brand logo

සැමියා සුලේඛාට රඟපාන්න එපා කිව්වද?

13 February 2021

සුලේඛා ජයවර්ධන බොහෝ සෙයින් ජනප්‍රිය වුණේ රෑන ටෙලි නිර්මාණයෙන්. ඉන් අනතුරුව ඇය නිර්මාණ කිහිපයකින්ම අපිට හමුවුණා. දැන් ඇය පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දක්ෂ ජනප්‍රිය ව්‍යාපාරිකයෙක් වුණ අශෝක රන්දෙණිය සමග විවාහ වුණ සුලේඛා හා හා පුරා කියලා මව් පදවිය ලැබුවේ මෑතකදී. මව් පදවියේ සතුටත් එක්කම ඇය අපේ කතාබහට එකතු වුණේ මේ විදිහට. සුලේඛා මවක් වෙලා. කොහොමද ඒ ජීවිතේ? ඇත්තටම මුළු ජීවිතයම අලුතින් ලැබුණා වගේ හැඟීමක් දැනුණේ. මම බබාලට ගොඩක් ආදරෙයි. ඩොක්ටර් මුලින්ම බබාව ගෙනත් මට පෙන්නපු වෙලාවේ මට ඇත්තටම ඇඬුණා. දැනුණ හැඟීම කියන්න වචන මදි. හරිම සතුටින් ජීවත් වෙනවා. දරුවෙක් කියන්නේ අපේ බැඳීම් තව තවත් ළං කරන කෙනෙක්. දරුවෙක් ඉන්නකොට පවුලක බැඳීම ගොඩක් ශක්තිමත් වෙනවා. ඒ බැඳීම හරිම වටින දෙයක්. මුලින්ම කැමැත්ත තිබ්බේ දුවෙක්ට. හැබැයි පුතෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්තම ජීවිතයට අමුතු හයියක් දැනුණා. ඔබේ සැමියා ව්‍යාපාරිකයෙක්. කාර්යබහුල චරිතයක්. පුතාගේ වැඩ කටයුතුවලට ඔහුගෙන් හොඳ සහයක් ලැබෙනවද? මම මවක් වුණේ පළවෙනි වතාවට. ඉතිං මට මේ ගැන ලොකු අත්දැකීමක් තිබ්බේ නැහැ. බබාව බලාගන්න වැඩවලට සහ ගෙදර වැඩවලට උදව් කරන්න අය මට ඉන්නවා. මගේ සැමියා ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුලයි. නමුත් එයා හැමදේම ගැන හොයලා බලලා හැම වගකීමක්ම ඉෂ්ට කරනවා. රෑට වුණත් බබා ඇහිරිලාද කියලා නිතර නිතර ඇහැරිලා බලන්නේ එයා. ඔබ රංගන කටයුතුවලින් ඈත් වුණේ විවාහය නිසාද? මම විවාහ වුණාට පස්සෙත් රංගන කටයුතුවලට එකතු වුණා. නමුත් මම මගේ සැමියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධවීමත් එක්ක කලා කටයුතුවලට සම්බන්ධවීම ටිකක් මග හැරුණා. සැමියා ඔබව රංගනයෙන් ඉවත් කළාද? නැහැ. එයා මට කවදාවත් රඟපාන්න එපා කියලා නැහැ. මට නිර්මාණයකට කතා කළොත් ඒකේ පිටපත සැමියාට පෙන්වනවා. එයා බලලා හොඳයි කිව්වොත් මම ඒකට සම්බන්ධ වෙනවා. එයා කවදාවත් මට නීති දාලා නැහැ. සුලේඛා ආයෙත් රංගන කටයුතුවලට එකතු වෙයිද? තවම පුතා චූටියි. ඒ නිසා දැන්මම රංගන කටයුතුවලට එකතු වෙන්න බැරි වෙයි. හැබැයි මම කලාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නැහැ. ඉදිරියේදි හොඳ නිර්මාණයක් ලැබුණොත් ඒක හොඳයි නම් එයට සම්බන්ධ වෙනවා. සුලේඛා අශෝක රන්දෙණිය එක්ක විවාහ වෙලා වසර කිහිපයක් ගත වෙලා. ඔබේ තෝරා ගැනීම හොඳම තෝරාගැනීම කියලා දැනුත් දැනෙනවද? ඔව්. අපි ආදර සම්බන්ධයකින් විවාහ වුණේ. දැන් අපි විවාහ වෙලා අවුරුදු තුනක්. මගේ සැමියා ළඟ ගොඩක් හොඳ ගති ලක්ෂණ තියෙනවා. මම ගොඩක්ම සතුටු වෙන්නේ ඒ ගැන. එයා කවදාවත් මාව යටත් කරන්න හදන කෙනෙක් නෙමෙයි. මමත් කවදාවත් කැමැති නැහැ යටත් වෙලා ජීවත් වෙන්න. මම දැකලා තියෙනවා සමහර පුද්ගලයන් තමන්ගේ බිරියට අරක කරන්න එපා මේක කරන්න එපා කියලා නීති දානවා. හැබැයි මගේ සැමියා කවදාවත් මාව නීති දාලා කොටු කරලා නැහැ. එයා මට ආදරය කරනවා කියලා මට දැනෙනවා. ජීවිතේ හදාගන්න කියලා දැනෙන නරක ගතිගුණ තියෙනවද? මම ගොඩක් සංවේදි කෙනෙක්. පොඩි දුකක්වත් මට දරාගන්න බැහැ. අපිට හදාගන්න දේවල් තිබ්බත් ඒවා අපිට වැරදියි කියලා දැනෙන්නේ නැති අවස්ථා තියෙනවානේ. මට ටිකක් වැඩියෙන් තරහා යනවා. ඔබ සුපිරි ජීවිතයක් ගත කරනවා කියලා සමහරු කියනවා? සුපිරි ජීවිතයක් මට ලැබිලා තියෙනවා. ඒක නෑ කිව්වොත් බොරුවක්. මගේ මහත්තයා හම්බවුණ දවසේ ඉඳන් මම සතුටින් ඉන්නේ. හැබැයි කොච්චර සල්ලි තිබ්බත් මනුස්සයා පිට යනවා නම් ගෙදර ප්‍රශ්නනම් මානසික සතුටක් නැත්නම් වැඩක් නැහැ. මට මානසික සතුට උපරිම තියෙනවා. මානසිකව සතුටින් ඉද්දි හැමදේම කරන්න උද්‍යෝගයක් ඇති වෙනවා. සල්ලි නෙමෙයි ජීවිතය කියන්නේ. වැරදි කෙනෙක් හම්බුණා නම් සල්ලිවලින් ඇති ඵලක් නැහැ. මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල් එක්ක තියෙන සුපිරි ජීවිතයට වඩා වටින්නේ මානසික සතුට. රටේ නම් දරන ව්‍යාපාරිකයෙක් ඔබේ සැමියාවීම ගැන ඔබ ආඩම්බරයෙන්ද ඉන්නේ මට මගේ සැමියා ගැන ආඩම්බරයි. ඔහු රටේ දන්න කියන පුද්ගලයෙක් හොඳ පැත්තකින්. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් සැමියා කරන්නේ. ලොකු කට්ටක් කාලා දුක් මහන්සියෙන් සාධාරණව තමයි මගේ සැමියා මේ තැනට ඇවිත් තියෙන්නේ. ඔහුට බොහෝ අය ආදරෙයි. ගොඩක් අයට ඔහු උදව් කරනවා. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..