brand logo

සාලි එක්ක ඇයි හොඳයි කී මවුලවි ෂැංග්‍රිලා බෝම්බ කරුත් එක්ක හැංගිලා කළ කතාව එළියට එයි

29 January 2020

  බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සමග අදහස් හුවමාරුකර ගත් බව කියන මවුලවිවරයා ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් ඉල්ලියාම් මොහොමඩ් සමග දුරකතනයෙන් කතාබහ කර ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (28) හෙළිවිය.අල්හාජ් මොහොමඩ් සාලි මොහොමඩ් තාසීම් නැමැති එම මවුලවිවරයා 2019 මාර්තු 26 වෙනිදා තත්පර 93 ක දුරකතන ඇමතුමක් ඉල්ලියාම්ගේ ජංගම දුරකතනයට ලබාගෙන ඇතැයි ඔහුගේ ජංගම දුරකතනයේ දත්ත විශ්ලේෂනයේදී අනාවරණය වන බව කොමිසම හමුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරිය සදහන් කළාය. ඉල්ලියාස් සමග තමාගේ සම්බන්ධයක් නොමැති බවත් තමන් හදුනන්නේ ඔහුගේ පියා වන ඊබ්‍රාහීම් හාජ්ජියාර්ව බවත් එහිදී තාසීම් මවුලවි කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සදහන් කළේය. ඒ ගැන කෙරුණු දීර්ඝ ප්‍රශ්ණ කිරීම් හමුවේදී තාසීම් මවුලවිවරයාට නිෂ්චිත පිළිතුරක් ලබාදීමට නොහැකි වූ අතර පියාගේ දුරකතන අංකයට ඇමතුම් නොගෙන පුතාගේ දුරකතනයට ඇමතුම් ලබාගත්තේ ඇයි දැයි කොමිසම ඔහුගෙන් විමසා සිටියේය. පියාව සම්බන්ධකර ගැනීමට නොහැකි වූ තැන ඇතැම් විට පුතාගේ ජංගම දුරකතනයට කථාකරන්නට ඇතැයි එහිදී ඔහු පැවැසීය. පුතාගේ ජංගම දුරකතනය තමා සතුව තිබුණේදැයි කළ විමසුමේදී ඔහු සදහන් කරනු ලැබුවේ නැතැයි යන්නය. තමා දැන හදුනන්නේ පියාව පමණක් බවත් ඔහුව දැන සිටියේ උත්සව සහ පොදු කටයුතු වලදී මුණ ගැසීම් වලදී බවත් තාසීම් මවුලවි මහතා පැවැසීය. එම ඇමතුම තමන් ගනු ලැබුවේ ඇයි දැයි මතකයේ නැතැයිද ඔහු පැවැසීය. පාස්කු ප්‍රහරය ගැන තොරතුරක් ලැබී එය නතරකර ගැනීමේ උත්සහයක් ලෙස එම ඇමතුම ලබාගත්තේ යැයි යෝජනා කළ හොත් එය පිළිගන්නේදැයි එහිදී කොමිසම මවුලවිවරයාගෙන් විමසා සිටියේය. ඊට ඔහු පිළිතුරු දුන්නේ නැතැයි කියාය. මෙහිදී කොමිසම පෙන්වා දෙනු ලැබුවේ දෙහිවල ලැගුම් හලකදී බෝම්බය පුපුරවාගත් ජමිල් මොහොමඩ් නැමැත්තා මවුලවිවරයාගේ ඥාතියෙක් බවකි. එම බෝම්බකරු තමාගේ ඥාතියෙක් වූවත් තමා ඔහු සමග කිසිදු සම්බන්ධයක් නොපැවැත්වූ බව මවුලව තාසීම් සදහන් කළේය. ඔහු සිය මස්සිනාගේ පුතා බවද ඔහු සදහන් කළේය. සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානයේද අධ්‍යක්ෂකවරයෙක් වන සාක්ෂිකාර තාසීම් මවුලවි මහතා උලමා සංවිධානයේද සාමාජිකයෙක් බවද කොමිසමේදී අනාවරණය විය. සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානයෙන් කෙරෙනුයේ සමාජ සුභ සාධන කටයුතු බවත් ආගමික සංහිදියාව වෙනුවෙන් කටයුතු කරන බවත් ඔහු සදහන් කළේය. ඊට අමතරව උපදේශන සේවා පවත්වාගෙන යන බවත් කාන්තාවන්ට ස්වාමි පුරුෂයන් සමග ජීවත්වන හැටි කියාදෙන බවත් දික්කසාද අඩුකර කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය. මෙම තරුණ සංවිධානයට අරමුදල් ලැබෙන්නේ කෙසේදැයි කොමිසම විසින් කළ විමසුමේදී සාක්ෂිකරු සදහන් කරනු ලැබුවේ දේශිය සහ විදේශිය වශයෙන් මුදල් ලැබෙන බවය. සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස මෙන්ම සමාගමක් ලෙසද ලියාපදිංචිව ඇති බවත් අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙක් සිටින බවත් ඔහු සදහන් කළේය. සියළු ගණු දෙනු සම්බන්ධයෙන් තොරතුරු රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට ලබාදීමට පියවර ගන්නා බවද ඔහු සදහන් කෙළ්ය. (තවත් විස්තර සඳහා හෙට(30) අරුණ පුවත්පත බලන්න ) තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..