brand logo

සාලාව සිද්ධියේ හඬපට ඉදිරියේදී - පා.ම. පියල්

13 January 2020

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් මුදාහැර තිබෙන හඬපට මාලාවත් සමගම සාමාන්‍ය ජනතාවට මෙරට නීතිය කෙරෙහි තිබූ විශ්වාසය පළුදු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා පැවසීය. මන්ත්‍රීවරයා මේබව ප්‍රකාශ කර සිටියේ පසුගියදා බේරුවලදී පැවැති මාධ්‍ය හමුවකදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.... මේ දිනවල රන්ජන් රාමනායකගේ චිත්‍රපට මාලාවක් ප්‍රදර්ශනය වෙනවා.ත්‍රාසය,භීතිය,කුතුහලය හා සියලුම සටන් ජවනිකාත් එක්ක තමයි මේ චිත්‍රපට නිර්මාණය කරලා තියෙන්නේ.පළමු චිත්‍රපටය තමයි ශානි අබේසේකරගේ "හොරා පොලිස්" කියන චිත්‍රපටය.පද්මිණි නෝනගේ "ජූරිය ඔබයි" කියන චිත්‍රපටය තමයි දෙවෙනි එක.තුන් වෙනි චිත්‍රපටය තමයි රන්ජන් රාමනායක හා රනිල් වික්‍රමසිංහ රඟන "මිස්ෆයර්" කියන චිත්‍රපටය.ඊළඟට හිරුනිකා නෝනයි රන්ජන් රාමනායකයි ප්‍රධාන චරිත නිරූපණය කරන "කුක්කු බබා" කියන චිත්‍රපටය. හෙට අනිද්දා වෙනකොට නිකුත්වෙන ආන්දෝලනාත්මක චිත්‍රපටයක් මේ දිනවල නිර්මාණය වෙමින් පවතිනවා.ඒ තමයි ගිනිඅවි සහ ගිනිකෙළි මෙන්ම සාලාව නොම්බර 1 කියන චිත්‍රපටය.මේ චිත්‍රපටයත් සමග සම්පූර්ණ චිත්‍රපට මාලාවම අවසන් කරන්න හැකිවෙයි කියලා අපි හිතනවා. අපි සෑම ආයතනයක්ම ස්වාධීන කළා කියලා යහපාලන ආණ්ඩුවේ රනිල්ලා සජිත්ලා බොහොම හොඳට කෑමොර දුන්නා.රටේ ජනතාව අන්දවන්න හැදුවා.ස්වාධීන කොමිසන් සභා පත් කිරීමත් සමග මේ වනතුරු රටට සිදුවෙලා තියෙන්නේ මොනවගේ දේවල්ද කියලා හොඳටම පැහැදිලිව පේන්න තිබෙනවා.ඔවුන් නීතිය නවලා තිබෙන්නේ කනේ වැලි ගෑවෙන මට්ටමට.නීතියට සම්බන්ධ මෙරට සමස්ත රාජ්‍ය සේවයටම දැවැන්ත අපකීර්තියක් අත්පත් කරල දීල තිබෙනවා.මේ හැමදේටම රනිල් සජිත් යහපාලන ආණ්ඩුව වගකිව යුතුයි. අපි ස්තුතිවන්ත වෙනවා රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාට.ඔහු එදා සමහර අවස්ථාවල කියපු දේවල් අද ඇත්තවෙලා තිබෙනවා.මේ හඬපට එක්ක එක්සත් ජාතික පක්ෂයේ නිරුවත හෙළිවෙලා තිබෙනවා.ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ තිබුණු සළුපට සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා.ඔවුන් දැන් කල්පනා කරන්නේ ජනතාව අතරට ගිහිල්ලා මුහුණ දෙන්නේ කොහොමද කියලයි.ඒ ගැටලුව එක්සත් ජාතික පක්ෂය තුළ බොහොම තදින් කැකෑරෙමින් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරු තුන් දෙනෙක් පසුගියදා මට මුණගැසුණා.ඔවුන් කිව්වෙත් දැන්නම් අපිට ගමට එන්නත් බැරි තත්ත්වයක් උදාවෙලා කියලයි.ඒත් අපි එක්සත් ජාතික පක්ෂයට කියනවා මේ හැම වැරැද්දකම වගකීම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ගිණුමට බැරකරලා අත හෝදගෙන බේරෙන්න ලෑස්ති වෙන්න එපා කියලා.මේවා එසේ මෙසේ කාරණා නෙවෙයි.බරපතළ කාරණා. බේරුවල-ප්‍රසාද් ධර්මප්‍රිය
 

More News..