brand logo

සැලෝන් අරින රජයේ නිර්දේශවලට අපි එකඟයි රූපලාවණ්‍ය ශිල්පීන්

08 May 2020

බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇති නිදේශවලට තමන් එකඟ බව ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමයේ සභාපතිනි නයනා කරුණාරත්න ප්‍රකාශ කළාය. එහෙත් මෙම නිර්දේශ අතුරින් බොහොමයක් හා එකඟවීමට තමන්ට හැකියාවක් නැතැයිද තමන් වෙනුවෙන් කතා කිරීමට කිසිම සංගමයක් නැතැයිද කුඩා ප්‍රමාණයේ බාබර් සාප්පු හිමියෝ පවසති.
බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තම සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය ඇමැතිවරිය සමග පසුගියදා සාකච්ඡා කළ බව කී නයනා කරුණාරත්න තම රැකියාව අනූව සේවාලාභියා සමග ඉතා සමීපව කටයුතු කළ යුතු වුවත් සේවා සැපයීමේදී දුරස්ථභාවය රැක ගැනීම ඉතා වැදගත් බවද කීවාය. පිරිසුදුකම මෙහිදී ඉතා වැදගත් කරුණක් බව පැවැසූ නයනා කරුණාරත්න රජය විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනූව සේවා සැපයීමට තමන් එකඟ බවද කීවාය. අදාළ නිර්දේශ තමන්ගේ සෞඛ්‍යාරක්ෂාවටද වැදගත්වන නමුත් බාබර් සාප්පුවේ දොර විවෘත කිරීමට සහ වැසීමට වෙනම සේවකයකු යෙදවීම, එකින් එකට රෙදි පිළි මාරු කිරීම සහ පසුව ඒවා සෝදා වේළා ගැනීම වැනි කටයුතු මෙන්ම කුඩා ඉඩකඩක පවත්වාගෙන යන බාබර් සාප්පුව තුළ දුරස්ථභාවය රැක ගැනීම අසීරු බවද කුඩා ප්‍රමාණයේ බාබර් සාප්පු හිමියෝ පවසති.
අජිත් අලහකෝන්
 

More News..