උදය කාලයේදී පොලිස් ස්ථානාධිපතිවරයාට පැය තුනක පමණ කාලයක් වැයකරමින් මෙම සටහන් කියැවීමට සිදුව ඇත. එබැවින් ස්ථානාධිපතිවරයාට රාජකාරි කිරීමට ලැබෙන කාලය සීමිත වී ඇති බව පොලිස් ස්ථානාධිපතිවරුම පවසති. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ, නවීන තාක්ෂණය උපයෝගී කරගෙන පොලිස් සේවය වඩාත් කාර්යක්ෂම ලෙස දියුණු කිරීමට මෙම පියවර ගෙන ඇති බවය. එසේම මෙම ක්‍රමය මගින් ජනතාවට ලබාදෙන සේවය වඩාත් ඉහළ නැංවීමටද හැකිවනු ඇතැයි ඔහු පැවැසුවාය. හේමන්ත ලියනපතිරණ
 

More News..