brand logo

සාලියවැව බඩ ඉරිඟු වනසන්නේ ‘සේනා’ම දැයි සොයයි

09 December 2020

කරුවලගස්වැව - සාලියවැව ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාවන් අතර පැතිර යන්නේ සේනා දළඹු උවදුර දැයි විමර්ශනයක් සිදු කරන බව ආණමඩුව කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය පැවසුවාය. සාලියවැව - රන්මිතුගම ප්‍රදේශයේ අක්කර දෙසීයක පමණ බිම් ප්‍රමාණයක වගාකර ඇති බඩ ඉරිඟුවලට කිසියම් දළඹු විශේෂයක් හානි කිරීමට පටන් ගෙන ඇත. මාසයක් පමණ වයසැති එම බඩ ඉරිඟු වගාවේ පත්‍රවලට මෙම දළඹු විශේෂය හානි සිදු කරන බව ගොවීහු සඳහන් කරති. දළඹු මර්දනය සඳහා වෙළෙඳපොළෙන් විවිධ පළිබෝධනාශක යෙදුවත් පලක් වී නොමැති බවද ගොවීහු සඳහන් කරති. පවතින තත්ත්වය හේතුවෙන් තම බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන්ම විනාශයට පත් වීමට ඉඩ ඇති බවත්, අවට ඇති වගාවන්ටද මෙම දළඹු විශේෂය පැතිර යාමේ අවදානමක් ඇති බවද සාලියවැව - රන්මිතුගම වගාකරුවකු වන මහින්ද රණවීර පැවසීය. අප මේ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දුන් ආණමඩුව කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය ‘‘කරුවලගස්වැව ප්‍රදේශයේ වාර්තා වී ඇත්තේ සේනා දළඹුවා යැයි අපට තවම ස්ථිර ප්‍රකාශයක් කරන්න බැහැ. නමුත් වගාවන්ට හානි සිදු කරන දළඹු විශේෂයක් බවට නම් අනුමාන කළ හැකියි. කෙසේ වෙතත් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කීපයකින් සේනා දළඹුවන් වාර්තා වී තිබෙනවා. අනෙක් කාරණය වන්නේ සේනා දළඹුවා වැඩියෙන්ම හානි කරන්නේ බඩ ඉරිඟු වගාවන්ට. ඒ නිසා මෙම දළඹු විශේෂය සම්බන්ධයෙන් අපි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එම සතුන්ගේ සාම්පල අප විසින් ලබාගෙන අවශ්‍ය පර්‌යේෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රදේශ භාර කෘෂිකර්ම උපදේශකයන් මගින් අවශ්‍ය කරන උපදෙස් ගොවීන්ට ලබාදීම මේ වන විට සිදු කර තිබෙනවා. අප විශ්වාස කරනවා මෙම දළඹු විශේෂය වෙනත් වගාවන්වලට පැතිරයාම වළක්වා ගත හැකියි කියා’’ යනුවෙන් පැවසීය. ජූඩ් සමන්ත - පුත්තලම
 

More News..